‘කැලණි පාලම’ රඟ­පෑවේ පාලම යට මිනිස්සු එක්ක ජීව­ත් වෙලා | සිළුමිණ

‘කැලණි පාලම’ රඟ­පෑවේ පාලම යට මිනිස්සු එක්ක ජීව­ත් වෙලා

 

නීල් අලස් කියන්නේ වෙනම රංගන පෞරුෂයක්. 70 සහ 80 දශකයේ “සිංහල වේදිකා නාට්‍ය කලාවේ” මහා ප්‍රතාපවත් භූමිකාවක් රඟ දැක්වූ මේ විශිෂ්ට රංගන ශිල්පියා කැලණි පාලම නාට්‍යයේ ‘චුට්ටේ‘ ලෙසත්, ‘ආඬි රැලේ නාඩගම‘ නාට්‍යයේ මැක්හීත් ලෙසත් සහ ‘ධවල භීෂණ‘ නාට්‍යයේ ශෝන් ලෙස රූපණය කළ චරිත යුගයක් වර්ණවත් කරමින් සහෘද රසික පර්ෂදයක චින්තන නිම් වළලු පුළුල් කළ ආකාරය තවමත් සංවාදයට ලක් වෙනවා. රංගනය යනු බරසාර විෂයක් බවත්, අත්දැකීමෙන් ලද ජීවිත පරිඥානය ශාස්ත්‍රීය ශික්ෂණයකින් ඔප් නැඟුණු විට විශිෂ්ට රංගන ශිල්පියෙක් බිහිවන බවත් අපට කියන ජීවමාන උදාහරණය නීල් අලස් විය හැකියි.

 

සංවාදයට සුපුරුදු ප්‍රවේශය ගනිමින් අප මුලින්ම ඔහුගෙන් විමසන්නේ රංගන ජීවිතයට ඔහු පැමිණි ආකාරය. ඒ පෞරුෂවත් හඬ අවදි වුණා

“රංගන අධ්‍යාපනය ලැබුවේ නාට්‍ය කළ, නාට්‍ය අධ්‍යක්ෂණය කළ අයගෙන්. ඒ දවස්වල සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් විදේශ විශාරදයෝ ගෙනත් රංගන වැඩමුළු තියෙනවා. ඒ ගොඩාක් වැඩමුළුවලට නළු නිළියෝ සහභාගී වෙන්නේ නෑ. සුගත්, හෙන්රි අයියලා වගේ අය තමයි ඒවට සම්බන්ධ වෙන්නේ. ඉතින් මම ජයශ්‍රී චන්ද්‍රජිත් එක්ක දවසක් ශාලිකාවේ ජනේලෙක එල්ලිලා මේ රංගන අභ්‍යාස කරන දිහා බලාගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට අපිට ඒ වැඩමුළුව මෙහෙයවපු ප්‍රොෆෙසර් කතා කළා. නෝබට් ජෙමයර්, එක්ක එතන හිටපු ප්‍රිට්ස්, වගේ කීප දෙනෙක්ගේ නම් මතකයි. නෝබට් ජේමයර් තමයි කතා කළේ. ඒක අපූරු මතකයක්. ඊට පස්සේ ධම්ම ජාගොඩ, වගේ අය හමු වුණා. අපි එකට ශාලිකාවේ ඉගෙන ගත්තා.

‘ආඬිරැළේ නාඩගම‘ වෙනම මතකයක්. එය කරන්නේ ප්‍රීට්ස් කියන විදේශ අධ්‍යක්ෂවරයා. නාට්‍ය සහාය අධ්‍යක්ෂණය කළේ රන්ජිත් ධර්මකීර්ති. මා නීල් අලස්ගේ මතකය ඒ අතීතට යොමු කළා.

“ ‘ආඬි රැලේ නාඩගම‘ කළ ප්‍රීට්ස් කියන්නෙ බොහොම දැනුම්වත් මනුෂ්‍යයෙක්. කෞෂල්‍යා තාමත් කියනවා “අයියේ ආඬි රැළේ නාඩගමේ චරිතයට අයියා එනකොට පිස්සු හැදුණා“ කියලා...“ ඔහු සිනාසෙමින් යළිත් සිය ගැඹුරු හඬ අවදි කළා.

“ඒත් මම ඇත්ත කියන්න ඕන. ප්‍රීට්ස්, මහාචාර්ය නෝබට් ජෙමෙයර් වගේ විදේශ විද්වතුන්ගෙන් ඉගෙන ගත්තට වඩා වැඩි දෙයක් මම අපේ ධර්මසිරි බණ්ඩාරනායක වගේ නාට්‍ය කරුවන්ගෙන් ඉගෙන ගත්තා. ඔවුන්ගේ ඇගැයීම් මගෙ ජීවිතේට ලොකු වටිනාකමක් විශ්වාසයක් ගෙනාවා. මගෙ පළවෙනි වේදිකා නාට්‍ය වුණේ දයා වයමන්ගේ ‘අම්මයි පුතයි‘. ඒක බලපු හෙන්රි ජයසේන කිව්වා “ මරු නීල්... ඔයාට මාර පුදුම ඇස් දෙකක් තියනවා“ කියලා. කොහොම හරි මේ නාට්‍යය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නාට්‍ය උලෙළක දී ආරාධිත නාට්‍යයක් විදිහට වේදිකා ගත වුණා. මට මතකයි හොඳ හූවක් වැදුණා. ඒ හූව කාගෙන තමයි අපි රඟපෑවේ. එදා මම හිතා ගත්තා කවද හරි හොඳ නළුවෙක් වෙනවා. කියලා.“

නීල් අලස් කියන්නෙ හූවක් ඔහුව රැගෙන ආපු දුර ගැන. ඒ ගමන ඔහු කූටප්‍රාප්තියට රැගෙන එන්නෙ සමකාලීන ප්‍රභූ නාට්‍ය කරුවන් සියල්ලන්ගෙම නිර්මාණ සඳහා නැතිවම බැරි ශිල්පියෙක් බවට පත් වෙමින්. ආචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිට රංජිත් ධර්මකීර්ති, සුගතපාල ද සිල්වා, ලූෂන් බුලත්සිංහල, ධර්මසිරි බණ්ඩාරනායක ජනගත කළ විශිෂ්ට නිර්මාණ බොහොමයක ඔහු අමතක නොවන රංගනයක් ඉදිරිපත් කළා. ඒ හැම එකටම වඩා නීල් අලස්ගෙ නම රැඳී තියෙන්නෙ ‘කැලණි පාලමේ‘ චුට්ටෙගෙ චරියත් එක්ක.

“ කැලණි පාලමේ පුහුණු වීම් තිබුණේ ලයනල් වෙන්ට්ඩ් රඟහලේ. ඒ වකවානුවේ අපි පුහුණුවීම් කරද්දි මට මතකයි සුගතපාල ද සිල්වා, ධම්ම ජාගොඩ එනවා. ආර්. ආර්. සමරකෝන් එක්ක ඔවුන් ඒ නිර්මාණය පෝෂණය කළා. මට හිතෙන්නෙම ‘කැලණි පාලම‘ කියන්නෙ සාමුහික අධ්‍යක්ෂණයක් කියලා.

“මේ නාට්‍යය කරනකොට අපි ඒ පාලම උඩ ජීවත්වෙන මිනිස්සු එක්ක පුදුම විදිහට සමීප වුණා. උදේ ගිහින් ඒ අය එක්ක ගත කරලා හවස තමයි ආවේ. ඒ මිනිස්සුන්ගේ ජීවිත යථාව අපි හරියටම අත්වින්ඳා. එය දැනෙන සුලු විදිහට සමාජයට දෙන්න පුළුවන් වුණේ ඒ නිසා.“

රංගන අභ්‍යාසය කියන්නෙ මොනතරම් ගැඹුරුට විනිවිඳින මානුෂීය වෑයමක් ද කියලා නීල් අලස් අපට කියා දෙමින් හිටියා. අපි පුංචි සන්දියෙදි ‘කැලණි පාලම‘ නාට්‍යය රටේ බෙහෙවින්ම ජනප්‍රිය වු හැටි මතකයි. එය ප්‍රදර්ශනය නොකළ තැනක් නෑ.

“ ‘කැලණි පාලම‘ නාට්‍යයට අවුරදු 35ක්. මම අවුරුදු 32ක්ම එහි රඟපෑවා. ධර්මසිරිගෙ ‘ධවල භීෂණ ‘ නාටයේ 2018 වෙනකම් අවුරුදු 30ක් රඟපෑවා. ‘ධවල භීෂණ‘ කරද්දි දැනුණු හැඟීම තිගස්සන සුලුයි. නාට්‍ය බලපු අයත් නාට්‍ය රඟපාපු අපිත් ඒ නිර්මාණය වේදිකා ගත කළේ ආතතියකින්. නාට්‍ය බලලා මිනිස්සු රංග ශාලාවෙන් ගියේ බිය පත්වෙලා. කතා කරන්නෙ නැතිව. පස්සෙ මම ධර්මසිරිට කිව්වා “ධර්මේ... තවත් මට මේ ටෙන්ෂන් එක ගන්න බෑ. මට දැන් අමතක වෙනවා. මොනවා හරි ගැටලුවක් ආවොත් මේ නිර්මාණයටයි හොඳ නැත්තේ... මම අයින් වෙන්නම්“ කියලා.“ නීල් අලස් කියන නිර්මාණකරුවා වඩාත් ගෞරවයට පාත්‍ර වෙන්නෙ වේදිකාවෙදි නැඟෙන ඔහුගෙ හඬ පෞරුෂයත් එක්ක. අප අතරින් වියෝ වූ ආදරණීය විශිෂ්ටයා ජයලාල් රෝහණ සිය පර්යේෂණ කෘතියෙදි නීල් අලස්ව හඳුන්වා දෙන්නෙ කටහඬෙන් ලංකාවෙ ඉන්න ශ්‍රේෂ්ඨ ගණයේ එකම නළුවා කියලා.

“ ඔව්... ජයලාල් කියලා තිබුණා මෙතෙක් වේදිකාවේ හඬවල්වලින් වේදිකාවට යම් සෙතක් වුණේ නීල් අලස්ගෙ හඬින් විතරයි කියලා. දැනටත් සමහරු මගේ හඬ ඉමිටේට් කරලාත් තියනවා...“

මා ඉදිරියේ ඉන්නෙ සිංහල වේදිකා නාට්‍ය වංශයේ එක් යුගයක්. පුරා දශක පහක් වේදිකාවේ ස්වීය භූමිකාව අර්ථ පූර්ණ කළ වචනාර්ථයෙන්ම ගරු කටයුතු ශිල්පියෙක්. සාගරයක අත්දැකීම් පිරුණු මේ ප්‍රමාණික මිනිසා සමඟ මේ පිළිසඳර නිමා කරන්න හිතෙන්නෙ නෑ. එහෙත් කාලය හා ඉඩ හසර අපේ සංවාදය නිමා කරන්න බල කරනවා. අවසාන වශයෙන් මා ඔහු විමසුවා.

“ දැන් ඔබට අපේ වේදිකාව පෙනෙන්නේ කොහොම ද?“

ඔහු මඳක් නිහඬ වුණා. යළිත් මා බෙහෙවින්ම ආශක්ත කළ ඒ ගැඹුරු හඬ අවදි කළා.

“ ඉතාම බලාපොරොත්තු සහිත යෞවනයෝ අතළොස්සක් වේදිකාවේ නිර්මාණාත්මක පර්යේෂණ කරනවා. ඒත් දැන් වේදිකාව වැඩි වශයෙන් හසුරුවන්නේ ව්‍යාපාරිකයො. ඇත්තටම ඒ වකවානුවෙ මා ඇතුළු බොහොමයක් නිර්මාණකරුවන්ට නිර්මාණයෙන් ලැබෙන තෘප්තිය තමයි ප්‍රමුඛ වුණේ. අපි මුදල් හම්බ කළේ නැති මිනිස්සු. ඒ අතීතය ගැන සතුටුයි.

කොහොමත් පුතා අපි යථාර්ථය පිළිගන්න ඕන. දැන් වයසින් 70 පසු කරලා. කොයි වෙලේ කතා කරයි ද දන්නෙ නෑ. වයස 50 පසු වුණු ගමන් විශ්‍රාමිකයි. ඒත් වේදිකාවට තවත් අවුරුදු 20ක් මම වැඩ කළා. චිත්‍රපට රංගන ශිල්පියෙක්. ගුවන් විදුලි රංගන ශිල්පියෙක්, රූපවාහිනී රංගන ශිල්පියෙක් විදිහට මොනතරම් දේවල් ලැබුණත් මම මේ වෙලාවෙත් කැමතියි වේදිකා නළුවෙක් විදිහට මාව හඳුන්වන්න. ඒ ගැඹුරු අනන්‍යතාව අරක්ෂා කරගෙන නිදහසේ ඇස්දෙක පියාගන්න පුළුවන් නම් ඒක තමයි මගෙ අවසාන ප්‍රාර්ථනාව.''

ඔහුගේ දීප්තිය නොසිඳුණු බැල්ම මඟ හැර මා නැඟී සිටියා. ඔහුගේ රුව අවසන් වශයෙන් මා දුටුවේ බොඳ වුණු සිතුවමක් විදිහට.

 

ඡායාරූපය - විරාජ් ලියනාරාච්චි

Comments