ගම්පෙරළියක යථාර්තය | සිළුමිණ

ගම්පෙරළියක යථාර්තය

 

කෘතිය: අමා පැන් සොයන්නී

පරිවර්තනය: සේනානි ධර්මරත්න

ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයකි.

දුරකථනය -071 236 3861

 

Nectar in a sieve දකුණු ඉන්දියාවේ මයිසූර් හි බ්‍රාහ්මණ වංශික පවුලක උපත ලද කමලා මාකන්දයාගේ උක්ත කෘතිය පශ්චාත් යටත් විජිත සමයේ ඉන්දියානු සමාජය පසුබිම් කොටගෙන ලියවුණ නවකතාවකි. “අමා පැන් සොයන්නී” සේනානි ධර්මරත්න මෙය සිංහලට පරිවර්තනය කරන්නේ මින් පෙර ද විශිෂ්ට විදෙස් කෘති කිහිපයක් ම සිංහලට නැඟීමෙන් ලද සිය පරිචය මැනවින් ප්‍රයෝජනයට ගනිමිනි. විශේෂයෙන් ම අඳ ගොවීන්ගේ සමාජ ආර්ථික පීඩනය හමුවේ ව්‍යසනයට පත් ඒ මිනිසුන්ගේ අවාසනාවන්ත ජීවිතය රුක්මණී නාදන් යන චරිත මුල් කරගනිමින් ගලා යන ඒ කතාව පොදුවේ ගත් කළ ආසියානු සමාජයේ එක්තරා ආකාරයකට අපට ද බලපාන සමාජ හරස්කඩක් හෙළිදරව් කරන්නකි.

නවකතාවක් වශයෙන් ගත් කළ මෙහි විශේෂත්වය වනනේ එහි ප්‍රධාන චරිතය මෙන් ම සෙසු චරිත හා සිදුවීම් කුමන ස්ථානයක නිශ්චිත ලෙස සිදු වුණි දැයි සටහන් නොවීම ය. ඒ නිසාම කතාවක් හැටියටත්, අත්දැකීම් හැටියටත් එහි එන සමාජ පුද්ගල ගැටලු සාර්වත්‍රික වටිනාකමක් අත් කර ගන්නේ යැයි සඳහන් වී තිබේ.

මහත් ආත්ම ශක්තියක් ඇති ගෙවිලියක වශයෙන් ඉදිරිපත් වන රුක්මණී අවුරුදු 12 වන විට ම මනාලියක බවට පත් ව එතැන් සිට අඳ ගොවියෙකුගේ බිරිඳක් ව දරුවන් ද වදමින් කුදු මහත් වු ගෙදර දොර මෙන් ම කුඹුරේ කටයුතු ද වෙහෙස නොබලා ඉටු කරන්නියක වශයෙනුයි මෙහිදී අපට හමු වන්නෙ. එහෙත් ඔවුන් භූමිය අහිමි අඳ ගොවියෝ වෙති. “උපයන දෙයින් සැලකිය යුතු කොටසක් මිිල මුදලින් මෙන් ම අස්වැන්නෙන් ද ඉඩම් හිමියාට ගෙවිය යුතු වෙයි. වසරේ වැඩි කාලයක් දුක් විඳින ඔවුන් ට සරු අස්වැන්නක් ලද යහපත් කාලවල දී පවා හිමි වුයේ යන්තම් කුස පිරෙන්නට තරම් කෑම වේලකි.”

මෙය බරපතළ සමාජ ආර්ථික සූරා කෑමක් බව පැහැදිලි ය. නමුත් මේ මිනිසුන් එය එසේ පිළිගන්නේ ද යන්න අපැහැදිලි ය. “සිය ඉඩමෙන් අසාධාරණ ලෙස පන්නා දැමු කල්හි ඔවුන් පත් වන්නේ සියල්ල අන් සතු හිඟන්නන්ගේ තත්වයට ය. හින්දු දහමේ ඉගැන්වීමේ හේතුවෙන් දුක් පීඩා දෙස උපේක්ෂාවෙන් බලන්නට හුරුවන ඔවුන් හැමවිට ම උත්සාහ කරන්නේ දුක් විඳිමින් කෙසේ හෝ ජීවිතය ගැටගසා ගැනීමට ය.” ඉන්දියාවේ උගත් මැද පන්තිය මේ තත්වය සටන්කාමීව ජයගත යුතු තත්වයකැයි පෙන්වා දෙන පසුබිමේත් ඒ ගැමියන් සිටියේ අර මතය වෙනස් නොකරන තැනම ය.

“රුක්මණීගේ මිතුරු වෛද්‍ය කෙනී (රුක්මණී මෙසේ දුප්පත් අඳ ගොවියෙකුගේ බිරිඳක වුව ද ඇය උපන්නේ ප්‍රභූ සමාජයක ය.) සැමවිට ම අදහස් කරනුයේ පීඩා වැළකිය හැකි බවත් ඊට අරගල කළ යුතු බවත් ය. නමුත් හින්දු දහම විශ්වාස කරනා ඔවුන් ට එය තේරුම් ගැනීමට පවා අපහසු කරුණකි. එබැවින් දිළිඳුබව තම දරුවන්ට උරුම වුවද රුක්මණී එම පීඩාව පිළිගන්නට සුදානම් ය.” මේ සුදානම ඇත්තට ම පුදුම සහගත ය. එය අනවබෝධය, වඩාත් පැහැදිලිව ම කියනවා නම් නුගත්කම ම විනා අනෙකක් නොවේ.

පරිවර්තිකාව සේනානි ධර්මරත්න ඒ ගැන මෙසේ පවස යි.

ඒ අනුව මිනිසුන් මේ ආකාරයට ඇස් පනාපිට පෙනෙන මේ දරිද්‍රතාවේ ගිලී යන්නේ පැහැදිලිව ම නුගත්කම නිසා වේ. එහි තේරුම සිය ඉරණම ප්‍රශ්න නොකිරීම යන්න යි. වෙන එකක් තියා තමන්ගේ ඉරණම ප්‍රශ්න කරන්නා වු ඒ නිසාම තවදුරටත් අඳ ගොවි භාවයේ ම ගිලී ඊට සාපේක්ෂව යම් මට්ටමකට හෝ ස්වාධීන වෙනත් කම්කරු රැකියාවල් සොයා යන රුක්මණීගේ දෙවන පරපුර රුක්මණීලා ඉවසන්නේ නැත. ඔව්හු සැමවිට ම සිය සාම්ප්‍රදායික ඉරණම මත ම පිහිටති. ඒ නිසා ම සිය දරුවන් වෙනස් මං සොයා යෑම නොඉවසති.

“ග්‍රාමීය දිළිඳු බව මෙන් ම නාගරික දිළිඳු බව ද කතාව තුළ සාකච්ඡා වන ප්‍රධාන තේමාවකි. පිටිසර ගමක් වශයෙන් තිබු රුක්මණී විිසු ගම්මානය ක්‍රමයෙන් නාගරීකරණය වනනේ හම් කර්මාන්ත ශාලාවේ ආගමනයත් සමඟිනි. මෙම නාගරීකරණයේ හා කාර්මීකරණයේ ගොදුරු බවට දිළිඳු ජනයා පත්වන ආකාරය” සංවේදි ලෙසින් මෙහි නිරූපිත ය. ඒ නව සමාජය පහත් නාගරික සමාජයක් බව පැහැදිලි ය. “හොරකම වැනි අපචාරයන්, ගණිකා වෘත්තිය යන මේ සියල්ල ම නාගරීකරණයත් සමඟින් ඇරඹුණ ගැටලු ය.” එය කොයි ආකාරයෙන්වත් රුක්මණීලාගේ සාම්ප්‍රදායික ජීවිතයට ඔරොත්තු දුන්නේ නැත.

“නාගරීකරණය වීම නිසා පරිසරයට සිදුවන හානිය සාමකාමී ගැමි ජීවිතයට එල්ලවන පහර මෙන් ම ගම්බද ජීවිතයට වඩා නාගරික ජීවිතයේ පීඩාකාරී බව” හමුවේ රුක්මණී නාදනුත් සමඟ ආපසු ගමට යාම ට තීරණය කිරීම එහිලා විය හැක්කක් වේ.

ගැමි ජීවිතයට අදාළව යම් සුවදායි සාමකාමී තත්වයක් ගැමියන් වශයෙන් ඔවුන් අත්විඳ තිබීම ඊට හේතුව යි. එය ඇගේ ම පවුල් ජීවිතය හා සම්බන්ධ කොටගෙන මෙහි නිරූපණය වන්නේ. ලොව පුරා සිදු වුණා වු සමාජ පෙරළි වල දී නව සමාජ නිදහස දියුණුව හමුවේ අලුත් පරපුර ඊට ආකර්ෂණය වීමත්, ඒත් සමඟම ඒ හමුවේ පසුබාන පැරණි සාම්ප්‍රදායික පරපුර තමන් අත් විඳි සමාජ සංස්කෘතික නිදහස ඊට ඔවුන් තුළ ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමත් ගම්පෙරළියක තත්වයෙන් අපට දැකිය හැකි වේ. සමාජ විද්‍යාඥයන්ගේ අවධානය මෙවැනි කෘති කෙරෙහි යොමු වීම අවශ්‍යම කරුණක් වන්නේ ද ඒ නිසාම ය.

Comments