කොන්සි පෙරේ­රා­ගෙන් ගීත එක­තු­වක් | Page 2 | සිළුමිණ

කොන්සි පෙරේ­රා­ගෙන් ගීත එක­තු­වක්

 

ඇය එන්.ඩී කොන්සි පෙරේරා ය. මේ වනවිට සමාජයේ අසරණ වූවන් හා පිළිසරණක් අවැසි වූවන් වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින කාන්තාවකි. සමාජ සේවා කටයුතු වෙනුවෙන්ම ඇය විසින් නිර්මාණය කළ ජීව පදනම වසර 10ක් පුරා පුළුල් පරාසයක පැතිරුණු සමාජ සත්කාරයකට කැප කර තිබේ.

ඇයට වර්ෂ 2017 දි ගෞරව ආචාර්ය උපාධියක් රුසියාවෙන් ලැබෙන අතර ඒ ඇයගේ සමාජ සේවා කටයුතු ඇගයීම වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ දී දේශාභිමානී ශ්‍රී ලංකාතිලක සහ ස්වර්ණසිංහ ගෞරව නාමවලින් ඇය පුද ලබා ඇත.

සමාජ සේවිකාවක් මෙන්ම ව්‍යාපාරික කාන්තාවක් ලෙස ද කාර්යබහුල ජීවිතයක් ගත කරන කොන්සි කලා කටයුතුවලට ද සම්බන්ධ වූවාය. උදයකාන්ත වර්ණසූරියගේ 'ආසයි මම පියාඹන්න' චිත්‍රපටයේ නන්දාගෙ චරිතයට පණ පෙව්වාය. ඇය සිය ජීවිතයේ ලබාගත් අත්දැකීම් ඇසුරින් මීට ටික කලකට පෙර 'රැජිනක් නොවූ රැජිනක්' නමින් කෘතියක් රචනා කර එළිදැක්වූවා ය. ඉදිරියේ ඇය සිය ස්වයං ලිඛිත චරිතාපදානයක් සඳහා සැරසෙන්නීය. මේ වනවිට ඇය සිය කුලුඳුල් ගීත ද්විත්වයත් එළි දක්වා ඇති අතර ඒ ගීත කිතුනු බැති ගී දෙකකි.

" මම කිතුනු ආගමානුකූලව ජීවත් වෙන්න උත්සහ කරන කෙනෙක්. ඒ වටපිටාව තුළයි මෙම ගීතය ගායනා කළේ. ගීතය ලියා දුන්නේ ආරියසිංහ පෙරේරා. සංගීතවත් කළේ ජගත් වික්‍රමසිංහ. ඉදිරියේදි විවිධ තේමා යටතේ ගීත පහළොවක් එළිදක්වන්න මම බලාපොරොත්තු වෙනවා. දැනට ගීත හතක කටයුතු අවසන්. සියලුම ගී පද රචනා ආරියසිංහ පෙරේරාගෙ. සංගීතය විශාරද ජගත් වික්‍රමසිංහගෙ ." ඇය අපට කියන්නීය. රටට වැඩදායී යහපත් ජීවිතයක් ගත කිරීම සිය ප්‍රාර්ථනාව බව ඇය පවසන්නීය.

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

Comments