කොළ­ඹට, ගම්ප­හට ඔක්සි­ජන් සප­යන මුතු­රා­ජ­වෙල ජාතික වනෝ­ද්‍යා­න­යක් වෙයි | Page 2 | සිළුමිණ

කොළ­ඹට, ගම්ප­හට ඔක්සි­ජන් සප­යන මුතු­රා­ජ­වෙල ජාතික වනෝ­ද්‍යා­න­යක් වෙයි

මුතුරාජවෙල ජලධාරා
මුතුරාජවෙල ජලධාරා

ලංකාවේ ජන ඝනත්වයෙන් පෙරමුණේ සිටින කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ හරිත පෙණහලු ලෙස සැලකෙන්නේ මුතුරාජවෙල තෙත් බිම් කලාපයයි. මෙම මුතුරාජවෙල තෙත් භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත්කිරීම සඳහා මූලික පිඹුරුපත සැකසෙන බව පසුගියදා අසන්නට ලැබිණි. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබෙන්නේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ය. මුතුරාජවෙල අභයභූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කර තිබෙන බව ඔහු අනාවරණය කළේ මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක (කෝප්) සභාවේදී ය.

කෝපා කමිටුව මඟින් පෙර රැස්වීමේදි නිර්දේශ කළ පරිදි මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ වනජීවී අමාත්‍යාංශය යන අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතු ඒකාබද්ධ කමිටුවක් පත් කර ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය. මෙම කමිටුව බලාත්මක කිරීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වා කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කර ඇති අතර එය අනුමත වූ විගස ක්‍රියාත්මක වීම ආරම්භ කළ හැකි බවත් එම කමිටුවට සහය වීම සඳහා අදාළ සියලු ආයතන සහ පරිසර සංවිධානවල නියෝජිතයන්ගෙන් සමන්විත ක්‍රියාකාරි කමිටුවක් පත් කිරීම අත්‍යවශ්‍ය බවත් මෙහිදි අවධාරණය කෙරිණි.

මුතුරාජවෙල භූමිය ඇතුළත සිදුකර ඇති  අනවසර ගොඩකිරිම්
 

මෙය පරිසරවේදීන්ටත් සොබාදහමට ඇලුම් කරන අයටත් සුබ ආරංචියකි. මෑතකදී මුතුරාජවෙල සම්බන්ධයෙන් අසන්නට ලැබුණු සතුටුදායකම පුවත මෙය විය හැක්කේ මුතුරාජවෙල සම්බන්ධයෙන් බොහෝ විට අසන්නට ලැබෙන්නේ අසුබ ආරංචි නිසා ය.

ලංකාවේ බටහිර වෙරළ තීරය දිගේ පැතිරුණු උතුරින් මීගමු කලපුවටත් දකුණින් කැලණි ගඟටත් බටහිරින් වෙරළ තීරයටත් නැඟෙනහිරින් කොළඹ - මීගමුව ප්‍රධාන පාරටත් මායිම්ව පිහිටි මුතුරාජවෙල හෙක්ටයාර් 3,068ක ප්‍රමාණයකින් යුතු භූමියකි. “මුතු වන් සහල් ලබා දුන් වෙල්යායක්“ යන අරුතින් මුතුරාජවෙල යන නම බිහි වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කැලණි ගං මෝයේ සිට මීගමුව කලපුව දක්වා පෘතුගීසින් විසින් මෙම වෙල්යාය හරහා ඇළ මාර්ගයක් කැපීමෙන් ලුණු මිශ්‍ර ජලය වෙල් යායට කාන්දු වීම නිසා වෙල්යායේ සාරවත් බව අඩු වී පුරන් විය. පෘතුගීසින් විසින් කැපූ ඇළ, ලන්දේසින් විසින් වැඩිදියුණු කර භාණඩ ප්‍රවාහනයට යොදා ගත් බැවින් එම ඇළ මාර්ගය ඕලන්ද ඇළ ලෙස හැඳින්විණි. ඉංග්‍රීසින් මුහුදුබඩ ප්‍රදේශය යටත් කර ගැනීමත් සමඟ මුතුරාජවෙල මුහුදට ආසන්නයේ තවත් ඇළ මාර්ගයක් ඉදි කළ අතර එය හැමිල්ටන් ඇළ ලෙස හැඳින්විණි. හැමිල්ටන් ඇළ ඉදි කිරීමත් සමඟ මුහුදු ජලය මුතුරාජවෙලට පැමිණීම ඉහළ ගොස් මුතුරාජවෙල වගුරු බිමක් බවට පත් විය. සිංහලයන් විසින් හැමිල්ටන් ඇළ මෝඩ ඇළ ලෙස හැඳින්වූයේ එමනිසාය.

මුහුදු ජලය මුතුරාජවෙලට පැමිණීමට හේතු වූයේ මුතුරාජවෙල මුහුදු මට්ටමඩ වඩා අඩි 2ක් 3ක් පහතින් පිහිටා ඇති නිසාය. මෙම ස්වාභාවික පිහිටීම ගම්පහ දිස්ත්‍රික්කයට වෙස් වළා ගත් ආශිර්වාදයක් විය. ඊට හේතුව දඬුගම් ඔය, ජා-ඇළ යන ඇළ මාර්ගවලින් මුහුදට ගලා එන ජලකඳේ අතිරික්තය මුතුරාජවෙල භූමියේ තාවකාලිකව රඳවා ගත හැකි වීමයි. දියකඳ මුතුරාජවෙල රඳවා ගැනීමට නොහැකි වුවහොත් ගම්පහ දිස්ත්‍රික්කයම ජලයෙන් යට වීම වැළැක්විය නොහැකිය. එමෙන්ම නාගරික ප්‍රදේශයේ අධික කාබන්ඩයොක්සයිඩ් මට්ටම නියාමනය කිරීම, වැසි ජලයේ රොන්මඩ තැන්පත් කරගෙන පිරිසිදු ජලය මුහුදට එකතු කිරීම ද මුතුරාජවෙල තෙත් බිමෙන් සිදු වන සුවිශේෂි කාර්යභාරයකි. පරිසර උෂ්ණත්වය ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීම ද මෙම තෙත් බිමෙන් ඉටුවන තවත් කාර්යයකි. කඩොලාන බිම්, ලවණ වගුරු බිම්, ලවණ ජලය හා මිරිදිය ජලය සහිත ඇළ මාර්ග, තෘණභූමි, පඳුරු වනාන්තර, ගංගාශ්‍රිත වනාන්තර ආදි වශයෙන් විවිධ පරිසර පද්ධති රාශියකින් සමන්විත මුතුරාජවෙල වගුරු බිම ජෛව විවිධත්වයෙන් අනූන කලාපයකි.

මුතුරාජවෙල භූමිය ඇතුලත ඉදිකර ඇති  අනවසර කර්මාන්තශාලා කිහිපයක්
 

මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ සමනලුන් බත්කූරන් මත්ස්‍යයන් උභයජීවීන් උරගයන් පක්ෂීන් ක්ෂීරපායින් යන සත්ව කාණ්ඩ 7ට අයත් විශේෂ 449ක් වාර්තා වී ඇත. ඉන් විශේෂ 27ක් මෙරටට ආවේණික සත්ව විශේෂ වේ. ඊට අමතරව නේවාසික පක්ෂීන් විශේෂ 86 ක්ද සංක්‍රමණික පක්ෂීන් විශේෂ 43 ක්ද වාර්තා වී තිබේ. ශාක කුල 66 කට අයත් ශාක විශේෂ 194 ක් ද මුතුරාජවෙල වගුරු බිමෙන් හඳුනාගෙන ඇත.

මේ සා වටිනා සම්පතක් වූ මුතුරාජවෙල භූමියට නීතිමය ආරක්ෂාව ලැබුණේ 1996 වසරේදීය. ඒ 1996 ඔක්තෝබර් 31 වැනි දින නිකුත් කළ අංක 947/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව තෙත්බිමේ හෙක්ටයාර් 1028.62 ක භූමි ප්‍රදේශයක් මුතුරාජවෙල අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟිනි.

මීට අමතරව ජාතික පාරිසරික පනතේ “24 ඇ“ හා “24 ඈ“ උප වගන්තිවලට අනුව මුතුරාජවෙල ස්වාරක්ෂක කලාපය ලෙස වෙන් කළ තෙත් බිම් ප්‍රදේශය ලංකාවේ ප්‍රථම පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. ඒ 2006 ඔක්තෝබර් 13 වැනි දින නිකුත් වූ අංක 1466/26 දරන ගැසට් නිවේදනය මඟිනි. මේ අනුව ස්වාරක්ෂක තෙත් බිම් කලාපයේ තෙත් බිම් හෙක්ටයාර් 206.67 ක් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

ඉන්පසුව 2018 සැප්තැම්බර් 25 වැනි දින අංක 2090/11 දරන ගැසට් නිවේදනය මඟින් මුතුරාජවෙල තෙත් බිමේ හෙක්ටයාර් 162.10 ක් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයට එක් කර තිබේ. එහෙත් මෙම තෙත් බිම් සංරක්ෂණය සඳහා සැලසුම් සකස් කිරීමට පෙර 1989 වසරේදී සකස් කෙරුණු ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තරව වැදගත් වන තෙත් බිම් 41 අතරින් එකක් ලෙස මුතුරාජවෙල නම් කර, ලංකාවේ ප්‍රමුඛ තෙත් බිම් පද්ධති 12න් 1ක් ලෙස හඳුනාගෙන තිබේ. 1990 ඔක්තෝබර් 15 වැනි දින ශ්‍රී ලංකාව එළැඹි රැම්සා සම්මුතියට අනුව මුතුරාජවෙල තෙත් බිම් කලාපය රැම්සා තෙත් බිමක් ලෙස නම් කර ඇත.

මුතුරාජවෙල අභයභූමියට නීතියෙන් කොපමණ ආරක්ෂාව ලැබුණත් දේශපාලකයන්, ව්‍යාපාරිකයන් හා මැර කණ්ඩායම් විසින් මෙය විනාශ කිරීමට කටයුතු කර තිබීම කනගාටුදායකය.

භූමිය ගොඩ කරමින් ගම්මාන ඉදි කිරීම, කන්ටේනර් අංගණ ඉදි කිරීම, ඉවතලන කුණුවලින් පිරවීම, හෝටල් ඉදි කිරීමට සූදානම් වීම වැනි විවිධ සංවර්ධන ව්‍යාපෘති රාශියක් මුතුරාජවෙල භූමියේ ඉදි කිරීමට පියවර ගෙන තිබුණේ රාජ්‍ය නිලධාරින් තම වගකීම් නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමෙනි. මුතුරාජවෙල අභයභූමිය රැක ගැනීම සඳහා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් ස්වෙච්ඡා සංවිධාන රාශියක් පෙරට පැමිණියේ එබැවිනි.

“මේ මුතුරාජවෙල භූමියේ රජයේ ඉඩම් තිබෙනවා. පෞද්ගලික ඉඩම් තිබෙනවා. රජයේ බලපත්‍රලාභි ඉඩම් තිබෙනවා. පෞද්ගලික ඉඩම් 2ක් තියෙන කෙනා ඒ ඉඩම් 2ට මැද්දෙ තියෙන රජයේ ඉඩමත් අල්ලා ගන්නවා. මේ විදිහට මුතුරාජවෙල ඉඩමට අයිති භූමි ප්‍රමාණය අඩුවෙලා තියෙන්නේ. ඒනිසා මුලින්ම මේවා නිරවුල් කර ගන්න ඕනෑ. අභයභූමියක පෞද්ගලික ඉඩම් තියෙන්න පුළුවන්. ඒත් ජාතික වනෝද්‍යානයක පෞද්ගලික ඉඩම් තිබෙන්න බැහැ. මුතුරාජවෙල ජාතික වනෝද්‍යානයක් කිරීම හොඳ දෙයක්. ඒත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ආරක්ෂා කර ගත යුතු භූමියකට නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධ කර ගන්නේ ඇයි කියන එක අපිට ලොකු ගැටලුවක්.“ යනුවෙන් පැවසුවේ මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන දිනූෂ නානායක්කාරය.

මුතුරාජවෙල තෙත් බිම් කලාපය තුළ අනවසර ඉදිකිරීම් පිළිබඳ ලැබෙන පැමිණිලි අදාළ රාජ්‍ය ආයතන මඟින් නිසි පරිදි විමර්ශනයට ලක් නොවීම පිළිබඳ විගණකාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ. මෑතකදී හෙක්ටයාර 06ක් ගොඩ කිරීම සම්බන්ධයෙන් විගණන විමසුමක් දැනටමත් පවතින බවත් අනවසර ගොඩ කිරීම සඳහා රාජ්‍ය ආයතන නිසි පරිදි මැදිහත් නොවීම පිළිබඳවත් මහාචාර්ය තිස්ස විතාරණගේ මූලිකත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානයට ලක් විය.

මීට අමතරව මුතුරාජවෙල තෙත්බිම සහ අවට කලාපය තුළ දැනට පවතින තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කළ සමීක්ෂණයේදී තෙත්බිම් කලාපයෙන් 15%ක් සහ අභයභූමියෙන් 15%ක්ද මේ වන විට විනාශයට ලක් වී ඇති බව මෙහිදී අනාවරණය විය. ඉතිරි කලාප ද විනාශ වී යෑමේ තර්ජනයට ලක් වී ඇති බැවින් සංරක්ෂණ ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කළ යුතු බවට සඳහන් කරනු ලැබීය.

මුතුරාජවෙල අභයභූමියේ සීමා මායිම් හඳුනා ගැනීම සහ මායිම් ලකුණු කිරීම මේ වන විට අරඹා ඇත. එමෙන්ම මෙහි ඇති අනවසර ඉදි කිරීම් සහ ගොඩ කිරීම් පවරා ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කර ගැනීම සඳහා නාගරික සංවර්ධන පනත භාවිත කිරීමේ ශක්‍යතාව ද එදින කෝප් කමිටුවේදී සාකච්ඡාවට භාජනය විය. 2021 ජනවාරි 27 වැනිදා බස්නාහිර ආණ්ඩුකාරවාරයා විසින් මුතුරාජවෙල අධි සංවේදී පරිසර කලාපයේ සියලු පෞද්ගලික ඉඩම් රජයට පවරා ගන්නා බවට ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී යෝජනා සම්මත කර තිබීමත් සාකච්ඡා කෙරිණි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන පසුගියදා කළ ගණනය කිරීම්වලට අනුව මුතුරාජවෙල වටිනාකම රු:මිලියන 3700 කි. “සුරකිමු ශ්‍රී ලංකා“ සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද හිමි සඳහන් කළේ අභයභූමියේ මැනුම් කටයුතු කර නිරවුල් කර ගැනීමෙන් අනතුරුව මුතුරාජවෙල අභයභූමිය, ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීම කාලෝචිත ක්‍රියාමාර්ගයක් බවයි. මෙම පියවර ගැනීම පිළිබඳව රජයට ස්තුතිය හිමි විය යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

 

Comments