කව­දා­වත් නොවිඳි අත්දැ­කී­මක් විඳි අධ්‍යා­පන බලධාරියෝ | සිළුමිණ

කව­දා­වත් නොවිඳි අත්දැ­කී­මක් විඳි අධ්‍යා­පන බලධාරියෝ

මාරාන්තික කොවිඩ් වයිරසයේ දෙවැනි රැල්ලට අභියෝගයක් වෙමින්, දරුවන් වෙනුවෙන් අධ්‍යාපන බලධාරින් කොවිඩ් හමුවේ මෙතෙක් ගත් අසීරු තීරණයක මල්ඵල ගන්වමින් පසුගියදා උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් විය. ලාංකීය විභාග ඉතිහාසයේ අභියෝගාත්මක පරිසරයක් මැද සිසුන් මුහුණ දුන් එකම උසස් පෙළ විභාගය ලෙස ඉතිහාසගත වන්නේද පසුගිය ඔක්තෝම්බර් මස පැවැත්වූ උසස් පෙළ විභාගයය. විභාගය පැවැත්වීමේ සිට උත්තර පත්‍ර පරීක්ෂාව, පිළිතුරු නිකුත් කිරීම දක්වා වූ බාර ධුර කර්තව්‍යයේදි විභාග හා අධ්‍යාපන බලධාරීන් ජාතියේ දරුවන් වෙනුවෙන් පෙනී සිටියේ කිසිදු දරුවකුට අසාධාරණයක් නොවන පරිදි හැකි ඉක්මනින් විභාග ප්‍රතිඵල නිකුත් කරන්නටය.

කොවිඩ් මැද පැවැත්වූ මේ අභියෝගාත්මක විභාගයේදි අමතක නොවූ එක් අත්දැකීමක් වූයේ උදේ විභාගයට මුහුණ දුන් දරුවා සවසට කොවිඩ් රෝගියකු ලෙස හඳුනා ගැනීමය.

එසේම මේ දරුවන් සමඟ උරෙන් උර ගැටෙමින් විභාග කටයුතු කළ කාර්ය මණ්ඩලයද අවදානම කරට ගත්තේ දරුවන්ගේ මානසිකත්වය බිඳ නොවැටෙන්නටය. විභාගයට දින නියම කර ගන්නට උත්සහ කළ මොහොතක් මොහොතක් පාසා අධ්‍යාපන හා විභාග බලධාරීන්ට විඳින්ට සිදුවූ හා පැමිණි බාධා එකක් දෙකක් නොවේ. දිනෙන් දින හමායන කොවිඩ් රැල්ල හමුවේ තෙවරක්ම විභාගය කල් දමන්නට සිදු වූ අතර, අවසානයේ කුමන බාධා පැමිණියද තවත් එක් වරක් හෝ කල් නොදමන්නට අධ්‍යාපන ඇමැති, අධ්‍යාපන ලේකම් හා විභාග කොමසාරිස් ජනරාල්වරයා එක් තීරණයකට පිවිසියේ දරුවන් ඒ වන විට පත්ව තිබූ මානසිකත්වය හඳුනාගත් නිසාය.

“ අවසානයේ උසස් පෙළ විභාගයට දින නියම කර ගත්තේ ඔක්තෝම්ර් 12 වැනිදා. ඒත් ඔක්තෝම්බර් 3 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුර මතුවුණා. ඒ වන විට පොලිස් බල ප්‍රදේශ 19 ක් හුදකලා කළා. ගම්පහ, බස්නාහිර පාසල් වැසුවා. යම් යම් අය කතා කර කිව්වා මේ

තත්ත්වය මැද විභාගය පවත්වන්න එපා කියා. එත් දරුවෝ වෙනුවෙන් අපි ආපස්සට ගියේ නැහැ. විභාගයට ආසන්න වෙද්දී සෞඛ්‍ය අංශ මඟින් කිව්වා ගම්පහ ළමයින්ට කොළඹට එන්න දෙන්න බැහැ කියා. අපි තවත් අපහසුතාවකට පත්වුණා. මම මේ දින කිහිපයේම ඒ හැම ප්‍රදේශයකටම ගිහින් අවශ්‍ය කටයුතු සොයා බැලුවා. දිනෙන් දින කොවිඩ් වැඩි වෙද්දී අපි පළාත් බලධාරින්ට ශක්තියක් ලබා දෙමින් විභාගයට අවශ්‍ය කටයුතු සූදානම් කළා. විභාග කොමසාරිස් සමඟ එක්ව දිනපතාම එන බාධාවලට පිළියම් යෙදුවා. කොවිඩ් දරුවන් වෙනුවෙන්, නිරෝධායනය වන දරුවන් වෙනුවෙන් අතිරේක මධ්‍යස්ථාන සූදානම් කළා. විභාග දිනවල එක පාරටම යම් යම් ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් මතු වුණා. සමහර දරුවන්ට ප්‍රශ්න පත්‍ර පවා නොලැබුණා. අපි ඒවා ෆෝටෝ කොපි කර සිසුන්ට ලබා දුන් අවස්ථා තිබුණා....විභාගය පැවැති ඒ දින 22 අපිට විශාල අභියෝගාත්මක කාලයක් වුණා...“ ඒ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සි. පෙරේරාය.

කොතෙක් බාධා පැමිණියද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවැසූවේ දරුවන් විභාගයට පැමිණිම 100% ක් වූ බවය.

“ කොවිඩ් නිසා සෞන්දර්ය හා තාක්ෂණ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටීමට නොහැකි වූ සිසුන් සිටියා. ඒ සිසුන් සුවවී ප්‍රායෝගික පරික්ෂණ සඳහා පැමිණෙන තෙක් බලා සිටින්නට අපට සිදුවූවා. එසේ නැති වූයේ නම් මීට දින 30 කට පෙර ප්‍රතිඵල දීමට අපට හැකිවුණා. ඒ වගේම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර ඇගයීමේදි ප්‍රමාණවත් පරික්ෂකවරු සිටියේ නැහැ. එයත් අභියෝගයක් වුණා..“ ඒ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතය.

බැරූරුම්කම දැනුනත් විභාග රාජකාරි අතහැර නොයන්නට කැපවූ කාර්යය මණ්ඩලයට කොවිඩ් දීමනාවක් ලබා දීමටද කටයුතු කළේ ඔවුනගේ කැපවීම අගය කරන්නටය. මේ සියලු කටයුතු සම්පාදනය වූයේ අධ්‍යාපන ඇමැති ජි.එල් පීරිස් ගේ නායකත්වයෙනි.

විභාග දෙපාර්තමේන්තුව විභාගය පැවැත්වීමෙහිලා ගත් ක්‍රමවේද පැයෙන් පැයට යාවත්කාලීන කළේ කොවිඩ්වලට අභියෝග කරමිණි.

“ අපේ කාර්ය මණ්ඩල කොවිඩ් නොදැන දරුවා ළඟින් ආශ්‍රය කළා. සමහර දරුවන්ගේ මුළු පවුලම කොවිඩ්. ඒ දරුවන්ව විභාග මධ්‍යස්ථාන වලට ගේන්න කවුරුත් කැමැති නැහැ. සමහර විට පොලීසියේ අයට සිදු වෙනවා මේ දරුවන්ව විභාග මධ්‍යස්ථාන වලට ගේන්න...“ එදා පළාත් අධ්‍යාපන බලධාරින් දරුවන්ගේ දුක් බලධාරීන්ට දැන්වූයේ ඒ ආකාරයෙනි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සියලු අභියෝගයන්ට මුහුණ දුන් අතර ඔහුගේ එකම අරමුණ වූයේ දරුවන්ගේ විභාගය පවත්වා හැකි පමණ ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙන්නටය. මෙවර උසස් පෙළ විභාගයට නව නිර්දේශය යටතේ සිසුන් 277,625 දෙනෙකු පෙනී සිටි අතර එයින් 178,337 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇයැදුම් කිරීමට සුදුසුකම් ලැබීය.

එසේම පැරණි නිර්දේශය යටතේ ඇයැදුම්කරුවන් 24,146 දෙනේ විභාගයට පෙනී සිටි අතර එයින් 15,560 දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීය.

ඒ අනුව සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 64.39% කි. මේ අතර විභාගයේ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම සඳහා විභාග තහංචි පෙර ආකාරයෙන්ම පැනවූ අතර 86 දෙනෙකුගේ ප්‍රතිඵල අත් හිටුවීමට විභාග දෙපාර්තමේන්තුවට සිදුවිය.

විභාග ඉතිහාසයේ ඔන්ලයින් හෙවත් දුරස්ථ අධ්‍යාපනය හරහා සිසුන් ප්‍රසිද්ධ විභාගයකට ලියූ මුල්ම අවස්ථාවද මෙය වෙයි. කොවිඩ් වසංගතය හමුවේ පාසල් වැසුණු දා සිට සිසුන්ට දුරස්ථ අධ්‍යපන මෙවලම් ඔත්සේ අධ්‍යාපන කටයුතු කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පසුබිම සැකසීය. දුරස්ථ අධ්‍යාපනයේ සාර්ථකත්වය පිළිබඳ සිළුමිණට අදහස් දැක්වූයේ විවාත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන අංශයේ මහාචාර්ය නලින් අබේසේකරය.

“ පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට 2019 වසරේ පාස්කු ප්‍රහාරයත් 2020 වසරේ කොවිඩ් නිසාවෙනුත් පාසල් ගමන අත්හිටවුණා. මේ දරුවෝ ප්‍රථම වරට ජාතික විභාගයකට මුහුණ දුන්නේ අසීරු කාලයක් පසු කරලයි. උසස් පෙළ සුනදරත්වය මේ දරුවන්ට අත්විඳින්ට ලැබුණේ නැහැ. මේ තත්ත්වයේ වින්දිතයන් බවට සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව දරුවනුත් පවත්වුණා. කෙසේ වෙතත් කොවිඩ් නිසාවෙන් අපේ රටේ අධ්‍යාපනය ඇරඹීමට රජය ගත් මේ ප්‍රතිපත්ති ඇත්තෙන්ම සාර්ථකයි. විභාග දෙපාර්තමේන්තුව

පවා විභාගයේ ප්‍රමිතිය ආරක්ෂා කරන්න කටයුතු කළා. මේ දරුවෝ විශ්වවිද්‍යාලයට පිවිසිමේදි විශේෂ සැලකිල්ලක් මේ අය වෙනුවෙන් යෙදිය යුතුයි.

විශ්වවිද්‍යාල නම්නීකරණ පාඨමාලාව පවා මේ දරුවෝ වෙනුවෙන් විශේෂයෙන් සැකසිය යුතු වෙනවා....“මහාචාර්ය නලින් අබේසේකරය.

මෙවර විභාගයේදි දරුවන්ගේ කැපවිම, අධිෂ්ඨානය මෙන්ම බාධක ජය ගැනිමේ හැකියාව අපි අගය කළ යුතුමය. ඇය කොළඹ මියුසියස් විදුහලේ වාණිජ අංශයෙන් ඉසෙඩ් ලකුණු 2.2 ක් හා ඒ සාමාර්ථ 3 ක් ලබා ගත් සමාදි සුමනරත්න දියණියගේ මවය. දුරස්ථ අධ්‍යාපනය ඔත්සේ දරුවන්ගේ ඉගැන්වීම් දෙමවුපියන්ට අභියෝගයක් මෙන්ම අත්දැකීමක්ද වුයේ මේ ආකාරයෙනි.

“ උසස් පෙළ පන්තිවල අපේ දරුවන්ට ඉගෙන ගන්න ලැබුණේ සීමිත කාලයක් පමණයි. ඒ දරුවෝ මේ භාරදූර වගකීමට මුහුණ දුන්නේ වෙනස්ම ආකාරයෙන්. ඇත්තෙන්ම ඔන්ලයින් අධ්‍යාපනය අපිට ලොකු අත්දැකීමක් වුණා. ඒත් දරුවෝ ඒ සියල්ලම සාර්ථකව කළා. පාසල් අධ්‍යාපනය මෙන් සාර්ථක නොවුණත් අසාර්ථකත්වයක් ඒ තුළ තිබුණේ නැහැ. අපේ අධීක්ෂණය යටතේ මේ දරුවන් මෙහෙයවන්න අපිට හැකිවුණා. මේ ජයග්‍රහනය දරුවන්ට හිමි විය යුතුවා සේම බාධක මැද දරුවන්ට ඉගැන්විම් කළ ගුරුවරුන්ටත් එහි ගෞරවය හිමිවිය යුතුයි......“ මේ මව පවසන්නීය.

 

Comments