මරණය කියන්නේ ප්‍රශ්නාර්ථයක් වගේම ගවේෂණයක් | සිළුමිණ

මරණය කියන්නේ ප්‍රශ්නාර්ථයක් වගේම ගවේෂණයක්

 

•වෙනස් ආකාරයේ සාහිත්‍යයික වෑයමක් වන ඔබේ නව සුදානම ගැන කිව හැක්කේ කුමක් ද?

පොතේ නම ‘මංජු - මරණය හා ස්මරණය’ හරියටම කියනව නං පොතට නිමිත්ත වුණේ අවුරුදු 17 ක් මගේ ජීවිතය උදුරාගත්, සොරාගත් මංජු නම් වූ සුනඛ සුරතලුන් දෙදෙනකුගේ ජීවිතය හා මරණයයි. නැතහොත් ඒ වියෝගය විසින් මා තුළ ජනිත කළ ප්‍රබල කම්පනයයි. පොත දාර්ශනික ඉසවුවකුත් ස්පර්ශ කරන්නේ මරණය සම්බන්ධයෙන් කළ දීර්ඝ හා ගැඹුරු අධ්‍යයනය ඔස්සේයි.

තවත් පැත්තකින් මරණය හා අවසන් කටයුතු පිළිබඳ සමාජ විද්‍යාත්මක කාරණා කිහිපයකුක් මගේ පෞද්ගලික අදහස් හැටියට පොතට එක්වී තියෙනවා. නිදසුනක් වශයෙන් කියනවා නම්, දේහයකට අවසන් ගෞරව දැක්වීමේදී භාණ්ඩ හා සේවාවන් සඳහා ඥාතීන් නොමසුරුව හා ප්‍රදර්ශනාත්මක ලෙස මුදල් වියදම් කළත්, කිසිම කාන්තා දේහයක කනට කරට රන්තෝඩු යුවළක් හෝ රන් මාලයක් (රන් දම්වැලක්) වැටී තිබෙනු මා කිසිවිටෙකත් දැක නැහැ. වයස් භේදයකින් තොරව සෑම කාන්තා මළසිරුරකටම පලන්දන්නේ මුතුපොටක් හෝ ඇටපොටක්. ඥාතිවරිය ජීවිත කාලය මුළුල්ලේම පැලඳ සිටි කරාබු යුවළ හෝ ඇය සමඟ අවසන් ගමන් යන්නේ නෑ. වර්තමාන මිනිසාගේ මේ මනෝභාවයන් හා ක්‍රියාකාරකම් ගැන මම යම් අධ්‍යයනයක යෙදුණා. අතීතයේ නම් තත්ත්වය වෙනස්. ඒ කාලේ බොහෝ විට දේහයක් මිහිදන් කෙරී ඇත්තේ ආභරණ ද සමඟයි.

මිනිසාගේ භෞතික දියුණුව කොහොම වුණත් අභ්‍යන්තර පරාභවයක් සිදුවී ඇති බව මට පෙනී ගියේ මෙවැනි තත්ත්වයන් සැලකිල්ලට ගැනීමෙන්. තවත් පැත්තකින් මරණයට ප්‍රශ්නාර්ථයක් යෙදෙන එක්තරා ගවේෂණයකුත් මෙහිදී සිදුව ඇති නිසා තරමක් දාර්ශනික යැයි කිව හැකි ඉසවුවකටත් මේ පොත පිවිසෙනවා. පොත ලියලා ඉවරවෙලා කියවාගෙන යන කොට නොදැනීම වාගේ මගේ ස්වයංචරිත අපදානයක් වගේ දේකුත් ඊට එක්ව ඇති බව හැඟුණා. පොත ගැන වර්ගීකරණයක් කිරීම අපහසු යැයි කිව්වේ ඒ නිසා.“

 

•මරණය සම්බන්ධයෙන් ඔබ කියන අධ්‍යයනය, ගවේෂණය කිරීමට කාලයක් ගත විය යුතු නැද්ද?

“මට හිතෙන්නේ පොත වඩාත් යථාර්ථවාදීව නිරවද්‍යව හා අවංකව ලියන්නට මට පුළුවන් කමක් ලැබුණ නං ඊට හේතු වුණේ පෙර කී කම්පනයේ, වේදනාවේ ගිනිසිළු ඒ නිවෙන්නට පෙරම එය ලියා නිමකිරීමට හැකිවීම ම නිසා කියලයි. එය කොතෙක් දුරට සාර්ථක වුණා ද යන්න මතු යම් දවසක පාඨකයා තීරණය කරාවි.

මරණය පිළිබඳ ගවේෂණය සඳහා පතපොත, මූලාශ්‍රය, සොයා මුල ඉඳලම යන්න මට සිද්ධ වුණා නම් මාස 6 ක් වැනි කෙටිකාලසීමාවක් තුළ ඒ වික්‍රමය පාන්න මට බැරිවෙයි. ඒත් මරණය ගැන ලියවුණු බොහෝ පතපොත, ලිපිලේඛන මගේ පුස්තකාලයේ රාක්කයක් පුරවා තියෙනවා. තිබ්බත මළපොත, ෆීඩෝ හෙවත් ආත්මය පිළිබඳ සංවාදය හා මරණ මංචකයේ අත්දැකීම් වැනි පෙර’පර දෙදිග පොත්-පත්, ලිපිලේඛන මා එකතු කරන්නෙ කලක සිටයි. ඒවා ශාස්තෘවරුන්, දාර්ශනිකයන්, චින්තකයක් මරණය පිළිබඳව දක්වා ඇති විවිධ අදහස්වල එකතුවක්. ඇතැම්විට නූතන පර්යේෂණ වාර්තාවක්. මේවා එකතු කරන්න මා යොමු වුණේ ‘මරණය’ කියන්නේ මගේ කුහුල වැඩූ විෂයයක් නැත්නම් ප්‍රපංචයක් වන නිසයි. හැමකෙනෙක්ම වගේ පස්ස හරවාගෙන ඉන්න මරණය දිහා ඉස්සරහින්ම නොවුණත් පැත්තකින් හෝ අඩබැල්මක් හෝ හෙළන්නයි මා හැමවිටම උත්සාහ කරන්නේ. ක්‍රිෂ්ණමූර්ති ඕෂෝ වැනි චින්තකයන් මරණය පිළිබඳ දක්වා ඇති නැවුම් හා පොළඹවනසුලු අදහස් වෙනම ලේඛනගත කර, සටහන් කර තබා ගැනීමේ පුරුද්දක් කලක සිට ම මට තිබුණා. මේ පොත ලියන්න ගත්තට පස්සේ ඉතාම අහඹු ලෙස මගේ අතට පත්වුණ ‘ඕෂෝ - ප්‍රඥා පාරමිතා හෘදය සූත්‍රය’ මෙහිලා ඉතාම අනගි අත්වැලක් බවට පත්වුණා.

 

•ඔබේ නිමිත්ත සුරතලකුගේ මරණයයි. ඒ පසුබිමේ දාර්ශනික චාරිකාවකට එවැනි ප්‍රස්තුතයක් ප්‍රමාණවත්ද?

වතුර බින්දුවේ මහාසාගරය අන්තර්ගතයි කියලා අපි අහලා තියනවා. බිංදු බිංදු එකතුවෙලා ගඟක් හැදෙනවා. ගංගා ගංගා එකතුවෙලා මූද පිරෙනවා... කියන සිංදුව අපි ඇහුවේ පොඩිකාලේ ඉඳලාමයි. මී කුණකින් මහා ධනවතකු වුණ පුද්ගලයකු ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන අතර එවැනි වර්තමාන මිනිසුන් ගැන ඔබත් ඕනතරං අහලා ඇති. අපට පුංචිම තැනකින් පටන්ගත හැකියි. නිමිත්තට වඩා වැදගත් වන්නේ අවසන් ප්‍රත­ිඵලයයි.

පොත යම්කිසි පාඨක කණ්ඩායමක් ඉලක්ක කරගෙන ලියැවුණක් නෙවෙයි. සුනඛ සුරතලුන්ට ආදරය කරන පාඨකයන්ට වගේම එසේ නොවන අයටත් මෙය නිර්දේශ කළ හැකි යැයි මා සිතනවා. අනෙක් අතට අපගේ ආකල්ප-විකල්ප, හුරුපුරුදු තත්ත්වගත වීම් ගැන වගේම අප කරන පින්කම් ගැන වුණත් යළි සිතා බලන්නට මින් අවකාශයක් විවර වී ඇති බව දැන් පොත කියවාගෙන යන විට මට ම පෙනීයනවා. ඇතැම්විට අප පින්කම් යැයි සිතා කරන යම් යම් පාපක්‍රියා පිළිබඳ මගේම අත්දැකීම් ඇසුරෙන් ලියැවුණු තොරතුරුත් මීට අඩංගුයි. අප ආගමික නීතිරීති ගැන සැලකිලිමත් වුණාට සොබාදහමේ නීතිය ගැන දක්වන්නේ අඩු සැලකිල්ලක්. සොබාදහමට නීති පොත් නෑ. සොබාදහම නිරීක්ෂණය කිරීමෙනුයි ඒ නීතිය ඉගෙනගත හැකි වන්නේ.“

 

•වර්තමාන නිර්මාණ සාහිත්‍යයේ සිංහල ස්වතන්ත්‍ර නිර්මාණවල එන නව ආකෘති වගේම අන්තර්ගතමය වශයෙනුත් ඒවායේ නවතාවක් ඔබ දකිනවා ද?

නිර්මාණයක අපූර්වත්වය කියන්නේ හිතාමතා කරන වෙනස්කම්වලට නෙවෙයි. සාහිත්‍ය රීතීන් ඔළුවේ තියාගෙන නිර්මාණයකට අතගැසුවොත් එය දියාරු වෙන බවයි මගේ විශ්වාසය. අපූර්වත්වය මතුවන්නේ නිරායාසයෙන්.

මේ නිරායාස ගුණය ගැන වචනවලින් පැහැදිලි කිරීම තරමක් අපහසුයි. එය සහෘදයාගේ වින්දනය හා අදාළ කාරණයක්. සාහිත්‍ය කෘති, කලාකෘති සම්බන්ධයෙන් කිව යුතු ඊළඟ කරුණ වන්නේ බොහෝ නිර්මාණකරුවන් මානව දයාව වගේම මානව හිමිකම් සම්බන්ධයෙන් සැමවිටම හඬක් අවදිකරන්නට කිසියම් වූ උත්සාහයක යෙදෙන බවයි. එය වැදගත්. ඒත් මානවදයාව ළඟ නැංගුරම් ලන්නට සාහිත්‍යකරුවකුට, කලාකරුවකුට නොහැකි බවයි මගේ පෞද්ගලික විශ්වාසය වන්නේ. මානවයා හැරුණුකොට සත්ත්ව ලෝකය, ශාක ලෝකය, ජල ලෝකය ලෙස පරිසරයේ මූලික සාධක තුනක් පවතින බව, මේ සාධක ගැන අවදියෙන් බලන්නට කලාකරුවා, සාහිත්‍යකරුවා යොමුවිය යුතු බව මට හැඟෙනවා.

පොලීසි නැති, උසාවි නැති, නඩු නොකියන තිරිසන් සත්ත්වයන් ඓතිහාසිකව මුහුණ පා සිටින අසාධාරණය ගැන අප මීට වඩා සංවේදී විය යුතු බවයි මගේ හැඟීම. මෙයින් අදහස් වන්නේ නෑ මා නිර්මාංස ආහාර ලෝකයක් යෝජනා කරන බවක්. ඒත් ඝාතනයේදී සතුනට පමුණුවන වධවේදනා ගැන අපට තැකීමක්, දැනීමක් තිබිය යුතු යැයි මට සිතෙනවා. අපගේ සාහිත්‍ය නිර්මාණවල එවැනි සඳහනක් ඇති තැන් උද්ධෘත කොට දැක්වීමට මේ කෘතිය නිර්මාණයේදී මා තරමක් දුරට උත්සාහ කළා. එහෙත් මට එවැනි සංවේදී අදහස්, සංවාද සොයාගන්න ලැබුණේ බෞද්ධ නොවන විදේශීය ලේඛකයන්ගේ කෘතිවලින්. මේ කරුණ ආගමකට ලඝු නොකර සිතාබැලිය යුත්තක් කියලයි මට සිතෙන්නේ. පරිසරයට ආදරය කිරීම කියන්නේ වචන එකතුවක් වත් විලාසිතාවක් වත් නෙවෙයි. මානව දයාව ගැන බොහෝසෙයින් හඬනගන බොහොදෙනෙක් යුද්ධයට, ඝාතනයට එකහෙළාම විරුද්ධ වුණත් සත්ත්ව හිංසනය ගැන නිහඬයි.

 

 

Comments