පළිඟු භාවි­ත­යේදී සැල­කි­ලි­මත් විය යුතු කරුණු | සිළුමිණ

පළිඟු භාවි­ත­යේදී සැල­කි­ලි­මත් විය යුතු කරුණු

 

 

යහපත්, ධනාත්මක දේවල් පළිඟුවට ලබා දෙන්නේ නම් එය නැවතත් ඔබට ලබා දෙනුයේ ධනාත්මක ශක්තින් වන අතර ඔබ එයට සෘණාත්මක සංවේදන ලබා දෙන්නේ නම් පළිඟුවෙන් පෙරළා ඔබට ලැබෙන්නේද සෘණාත්මක ශක්තින් ය.

පළිඟුවල ගැබ්ව තිබෙන ශක්තිය, ඒවා පැලඳීමේ අරුත හා පළිඟු හඳුනාගන්නා අයුරු පසුගිය ලිපියෙන් අපි සාකච්ඡා කළෙමු. පළිඟු නිරන්තරයෙන්ම විශ්වයේ පවතින ශක්තිය ආකර්ෂණය කිරීම, ගබඩා කර තබා ගැනීම හා මුදා හැරීම සිදු කරන හෙයින් ඒවා ජීවමාන විශ්වයේම ප්‍රතිබිම්බයක් ලෙස ක්‍රියා කරයි. එබැවින් පළිඟු පූජනීය වස්තූන් ලෙස සලකා පරිහරණය කළ යුතුවේ. මෙහිදී මතක තබා ගත යුතු කරුණු කාරණා කිහිපයක් ඇත.

 

යම් ගෞරවයක් ආදරයක් සමඟ කටයුතු කිරීම

සෑම විටම පළිඟුව හා ගනුදෙනු කරන විට එය තවත් ජීවි පුද්ගලයෙක් ලෙස සිතා කටයුතු කරන්නේ නම් මේ කාරණය වඩාත් පහසු වනු ඇත. මේ ආකාරයට ගෞරවය දැක්වීම වැදගත් වනුයේ පළිඟු සතු මතකය ගබඩා කර ගැනීමේ ශක්තිය නිසාය. බොහෝමයක් පළිඟු hard disk (දෘඩ තැටියක්) නැතිනම් memory chip එකක් ලෙස ක්‍රියා කරයි.

පළිඟු තුළ දැනුම, දත්ත, මතක ගබඩා කර ගැනීමේ හැකියාවක් ඇත. ධනාත්මක ශක්තීන් මෙන්ම සෘණාත්මක ශක්තීන් ද පළිඟුව තුළ ගබඩා කරගනු ලැබේ. යහපත්, ධනාත්මක දේවල් පළිඟුවට ලබා දෙන්නේ නම් එය නැවතත් ඔබට ලබා දෙනුයේ ධනාත්මක ශක්තින් වන අතර ඔබ එයට සෘණාත්මක සංවේදන ලබා දෙන්නේ නම් පළිඟුවෙන් පෙරළා ඔබට ලැබෙන්නේද සෘණාත්මක ශක්තින් ය.

මෙම දත්ත ගබඩා කර ගැනීමේ හැකියාව විවිධ පළිඟු program (ආරෝපණය) කිරීම සඳහා භාවිත කරයි. ඔබ පළිඟුව තෝරාගනු ලබන කාර්යය සඳහා ඔබට අවශ්‍ය ආකාරයෙන් ආරෝපණය කිරීමක් සිදු කළ හැක. පළිඟුවල මෙම ආරෝපණ ගුණය හේතුවෙන් ඔබ පළිඟු සමඟ ගනුදෙනු කරන විට එය සෘණාත්මකව ආරෝපණය නොවීමට වගබලා ගත යුතුයි.

 

පිරිසුදු කිරීම හා නැවත බලගැන්වීම

පළිඟුවල ඇති ශක්තින් අපගේ භාවිතයත් සමඟ හීන වීමක්, පාවිච්චි වීමක් සිදුවන අතර ඉහත පැවසූ ආකාරයට භාවිතයේ ගැටලු නිසා වෙනත් ආකාරයකට ආරෝපණය වීම්, අපිරිසිදු වීම් සිදුවිය හැක. මෙහිදී අපිරිසුදුවීම් ලෙස අදහස් කරනුයේ මතුපිටින් වෙන අපිරිසුදු වීම් නොවන අතර එයින් අදහස් කරනුයේ එහි ඇති ශක්තියේ සිදුවන පරිහානියයි. මේ හේතුවෙන් මසකට වරක් හෝ පිරිසුදු කිරීම හා නැවත බලගැන්වීමේ ක්‍රියාවලියක් සිදු කළ යුතුය.

පළිඟු, සොබාදහමේ කොටසක් වන බැවින් ඔබට එය පිරිසුදු කිරීම හා නැවත බලගැන්වීම සිදු කළ හැක්කේ ද සොබාදහමේ පිහි‍ෙටන්ම පමණි.

මේ සඳහා උල්පත් ජලය, මුහුදු ජලය, ගංගා ජලය, වැසි ජලය, සඳ එළිය, හිරු එළිය, වෙනත් පළිඟු, පස්, සහල් හා නාදය වැනි දෑ භාවිත කරයි. සරලව කිවහොත් ඔබ මසකට සැරයක් හෝ ඔබගේ පළිඟුව නැවතත් සොබාදහමේ ඇති ධනාත්මක ශක්තින් සමඟ සම්බන්ධ කළ යුතුය.

 

සෘණාත්මක සිතුවිලි

පළිඟු පලඳින්නා විසින්ම නිකුත් කරනු ලබන සෘණාත්මක චිත්ත තරංග (වෛරය, බිය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තණ්හාව, පසුතැවිල්ල) යනාදිය හේතුවෙන් පළිඟුවල ඇති ධනාත්මක ආරෝපණ හීන වීම සිදුවිය හැක. එබැවින් නිරන්තරයෙන් චිත්ත පාරිශුද්ධ භාවය පවත්වා ගෙන යාම මෛත්‍රිය, කරුණාව වැනි චිත්ත වීථි ඇතිවන භාවනා ක්‍රම වැඩීම යනාදියෙන් පළිඟුවල ඇති ශක්තිය හා බලය ගුණනය වන අයුරින් ඒවා ආරෝපණය කළ හැක.

පළිඟු සතුව පුද්ගලයකුගේ ඇති සෘණාත්මක ගති ලක්ෂණ හා සිතිවිලි, ධනාත්මකව වැඩිදියුණු කිරීමට හැකියාවක් ඇති අතර කාලයත් සමඟ තමන්ගේ ධනාත්මක ගුණයන් වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයකු හට පළිඟු මහත් රුකුලක් වනු ඇත.

 

විවිධ පුද්ගලයන්ට තමන් පලඳින පළිඟුව හෝ ආභරණ අතපත ගෑමට ඉඩ නොතැබීම

මෙයට හේතු වන්නේ ද එහි ඇති ශක්තීන් වෙනස්වීමට ඇති ඉඩකඩයි. මිහිපිට ඇති සෑම සියලු ජීවී අජීවි දෙයක් සඳහාම එයට ආවේණික, එහි ගැබ්ව ඇති විභව ශක්තියක් ඇත. පුද්ගලයකුගේ විභව ශක්තිය විවිධ කරුණු කාරණාවලින් සැදුම් ලද්දකි. එම පුද්ගලයාගේ හැඟීම්, ශාරීරික හා මානසික සුවතාව,අධ්‍යාත්මික දියුණුව ඇතුළු කරුණු ගණනාවක් මත රැඳී පවතී.

පළිඟුවලට ඇති ශක්තීන් උරා ගැනීමේ හැකියාව නිසා සෘණාත්මක ශක්තින් ඇති පුද්ගලයෙක් පළිඟුව ඇල්ලීමෙන් එම පුද්ගලයාගේ සෘණාත්මක ශක්තීන්වලින් පළිඟුව අපිරිසුදු වීමක් සිදු වීමට ඉඩ ඇත.

 

සෘණාත්මක ශක්තිය යනු කුමක්ද ?

ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ආදී සෘණාත්මක සිතිවිලි හා හැඟීම් ඇති පුද්ගලයකුගේ පවතිනුයේ සෘණාත්මක ශක්තීන් වන අතර මෛත්‍රිය, කරුණාව, ආදරය, දයාව, සමානාත්මතාව වැනි සිතුවිලි හා හැඟීම් ඇති අධ්‍යාත්මික දියුණුවක් ඇති, සමබර පුද්ගලයකු සතුව ඇත්තේ ධනාත්මක ශක්තින්ය.

මේ අනුව ඔබ පළිඟු භාවිත කරන්නේ නම්, එයින් ඔබගේ ජීවිතය සරුකර ගැනීමට, දියුණු කර ගැනීමට, ඒ සඳහා යම් ආදර ගෞරවයක් සමඟම සුළු කාලය කැප කිරීමක් සිදුකිරීම අත්‍යවශ්‍ය කරුණකි.

(ලබන සතියේ පළිඟු පිරිසුදු කරන ආකාරය හා බලගන්වනු ලබන ආකාරය)

Comments