මිනිරන් පතලේ කෙරුම් ගැන ලියැවුණු ජන ගී කලාව | සිළුමිණ

මිනිරන් පතලේ කෙරුම් ගැන ලියැවුණු ජන ගී කලාව

 

පොඩිකාලේ ඉදන් මගෙ අම්මා අප්පච්චි එනකල් පිළ උඩට වෙලා කනාමැදිරි එළි අස්සෙන් පිල්ලෑව පැත්ත බලාන කල්පනා කරනවා. තණකොළ පෙත්තො, රැහැයියොන්ගෙ සද්දෙ, ගෙම්බොන්ගෙ වාදවිවාද අස්සේ වුණත් අම්මට දුර ඉදන්ම අප්පච්චි එන ඉසව්ව හොයාගන්න පුළුවන්. ඈතින් ලොකු එළියක් පේනවා. ඒ අප්පච්චිගෙ වාඩිය; දෝනාව වෙලාවකට පහළට යද්දී පස් කඩාගෙන වෙටෙනවලු. අප්පච්චියි, සෝමෙ මාමයි, රත්නෙ මාමයි කතා වෙනවා පතල් රස්සාව කියන්නේ මරණයත් එක්ක පොරබදිනවා වගේ කියලා.

 

දබරය කරකවා අත්දෙක වෙව්ලනවා

නිතර ඇවිත් ලෝඩර් ගොල්ල දත් කනවා

වතුර ඇදලා අත්වල කරගැට එනවා

මිතුර පතල් වැඩ ගැන මගෙ බඩ දනවා

තවත් වෙලාවකට අප්පච්චි කියන කවියක් මට මතක් වෙනවා

මිනිරන් පතල හරියට අපෙ ගෙදර වගේ

කෝකි අයියා හරියට මැණියෝ වගේ

ලියන අප්පු පවුලට ලොකු අයියා වගේ

ලෝඩර් ගොල්ල හරියට යමපල්ලො වගේ

අප්පච්චි ඕවා කියලා හිනාවෙනකොට අම්මා කුස්සියේ ඉඳන් එක එක කතා අහනවා. කොච්චර වැඩ කරත් මහන්සියයි, බැණුමෙනුයි අඩුවක් නෑ කියලා අප්පච්චි කියනවා. අම්මගෙ අතින් හදලා දෙන බත් මුල අප්පච්චි කන්නේ හරිම කැමැත්තෙන්. අප්පච්චි ගෙදර නැති දවස්වලට විඳපු දුක් අම්මට කියනවා. නිතරම අප්පච්චියි සුමනෙයි කීවේ එකම කතාවක්.

ආවා තමයි පතලේ වැඩ කරන්නට

බැරුවා තමා ඉනිමං වල බැස යන්ට

මැරුවා වගේ ළඟ ඉදගෙන කියනකොට

බැරුවා දෙවියනේ කළුගල් බිඳින්නට

අප්පච්චිගෙයි, සෝමෙ මාමගෙයි, රත්නෙ මාමගෙයි තිබුණේ වෙන්කරන්න බැරි යාළුකමකට වඩා සහෝදර බැදීමක්. එකතු උනාම රා පොල්කට්ටක් බීලා කදයක් දාගෙන පතලේ තියෙන දුක කටුක බව සතුට හැමදේම කියවන එක එයාලගෙ පුරුද්දක්. අපිත් අහගෙන ඉන්නවා.

සතර වරම් දෙවියෝ මගෙ දුක බැලුවා

මිනිරන් පතල ඇතුළත මම වැඩ කෙරුවා

දවස් ගණන් නොකා නොබී දිවි ගෙව්වා

මිතුර ඔබත් මම සමඟම කල් ගෙව්වා

රාත්‍රී මැදියමත් පහුවෙලා. සුමනෙ තාම නෑ; ඈතින් හඳ එළිය මුඳුන්වේගෙන එනවා. හඳ එළිය වැටිලා සුදු පාටට ලස්සනට ගගේ වතුර තාලෙට පැද්දෙනවා. බලන් ඉන්න ආසයි. ගෙදර ඉස්සරහ කොස් ගහේ වවුලො වහලා වරකා ගෙඩිය බෙදාගන්න බැරුවද කොහෙද ලොකු කලබලයක්.

මී වදේ ලෙසට ඉල්ලම සොයාගෙන

එම වදේ ලෙසට කටු පණ තියාගෙන

ආයුදේ ලෙසට ඉල්ලම් කටු රැගෙන

මේ සදේ පතල් වල ඉල්ලම් කපන

කලුවන් කලු රුවයි මන්ගෝ දිලිසෙනවා

මිනිරන් තෝරන්න දින ගණනින් යනවා

මිනිරන් තේරුවොත් ළදේ නුඹ කළු වෙනවා

ළඟ නම් ගෙදර මුර ඇරුණම මං එනවා

ආදරය සෙනෙහස කියන දේ මිනිසුන්ට පමණක් නෙවෙයි සත්තුන්ටත් පොදු වූ කාරණාවක්. මේ දේවල් නිසයි ජීවය මේ ලෝකයේ පවතින්නේ. පතල් කැණීම ඉතාම දුෂ්කර කාර්යයක්. වාඩි ගහගෙන මාස ගාණක් ඉල්ලමක් ලැබෙනකන් හාරන්න ඕන. සමහර අවස්ථාවල දී අලුත බැදපු තම බිරිද, දරුවො දාලා මාස ගණන් ඉන්න වෙනවා. අප්පච්චි හෝ තම සහෝදරයා පතල හාරන්න ගියාම එයිද නැද්ද කියන චකිතය හදවත් තුළ නොතිබුණාම නෙවෙයි.

එළිවෙලා කුකුලො හඬලන වෙලාවේ

ඇහැරිලා බිලිඳු කිරිබොන වෙලාවේ

කෑරලා හැඩුවේ දොරකඩ මාරාවේ

මංමුළා වේද දෙවියනේ දෝනාවේ

කිරිමදු කොළ හා කිරිමදු කොළ කිරිඅම්මේ

කිරට අඩන අත දරුවෙකි මම අම්මේ

අනුන් දෙන බතට වග බොහොමයි අම්මේ

ඈත හිටන් මට හඬ පානුය අම්මේ

මොවුන්ට දැනුණ ඒ පාළුව, තනිකම, ආදරය, සෙනෙහස පරිසරයේ වෙනස්වීම් සමඟ බැඳී පැවතුණා. මේ සියල්ල ව්‍යංගාර්ථයෙන් කීමට ජන කවිය යොදාගත්තා. ජීවත්වෙනවා කියන්නේ මේ හැමදේම තමයි කියලයි අප්පච්චි මට කියලා දුන්නේ.

දඩිබිඩ් ගගා කරනා වැඩ රට වටියේ

රට වෙඩි දමා කඩනා කළු ගල් කැටියේ

මඩ යට තියෙන මිනිරන් ගන්නා සැටියේ

උඩ වැඩ කරන අයට දෙන්නේ අඩු පඩියේ

අද වන විට පතල් කැණීම සිදු කෙරෙනුයේ මැණික් සෙවීම සහ මිනිරන් කැණීම මූලික කොටගෙනය. අද කෙසේ වෙතත් අතීතයේ ගැමියා විසින් මෙය සිදු කරනු ලැබූයේ ඔවුන්ගේ මූලික අවශ්‍යතා මතම පමණි. අතීතයේ සිට මේ දක්වා පැරණි මේ පතල් කැණීම් ක්‍රමය මේ වනවිට මහා පරිමාණයේ කර්මාන්තයක් ලෙස පුළුල් වී පවතිනවා. මැණික් පතලකට සාපේක්ෂව මිනිරන් පතල ගැඹුරින් වැඩියි. මේ හේතුවෙන් අනතුරු බහුලව පවතින්නට ඇත. ගැමියන්ගේ දරුවන්ගේ කුසගින්න නිවාගන්න ඔවුන් මෙම අන්තරාවන් නොසලකා මෙහි යෙදුණි. මේ දුෂ්කර කටුක බව පතල් කවිය තුළින් මොවුන් දනවන්න උත්සාහ කළ බව පැහැදිලි කරුණකි.

මේ හේතුවෙන් මොවුන් නිරායාසයෙන් පද පේළි යොදා ගායනා කරා. විවිධ නාද මාලා, එළිවැට රැකීම, උපමා යොදා ගැනීම්, සරල බස්වහර මෙහි ගැබ්වෙලා තිබේ. මෙම ජන ගී ගායනයෙදී කෙනෙකුට කෙනෙක් වෙනස් විදියට ගායනා කරනු දක්නට ලැබේ. එකම හඬකට එකම ස්වරයකට මෙම ජන ගී ගායනය කිරීම අපහසුය.

නමුත් නාදමාලාවට අනුව ගායනා කරනු ලබයි. ඒ මන්ද යත් මෙම ජන ගීය වියත් වහරට වඩා කට වහරට නිර්මාණය වී ඇති හේතුවෙනි. අර්ථ රසයට වඩා ශබ්ධ රසයට මුල්තැනක් ලබා දී ඇත. කවියේ රසට මුල් තැනක් ලබා දී ඇති අතර කවියේ රිද්මය ආරක්ෂා කර ගැනීම සඳහා තමාට අවශ්‍ය පරිදි බස්වහර හසුරුවා ඇත. මේ අනුව පතල් කවිය නැතහොත් පොදුවේ ගත්කල ජන කවිය තම ජාතියෙත් පිටස්තර වෙනත් සංස්කෘතීන් හා සංකලනය නොවී පැවති අනන්‍යතාව පිළිබිඹු කරන සාහිත්‍යයේ වරප්‍රසාදයක් ලෙස හඳුන්වාදිය හැකිය.

Comments