‘වස්ති’ සග­යෙක් යුග දිවි­යට දුලාජ් - ජය­නිට සුබ මංග­ලම්! | සිළුමිණ

‘වස්ති’ සග­යෙක් යුග දිවි­යට දුලාජ් - ජය­නිට සුබ මංග­ලම්!

 

 

ලංකාවේ ප්‍රසිද්ධම Youtubers ලා කවුද ඇහුවොත් නිතැතින්ම ඔබේ මතකයට එන්නේ ‘වස්ති‘. වස්ති හී දුලාජ් ජයතිලක පසුගියදා යුග දිවියට එළැඹුණා. මීගමුව Avenra Garden හෝටල් පරිශ්‍රයේදී තමයි දුලාජ් ගේ විවාහය පැවැත්වුණේ. ඔහු හා අතිනත බැඳුණේ ජයනි ජයතුංගයි. " අම්මෝ ලොකු බරක් ඔළුවෙන් නිදහස් වුණා වගේ දැනුණේ. දුලාජ් කතාව පටන් ගත්තේ එහෙම.

 

" අපි මේ විවාහ මංගල උත්සවය ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ ගන්නයි කටයුතු සූදානම් කළේ. කොරෝනා තත්ත්වය හේතුවෙන් එය මැයි 3 වෙනිදාට කල් දාගත්තා. ඒත් දෙගිඩියාවෙන් හිටියේ රටේ තත්ත්වය එක්ක එදාටත් කරගන්න බැරිවෙයි කියලා. කොහොම හරි අන්තිම මොහොතේ Wedding එකේ වැඩ කටයුතු ලස්සනට කෙරුණා."

 

ඉතිං දුලාජ් අපි කැමතියි මනමාලි ගැන විස්තර ටිකක් දැන ගන්න.

ඇය ජයනි ජයතුංග. පදිංචිය කොළඹ. කලින් රැකියාවක් කළා. ඒ වගේම පවුලේ ව්‍යාපාර කටයුතුවලටත් සම්බන්ධ වෙලා හිටියා. ඒත් ඇය දැනට රැකියාවක් කරන්නේ නැහැ.

 

දුලාජ්ට කොහොමද ජයනිව මුණගැහෙන්නේ?

ඒ දවස්වල මම විදෙස්ගත වෙලා හිටියේ. එතකොට 'වස්ති' පටන් අරන් තිබුණේ නැහැ. යාළුවෙක් මාර්ගයෙන් තමයි මුලින්ම මම ජයනිව අඳුර ගන්නේ. අපි මුලින්ම ගොඩක් මැසෙජ් කළා. අවුරුද්දක් විතර මැසේජ් සහ කෝල්ස් වලින් අපිව හඳුනාගෙනයි මුණගැහිලා ආදර සම්බන්ධතාවක් පටන් ගත්තේ. දැන් අපේ සම්බන්ධයට අවුරුදු 5ක් විතර වෙනවා.

 

ජයනිව තමන්ගේ ජීවන සහකාරිය විදිහට තෝරා ගන්න සුදුසුයි කියලා

ඇයි දුලාජ්ට හිතුණේ?

මිනිස්සුන්ට යම් කාලවල විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ජයනිව හමු වුණු කාලේ මම ගතකරමින් හිටියේ මගේ ජීවිතේ අමාරුම කාලයක්. ඒ කාලේ ඇය මගේ ළඟින්ම හිටියා. මං හොඳින් ඉන්න කාලේ වගේම දුකක් කරදරයක් වුණාමත් මගේ ළඟින්ම හිටපු එකම ඇති මට.

දුකේදී සැපේදී දුලාජ් ළඟින්ම හිටපු ඔහුගේ අලුත බැඳපු මනාලියත් අපි අපේ කතාවට සම්බන්ධ කරගත්තේ ඔය අතරෙමයි.

" අපි කතා කරමින් හිටි කාලෙදි මට තේරුණා ඔහු මට කැමත්තෙන් ඉන්නවා බව. මගේ හිතෙත් ඒ වෙනකොට කැමැත්තක් ඇති වෙලා තිබුණත් අපි එකිනෙකාට එය අඟවලා තිබුණේ නෑ. ඔය අතරේ දවසක් මට දුලාජ් කිව්වා පන්සල් යමු කියලා. ඒ ගිහින් එන අතරේ තමයි ඔහු මට යෝජනාව ඉදිරිපත් කළේ. මම එකපාරට හා කිව්වේ නැහැ. සති එක හමාරක් විතර ගියාට පස්සේ තමයි ආදරේ ප්‍රකාශ කළේ. "

 

ගෙදරින් කොහොම ප්‍රතිචාරයක්ද ලැබුණේ සම්බන්ධයට ?

ගෙදරින් කැමැත්ත ලැබුණා. එකම දේ ඒ කාලේ දුලාජ්ගේ රැකියාව සම්බන්ධයෙන් තිබ්බ ගැටලුව. පස්සේ ඒ හැමදේම හොඳින් විසඳුණා.

ජයනිට ඇයි තමන්ගේ ජීවිතේට දුලාජ්ව සම්බන්ධ කරගන්න හිතුණේ ?

දුලාජ් ගොඩක් හොඳ පුද්ගලයෙක්. ඔහු අවංකයි. විශ්වාසවන්ත සරල පුද්ගලයෙක්. ඇත්‍තටම මං හරි වාසනාවන්තයි ඔහුව ලබන්න.

ලංකාවේ ජනප්‍රිය Youtuber කෙනෙක් විදිහට දුලාජ්ට ලැබෙන ආකර්ෂණය ඔබට බලනොපාවි ද ?

මට එතනදී අවිශ්වාසය කියන දේ ඇවිල්ලා නැහැ. අවිශ්වාසයක් ඇති වුණා නම් අද අපි මෙහෙම විවාහ ගිවිස ගන්නෙත් නැහැ.

 

සමාජ මාධ්‍ය හී හාස්‍යෝත්පාදක

චරිතයක් වන දුලාජ් සැබෑ ජීවිතයේ

කොයි වගේ පුද්ගලයෙක්ද?

ඔහු හරිම විනෝදකාමී චරිතයක්. ඔහුගේ සීමාවේ ඉඳන් කරන හැමදේම කරනවා. මාත් එක්ක ඉන්නවට වඩා මම කැමති ඔහු යාළුවෝ එක්ක ඉන්නවා දකින්න.

 

විවාහය කල් යද්දී මනමාලියක් වෙන්න ආසාවෙන් බලන් හිටපු ජයනිට මොනවගේ හැඟීමක්ද දැනුණේ?

ජයනිගෙන් අහපු ඒ ප්‍රශ්නෙට පැනලා උත්තරේ දුන්නේ දුලාජ්. " හොඳටම අඬන එක තමයි කළේ." දුලාජ් හිනාවෙවී එහෙම කියද්දී ජයනි නම් කිව්වේ,

" ඇත්තටම ලොකු දුකක් දැනුණා. අපි Wedding එකට දවසටත් වඩා ගොඩක් ආසාවෙන් බලන් හිටියේ අපේ දෙවෙනි දවසේ උත්සවය ගන්න. ඒක අපි සැලසුම් කළේ අපේ යාළුවන්ටයි දුලාජ්ගේ ක්ෂේත්‍රයේ අයටයි. මැයි 8 වෙනිදා තමයි ඒක Grand විදිහට කරන්න හිතන් හිටියේ. ඒක කල්ගිය එක ගැන ඇත්තටම දුකයි. "

 

විවාහයෙන් පස්සේ ඉදිරියට වස්ති එක්ක මොනවද කරන්න බලපොරොත්තුවෙන් ඉන්නේ?

අලුතින්ම එන්න තියෙන්නේ අපි දවස් ගාණක් කැපවෙලා මහන්සි වෙලා කරපු අපේ අලුත් Video එක. දැනටමත් එහි පූර්ව ප්‍රචාරක පටය සමාජ මාධ්‍යට නිකුත් කර තියෙනවා. තව සතියකින් දෙකකින් විතර ඒ Video එක නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

‘වස්ති‘ අපේ ලොකුම බලාපොරොත්තුව චිත්‍රපටයක් කරන එක. අපි මේ දවස්වල සැලසුම් කරමින් ඉන්නේ ඒ ගැන තමයි.

 

Comments