ලිවීම හා කියවීම සුන්දර සහ විචිත්‍ර අත්දැකීමක් | සිළුමිණ

ලිවීම හා කියවීම සුන්දර සහ විචිත්‍ර අත්දැකීමක්

 

 •ගීත රචනා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔබ විශේෂයෙන් ම උනන්දු වු බවක් දැකිය හැකියි. මේ ගැන ඔබ කියන්නේ කුමක් ද?

“ ගීත සාහිත්‍යය කියන්නේ මගේ ප්‍රියතම විෂයක්. ඒ අනුව යමින් ගීත ලිවීම මෙන් ම ගායක ගායිකාවන්, සංගීතඥයන් ගැන විවිධ ලිපි ලිවීම වගේම කෘති සම්පාදනය සම්බන්ධයෙන් කුඩා කල සිටම මා තුළ තිබුණේ ලොකු උනන්දුවක්.

මම ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සේවය කරද්දීත් නිතරම වගේ මේ අය ගැන ලිපි ලිව්වා. වර්තමානයේ අප අතර සිටින ගීත රචකයන් වන ලූෂන් බුලත්සිංහල, රත්න ශ්‍රී විජේසිංහ එමෙන්ම රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ වැනි සංගීතඥයන් මෙන් ම ගායකයින් පිළිබඳවත් විවිධ මට්ටමින් පොතපත පළ කිරීමට මට හැකි වුණා. ඉදිරියේදීත් එවැනි කෘති කිහිපයක් පල කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මෙතනදී මගේ මුලික අරමුණ වුණේ ගීත සාහිත්‍යය පිළිබඳව යම් වු ශාස්ත්‍රීය විචාරයක් කිරීමට යි. ඔවුන්ගේ ඒ දායකත්වය පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කිරීමට යි.

 

•ඔබේ ම ගීත රචනා සංග්‍රහයක් ගැනත් එවැනි බලාපොරොත්තුවක් තියෙනව ද?

කරුණාරත්න දිවුල්ගනේ, අමරසිරි පීරිස්, අබේවර්ධන බාලසුරිය, නිරංජලා සරෝජිනි, දීපිකා ප්‍රියදර්ශනි, ජානක වික්‍රමසිංහ, ක්‍රිෂාන්ත එරන්දක, රොහාන් ශාන්ත බුලේගොඩ වැනි ගායක ගායකයන්ට ලියු ඒ ගීත මේ දවස්වල මා එකතු කරමින් සිටිනවා. ඒත් වර්තමානයේ අපේ ගීත රචක පරපුර වාසනාවන්තයො නම් නෙවෙයි. හේතුව තමයි, අපේ ප්‍රවීණ පරපුර ගත්තොත් ඔවුන්ට ගීත ලිවීමට ලැබුණේ සුභාවිත ගීතය දීප්තිමත්ව බැබළෙමින් තිබු අවදියකයි. ඒත් අද ඒ සුභාවිත ගීත කලාව කඩා වැටිලා. ඒත් අපේ පරපුරේ දක්ෂ ගීත රචකයින් සිටිනවා. ගයාමන් දිසානායක ගත්තොත් ඔහු ක්‍රිෂාන්ත එරන්දකට ලියු “අව්වේ මුතු ඇට වපුරන”ඒ වගේම “මන්දාරම් අඳුර මැදින්” ගීතයත් ප්‍රශස්තයි. ඒත් එවැනි ගීත රචකයෙකුට වුණත් තවදුරටත් ඉදිරියට යෑමේ ඉඩ අවසරයක් අද නෑ. පෙර පරපුරේ ප්‍රවීණයෙකු වන කුලරත්න ආරියවංශ පවා ඒ ගැන දුක් වෙනවා.

 

•ගීත රචනා හැරුණම ධර්ම ශාස්ත්‍රීය වගේ ම නවකතාකරණයටත් පිවිසෙමින් කටයුතු කිරීම අපහසු කාර්යයක් නෙවෙයි ද?

“එය අභියෝගයක් යැයි මා සිතනවා. මට ප්‍රිය වු ප්‍රේමය, සෞන්දර්යයේ මනෝභාවයන් සහිත ගීතයත් සමඟ පවතින අතරම ධර්ම ශාස්ත්‍රීය කෘති ලිවීම අභියෝගාත්මක යි. ඒත් මම ඊට කැමති යි. මෑතක දී මට හැකි වුණා සෝවාන් ඵලය පිළිබඳ ශාස්ත්‍රීය කෘතියක් ලියන්න. බොහෝ දෙනෙක් බුදුන් වහන්සේ විග්‍රහ කර ඇති සෝවාන් ඵලය තමන්ට අභිමත අයුරින් එය අර්ථකතනය කරමින් පොතපත ලියා තිබෙනවා. ඒක හරිම වැරදි දෙයක්. ධර්මයේ මුලික අර්ථ උල්ලංඝනය කිරීමක්.

මම කළේ ත්‍රිපිටකය අධ්‍යයනය කරමින් ධර්මයේ මූලික න්‍යාය මත සිටිමින් සෝවාන් ඵලය යනු කුමක්දැයි විශ්ලේෂණය කිරීම යි. “වැසී ගිය සෝවාන් ඵලය” නම් කෘතිය බිහිවෙන්නේ එහෙම යි. මෙතන දී ඕනෑම කලා මාධ්‍යයක් ගත්තොත් බෞද්ධ දර්ශනයේ මුලික සිද්ධාන්ත අපට අමතක කරන්න බැහැ. විශ්වයේ ඇති පරම සත්‍යය පවතින්නේ බුදු දහම තුළ යි.

 

•වර්තමානයේ නවකතාකරණයට යොමුවී සිටින ඔබ, ඒ කලා මාධ්‍යය ගැන විශේෂ අදහසක් දරනව ද?

“නුතන නවකතාව ගැන මම ඉන්නේ සාධනීය තැනක යි. මගේ වැටහීමට අනුව මෑත යුගයේ ඉතා සාරවත්ව මෝරා වැඩුණ සාහිත්‍යයක් තමයි නවකතාව කියන්නෙ. එහිලා ප්‍රධාන හේතුවක් වෙනවා විවිධ ක්ෂේත්‍රවල වෙනස් වෙනස් අත්දැකීම් ඇති රචකයන් නවකතා ක්ෂේත්‍රයට පිවිසීම.

පෙර යුගයේ නවකතාවල ආ ගැමි සෞන්දර්යය, ගැමි ප්‍රේමය, ධනවාදයේ නැඟීම යන මේවාට වඩා පළල් තේමාවන් අද නවකතාකරුවන් ස්පර්ශ කරමින් සිටිනවා. එහෙම ගත්තම අපේ පුරෝගාමි විශිෂ්ටයන්ටත් වඩා වර්තමාන නවකතාකරුවන් ඉදිරියක් දකිනවා.

 

•වැටීමක් ගැනත්. මේ ගැන ඔබේ අදහස කුමක් ද?

වර්තමාන පාඨකයා තාක්ෂණ මෙවලම් වලට යොමුවන තරමට පොත පතින් ඈත් වෙනවා යැයි කියවෙනවා. ඒත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගත්තොත් අපිට දකින්න ලැබෙනවා ස්ථාවර පාඨක සමාජයක් ගොඩනැගෙන හැටි.

මේ නිසා පෙරට වඩා වෘත්තීය ප්‍රකාශකයන් අද අපට සිටිනවා. මේ විදිහට පොත පත ගැන උනන්දදුවක් අප කුඩා කාලයේ දී තිබුණේ නෑ. මේ කොරෝනා කාලයේ දී පවා ඔන් ලයින් ක්‍රමයට පොත පත මිල දී ගන්නා ප්‍රවණතාවක් දකින්න තියෙනවා. ඇත්තටම ලිවීම වගේ ම කියවීම කියන්නේ සුන්දර වූත්, විචිත්‍ර වූත් අත්දැකීමක්. ලිවීමෙන් ලැබෙන ප්‍රබෝධය, ආස්වාදය විඳින්න නම් නවකතා දෙක තුනක්වත් ලියලා බලන්න ඕනෙ.

ඒක ඒ තරමට ම ආස්වාදනීය යි. වින්දනීය යි.

මගේ නවකතා ගැන කතා කරනවා නම් ඊට පෙර කියන්න ඕනෙ කුඩා වියේ සිට ම පුනර්භවය, කර්මය වැනි සංකල්ප සත්‍යය දැයි දැනගන්න මම ත්‍රිපිටකය කියවන්න යොමු වුණා. ත්‍රිපිටක සාහිත්‍යය අධ්‍යනය කිරීමෙන් තමයි නවකතා ලියන්න මම යොමු වුණේ. පළවෙනිම නවකතාව තමයි “හිම දිය නදිය.”පරාක්‍රම කොඩිතුවක්කු කවියා ප්‍රකාශ කරලා තිබුණා එය පුහුදුන් සගුන් කුප්පන නිර්භය මහා ලිවීමක්ය කියලා.

ඒ නිසා බොහෝ දුෂ්කරතාවලටත් මම මුහුණ දුන්නා. ඒත් මගේ ස්ථාවරය වෙනස් වුණේ නැහැ. “හිම අරණ” නවකතාවට පදනම් වුණේ ත්‍රිපිටක සාහිත්‍යයට අයත් ථෙර ගාථා අට්ඨ කතාවක්. එයට 2020 බෞද්ධ සාහිත්‍යය සම්මානය හිමි වුණා. “ප්‍රේමයේ මහ ඇදුරු” ලිව්වේ අර තත්වයෙන් වෙනස්ම තැනකට යමිනු යි. ඒ ගැන බොහෝ අය සිතුවේ මහාචාර්ය සරච්චන්ද්‍ර හෝ මහාචාර්ය සුනිල් ආරියරත්න ගැන ලියවුණක්ය කියලයි. කොහොම වුණත් එය හොඳ අ‌ෙලවියක් වාර්තා කළා.

මේ වන විට මම අලුත්ම නවකතාව “රතු නදියේ ප්‍රේමය” අවසන් කරමින් සිටිනවා. නමට අනුව ප්‍රේමයක් ගැන කියවුණත් එය එහෙම කතාවක් නෙවෙයි. එය විස්තීර්ණ විදිහට මානව සබඳතාවල විවිධත්වය වගේ ම අපූර්වත්වය ගැන කියන කතා ප්‍රවෘත්තියක් වශයෙන් කිව හැකි යි.

Comments