සමාජය විවේචනය කරන්නට බයනැති ලේඛකයා | සිළුමිණ

සමාජය විවේචනය කරන්නට බයනැති ලේඛකයා

 

ලෝකය පුරා කරන්නේ එකක් ය; කියන්නේ එකක් ය; පිළිගන්නේ තව එකක් ය; පෙන්වන්නේ තව එකක් ය. මිනිස් සිත කියන්නේ මේ වැනි එකකටය. මේ සියල්ල ම ජීවිතයට අයත් දෑ ය. මේ සියුම් දෑ හසු වන්නේ නිර්මාණකරුවන්ට ය. අනුරසිරි හෙට්ටිගේ අපූර්ව මානව දයාවකින් යුතුව පාඨක සමාජය ආමන්ත්‍රණය කරන්නේ දශක ගණනාවක සිටය. හේ කෙටිකතාකරුවෙක් ලෙස අනන්ත අප්‍රමාණ අත්දැකීම් සමුදායක් සිය පාඨක ප්‍රජාව වෙත සියුම් ව තිළිණ කර තිබේ.

 

යොවුන් හදවත් ආමන්ත්‍රණය කරන්නට ඉසියුම් තැතක් ගන්නා මෑතකාලීන නවකතාකරුවන් අතර හේ සිටින්නේ ඉදිරියෙන් ම ය. අනුරසිරි නිර්මාණකරුවා සිය නිර්මාණකරණය සඳහා උපයුක්ත කරගන්නා භාෂාව නිවැරදි ය; සරල ය; විචිත්‍රවත් ය; බහුඅරුත් සහිත ය. අප සැම විඳින දෑ ඔහු අත අපූර්ව නිර්මාණයක් වන්නේ ඒ සවිඥානික භාෂා පරිචය හා පරිකල්පන ලෝකය නිසා ය. නිර්මාණකරුවකු සතුවිය යුතු අදීන චින්තනයෙන්, විචාරයෙන් හෙබි ඔහු නව පරපුරක් බිහි කිරීමේ ආධ්‍යාශයෙන් නිතර පෙළෙන්නෙකි. ‘කොළඹ ළමයි‘ එකී චින්තනයේ ප්‍රතිඵලයකි.

“කොළඹ ළමයි කෘතියට පාදක වෙන්නෙ මගේ කොළඹ ජීවන අත්දැකීම් කලාපයේ ළමා අවදියේ අත්දැකීම් පොකුරක්. මේ අත්දැකීම් පොකුර ප්‍රබන්ධ ආකෘතියක බහා නිර්මාණාත්මක රචනාවක් ලෙසින් ඉදිරිපත් කිරීම මට සැබෑම අභියෝගයක් වුණා කිව්වොත් නිවැරදියි.

‘කුමරන්‘ කියන්නෙ එහෙම කැඳවා ගත් පරිකල්පිත චරිතයක්. ඔහු නියෝජනය කරන්නෙ කොළඹින් බිහිවන නිර්ධන පන්ති සහෝදරත්වයට අයත් පාපන්දු ක්‍රීඩාවෙන් ජීවිතය ජය ගැනීමට උත්සාහ දරන පොදු චරිතයක්. මා සමඟ කොළඹ අතිශය නාගරික ජීවන කලාපයක වාසය කළ මගේ සැබෑ මිතුරන් වූ රංංජිත්, මොහිදින්, මෙත්තා, මහින්ද, සාන්ත ආදීන් සමඟ කුමරන් කියන පරිකල්පිත චරිතය මුසු කිරීම මඟින් විත්ති කතාවක් විය හැකි රචනාවක් ප්‍රබන්ධාත්මක යොවුන් නවකතාවක් විදිහට ඉදිරිපත් කෙරුණා. මගේ බාල කාලයේ අත්විඳි ළමා ජීවනය තුළ දිලෙන පහන් කණු වැනි වූ සිංහල දෙමළ අවුරුදු වින්දනය, වෙසක්, රාමසාන් වැනි ආගමික ප්‍රහර්ශයන් මුසු කොටගත් නාගරික ලාංකික මහා සංස්කෘතික ධාරාවෙන් දුරස් ව ආන්තික ජීවන සැරියක් වින්දනය කරන කොළඹ ළමයින් පිළිබඳ සුන්දර සිතුවමක් ඉදිරිපත් කිරීමට තමයි මං උත්සාහ ගත්තෙ.

මෙහිදී මගේ අම්මාගේ ජීවන දැරීම් සහ මගේ තාත්තාගේ ජීවන ලාලසාවන් මා වින්ද ආකාරයෙන් ම ප්‍රබන්ධය මුසු කර ඇති නිසා මේ නිර්මාණය, කතුවරයාගේ ස්වයං චරිතාපදානයේ ළමා කාලය නියෝජනය කරන නිර්මාණයක් හැටියට වින්දනය කිරීමටත් කිසිවකුට බාධාවක් නැහැ.

කොළඹ 12, සන්තබස්තියම් වීදියේ ළමයින් මින් දශක හතරකට පහකට පෙර දී වින්දනය කරන ලද ජීවන අත්දැකීම් සහ අද දවසේ එම වයසේ ළමයින් අතර පවතින පුළුල් විවරය දුක සැප යන සමාජ නිර්මිතයෙන් වෙන්කොට සෞන්දර්ය හා මුසුව වින්දනය කිරීමට ඉඩ හැරීම තමයි මගේ අපේක්ෂාව වුණේ. ඒ අපේක්ෂාව සාර්ථක කරමින් මෙම නිර්මාණය හැත්තෑව දශකයේ කොළඹ ළමයින්ගේ කතාව ලෙසින් වින්දනය කිරීමට අද දවසේ ළමයින් පෙලඹීම සතුටට හේතුවක්. මං දන්නවා කොළඹ ළමයි කෘතිය යෞවනයන් පමණක් නොව වැඩිහිටි පාඨකයන්ගේ පවා නොමඳ අවධානයට නතු වූ නිර්මාණයක්. 2012 රාජ්‍ය සම්මානයෙන් බුහුමන් දැක්වීමත්, මේ වනවිටත් මුද්‍රණ වාර කිහිපයක් මුද්‍රණය වීමත් සලකන විට කොළඹ ළමයි කෘතිය සමාජයේ මහත් අවධානයකට ලක් වූ බව මට සපථ කරන්නක්. එලෙසම කොළඹ අතිශය නාගරික කලාපය නියෝජනය කරමින් බිහි වූ ලේඛකයකු සමස්ත දිවයින තුළ ස්ථාවර ලේඛක ලෙසින් තහවුරු කරන ලද්දේ ද ‘කොළඹ ළමයි’ කෘතිය බව කීම අතිශයෝක්තියක් නොවේ.

කොළඹ ළමයි කෘතිය මේ වනවිට ඉංග්‍රීසි භාෂාවට සහ දෙමළ භාෂාවට පරිවර්තනය වී තිබෙනවා".

අත්දැකීම් සෑම තැනක ම ද ස‍ෑම ඉසව්වක ම ද තිබේ. ඒවා ඔබ මේ දැන් කරන නිර්මාණයකට අවශ්‍ය නොවූවත් කෙදිනක හෝ කරන නිර්මාණයකට අවශ්‍ය වන බැව් සහතික ය. සෑම අහුමුල්ලක ම අත්දැකීම් පිරී පවතින බව ඔබට කියන්නේ ඒ නිසා ය.

ගැහැනිය ගැන කෙසේ කොහොම කීවත් කියා නිම කළ නොහැකි බැව් දන්නේ සාහිත්‍යකාරයන් විතරක් ම නොවේය. ජාතක කතා කලාවේ සිට නූතන කලාව දක්වා ම භේදයකින් තොරව ගැහැනිය ප්‍රධාන මාතෘකාව වූවා සේම අන් සෑම සියලු‍ ක්ෂේත්‍රයකමත් ගැහැනිය ගැන කතා නොකර යන්නන් නැති තරමට ය. සාහිත්‍යකරුවා අත ගැහැනිය විවිධ හැඩතල ගන්නේ ඇයට විවිධ වටිනාකම් සේම විවිධ නිර්ණායක ද සම්පාදනය කරමිනි.

අනුරසිරි හෙට්ටිගේ නිර්මාණකරුවා අතින් ද මේ පොදු සාමාන්‍ය මඟ හැරෙන්නේ නැත. ‘මැරීන් ඩ්රයිව්‘ කෙටිකතා සංග්‍රහයේ පොදු ගැහැනිය දෙසත් සියුම් හෝ වෙනසක් දරන ගැහැනිය දෙසත් පොදු සමාජය බලන විමසුම් සහගත දෑසට යම් අභියෝගයක් එල්ල කරන්නේ ය.

‘මිනිස් ජීවිතය යනු ස්ත්‍රී පුරුෂ බේද රහිත නිදහස් ජීවන ලාලසාවක් දරන ප්‍රපංචයක් බව මගේ විශ්වාසය යි. මිනිසා යනු ලිංගික ආකර්ෂණිත රූපකායන් දරතත් මානසික ක්‍රියාකාරීත්වය අතින් වෙනස්කම් රහිත සමානයන් බවට වන විශ්වාසයක් මා තුළ පවතියි. ඒ අර්ථයෙන් ස්ත්‍රී පුරුෂ බන්ධුතාවන්හි දෘෂ්‍යමාන රූපය, සම්මුතික සමාජ දෘෂ්ටිය තුළින් විකෘතික කිරීම සුදුසු නොවන බව දැක්වීම වෙනුවෙන් මා විසින් නිර්මාණය කළ කෙටිකතාවකි මැරීන් ඩ්රයිව්’ නමින් ජනගත ව ඇත්තේ.

මැරීන් ඩ්රයිව් කියන්නේ රටේ සම්මුතික නියමයන්ට අනුව ප්‍රධාන මාවතක් වූ ගාලු පාරට විකල්පයක් ලෙසින් බිහි කරන ලද අතුරු මාර්ගයක්. ඒ මාර්ගයෙන් තමන්ට මඟ හැර යා හැක්කේ ගමනේ මුළු දුරින් සැතපුම් කිහිපයක් පමණයි. එහෙත් ඒ මාවත නිදහස් මාවතක්. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සම්මුතික එළඹුම්වලින් නිදහස් වීමේ කැමැත්තක් මිනිසුන් තුළ නිසඟයෙන්ම මුල් බැස ගෙන තියෙනවා. මෙහි එන උපමාලිකා කියන චරිතයේ ස්වාමි පුරුෂයා සිය වේගවත් යතුරු පැදියෙන් සම්මුතික මාර්ගයෙන් පිට යන්නෙ විකල්ප මැරයින් ඩ්රයිව් මාවතේ නිදහස් සෙවණකට. සම්මත බිරිඳක් ලෙසින් එය දරා ගැනීමේ බලහත්කාරයක් තමන් වෙත අතුරා ඇති නමුත් උපමාලිකා සිය දරාගැනීමේ ශක්තියේ උපරිමයට ළඟා වෙමින් දන්නා හඳුනන තුන් රෝද රියැදුරු තරුණයකු සමඟ මැරින් ඩ්රයිව් මාවත ඔස්සේ තමන්ගේ ම වූ විකල්පයක් අත් විඳීමට ගන්නා උත්සාහය සම්මුතික සමාජය දරා ගන්නේ තමන්ගේම ප්‍රිස්මයකින් වින්දනය කරන දර්ශනයක් තුළ බහාලමින්.

සැබැවින්ම විකල්ප මාවතේ දී උපමාලිකා අත්විඳින්නේ කුමක්ද? එය දන්නේ පාඨකයන් මිස නරුම සම්මුති ඇසුරෙන් ස්ත්‍රියකගේ ජීවිතය කෙරෙහි නරුම ආකල්ප දරන මහා සමාජය නොවේ. හැම විටම ස්ත්‍රිය සම්බන්ධයෙන් පවතින මේ අධිපතිවාදී පුරුෂ මූලික දෘෂ්ටියට එරෙහි කැරැල්ලක් ගැසූ උපමාලිකා සමාජය ඉදිරියේ නිරුවත් ගැහැනියක් වූවා සේම නොදැමුණු ස්ත්‍රී ලෝලිත්වයක් ඇතත් විකල්පය උදෙසා අහිංසක කැමැත්තක් දරන තුන් රෝද රියැදුරු තරුණයා ද සම්මුතික සමාජ බලහත්කාරය ඉදිරියේ හුදෙකලා වෙනවා. මේ නරුම සමාජ සංස්ථාව තුළ ස්ත්‍රිය කෙරෙහි දක්වන පිළිකුල් කළ යුතු බමුණු මතවාද යළි සිහි කැඳවීම ‘මැරයින් ඩ්රයිව්’ නිර්මාණයේ මුඛ්‍යාර්ථය ලෙසින් දැක්වෙතත් මෙහි එන චරිත වෙන් වෙන් වශයෙන් ගෙන තමන්ට කැමති ආකාරයෙන් එම චරිත විභාග කිරීමේ කැමැත්තක් ඇති පාඨකයකු හට නිර්මාණ සන්දර්භ මන්දිරයට ඇතුළු විය හැකි කවුළු කිහිපයක්ම දක්වීමයි මගේ ආධ්‍යාශය වුණේ. මන්දයත් සත්‍යය හැම විට ම සම්මුතික නොවන නිසා. සත්‍යය සත්‍යය ම මිස එකඟතා මත පිහිටන ප්‍රපංචයක් නොවෙයි. අවශ්‍ය කෙනකුට නිර්මාණයට ඇතුළු වීම උදෙසා කැමති කවුළුවක් විවර කර ගැනීම සඳහා අවැසි යතුරු, නිර්මාණ වියමනේ රඳවා තිබෙන බවත් කිවමනායි.

‘කොළඹ හරි පුංචියි මචන්‘ කියා කිවුවේ සුගතපාල ද සිල්වා ය. ඒ කොළඹ පුංචි වූයේ අන් කිසිවක් නිසා නොව වින්දනීය පරාසය ඉහිල් වූ නිසාය; මහා සංස්කෘතියක් ලෙස හඳුන්වා ගත්තත්, මහා සුඛෝපභෝගී යැයි කියා ගත්තත් පුස්ස බින්දාක් වැනි දෙයක් වීමත් නිසා ය. ගම තරම් වින්දනීය පරාසයක් ගැන බොහෝ නිර්මාණකරුවන්ගේ සිතේ චිත්‍රයක් තිබුණේ නැත. එහෙත් කොළඹ ජීවිත ඇතුළේ තිබූ ජීවිත කතා එමටය. අනුරසිරි හෙට්ටිගේ මේ අඩුව සපුරාලමින් කොළඹ ජීවිත වලට හරි අපූරුවට එබී බලන්නේ ය; ඉන් නොනැවතී ඒ ජීවිත කියවා ගන්නට වෑයම් කරන්නේය. ඔහුගේ නවතම නිර්මාණය වෙන යොවුන් නවකතාවක් සේ රචිත බන්ටෙකේ ළමයි බිහි වෙන්නේ ඒ ලෙසය.

‘කොළඹ නාගරිකයේ ආන්තික ජීවිනයකට තල්ලු කර සිටින බේරේ ඇළ ඉවුර අද්දර වතු ජනපදයක වෙසෙන යෞවනයන් කිහිප දෙනෙකුගේ ජීවන පුවත් ඇසුරෙන් කොළඹ ළමයින්ගේ යථාවාදී අත්දැකීම් සුඟක් ගැබ් කරමින් නිර්මාණය වූ යොවුන් නවකතාවක්. ‘කළුවරයි පුරහඳ, කොළඹ ළමයි සහ බන්ටෙකේ ළමයි එකම කතාව යුගකාරක ජීවන මොහොතවල් තුනක් ලෙසින් වින්දනය කිරීමට අපහසු නැහැ. මන්ද යත් මේ නිර්මාණ ස්ථානගත වන කාල අවකාශ මිස අත්දැකීම් කලාපය වෙනසක් නැති නිසා. දෛනික ආදායම් මාර්ගයෙන් සිය ආර්ථික දරිද්‍රතාව සමනය කර ගැනීමේ නිරන්තර ජීවන අරගලයක නිරත දෙමව්පියන්ගේ දරුවන් වන නාලකලා, කුමරන්ලා, සුනිමල්ලා, පාරිස් ලා, කනක ලා මේ විකෘතික සමාජ බලහත්කාරය ඉදිරියේ අසරණ වන හැටි මේ නිර්මාණයට පාදක වෙනවා.

ජීවත් වීම සඳහා යහපත් අපේක්ෂාවක් ගොඩ නංවා ගැනීමේ ඉඩ අහුරන සමාජ පරිසරය හෙරොයින්, ගංජා, තහනම් ව්‍යාපාර සහ මගඩි දේශපාලන කාරනා ඇසුරෙන් නාලක ලාගේ ජීවිතවලට කරන බලපෑමත්, වර්තමාන සංකීර්ණ සමාජ මොහොත විසින් එම චරිත කරා කැඳවා ගෙන අකාරුණික දැරීම් ගොන්නත්, යෞවන චරිත සීමාවේ රඳවමින් ඉදිරිපත් කිරීමයි කතුවරයා විදිහට මගේ ආධ්‍යාශය උනේ. මං හිතනවා මා වෙතින් ප්‍රබන්ධ වුණ කොළඹ ජීවිතය පාදක කරගත් පෙර නිර්මාණ සේම මෙම නිර්මාණයත් යහපත් සමාජ අවබෝධයකට ලක් වේවි කියලා‘

අනුරසිරි හෙට්ටිගේ කලාකරුවා බොහෝ සුමටම නිර්මාණ මාවතේ ඇවිද යන්නේය. ඒ මාවතේ හමුවන, දකින, විඳින දෑ ඔහු ලියන්නේ තමාට අවංකවය. පෙරළා සමාජයට ආදරයෙනි.

Comments