කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

මගේ ගම

සුන්දර ගමකි මා ඉප­දුණ මගේ ගම
බෙන්තර “තුන්දාව“ යි ඒ ලස්සන ගමේ නම
බෙන්තර “නදී“ කොම­ළිය හැම දින­ය­කම
ගංතෙර අසල සිට ලස්සන බලමි මම

කොස් දෙල් පොල්ව­ලින් නැත අඩු­වක් තිබුණේ
ලස්සන කුඹු­රු­යා­යකි හැම­තැන පෙණුණේ
දිස්වන ඕලු මානෙල් දිය අද්දර පිපුණේ
ලස්සන සුර­පු­රක් ලෙස එය ම පෙණුණේ

ඈතින් පෙනෙන නිල් කඳු­වැටි මන බඳින
පහ­ළින් ගලන බෙන්තර ගඟ අති සොබන
සහ­ලින් අඩු නොමැත කුඹු­රුය අස්වනු ගෙනෙන
මගෙ ගම වාසනා මේ හැම දෙය තිබෙන

කවි කිවි­ඳි­යන් හා නැටු­මෙහි දස්කම් කරනා
කැට­යම් කපන වෙස්මු­හුණු ද හැඩ කරනා
පර­සිඳ සිත්ත­රුන් හා ගුරු­වරු පිරුණා
මගෙ ගම කලා පුර­යකි ලොව නම් දරනා

මිල්ටන් ප්‍රනාන්දු

මතක පද

ඔයාම මේ ප්‍රේමය තියා­ගන්න
තවත් නම් බැහැ මට,
මේ කඳුළ විඳ­ගන්න...
හැකි­නම් යළි යළිත් කියමි
අහ­ගන්න,
ආයෙ­මත් මට මගේ
ඉස්ස­රම හිත දෙන්න...

ඔයාට ලැබිලා තියෙ­නවා
ජීවි­තය,
ආය අලු­තෙන් ලියන්න
ඔක්කො­ටම කලින් ඔය
පරණ පිටු ටික
ඉරන්න...
මේ විශ්වයේ ඉගිළෙන්න
ඔබ නොදුටු තැන් තිය­නවා
දැන ගන්න...
ආයෙ­මත් අත්තටු
බිඳ ගන්න
එපා... ඔබ,
සතු­ටින් ඉන්න...

නිශාන්ත දස­නා­යක...

 

තුරු හිසට සමව

පෙනෙන
කඳු මුඳුන
ළඟට යන­විට
උස්ව ගිය හැටි.

තුෂාරි ජය­සිංහ

 

 

නූතන කුවේ­ණිය

ඇන්ඳ ඉර ළඟ හඬා වැලපී
අණට අව­නත වී එදා
ජීව­හ­ත්තලා , දිසාලා වැනි
දරුවො තව­මත් ඇත මෙදා
ලේ නහර වැල් පිච්චි පිච්චී
පිටු­පාන ඔහු දෙස බලා
කුවේ­ණි­යගේ දුකට හැඬුවේ
තෝනි­ගල අහ­සයි එදා .....

ලේන කුලයේ සුවඳ ඔබ­ගෙන්
ඇයට දැනු­ණලු හිමි­යනේ
ඒ නිසා­මලු ළමැද මැද්දෙන්
ශ්වේත දහරා ඉති­රුණේ
දෑත් එක්කොට අස­ර­ණව ඇය
අයි­ති­යක් ඉල්ලූ දිනේ
දස දහ­ස්වර ඉපිද මියැදී
ආත්මෙම මගෙ අළු වුණේ .....

ඇය හඬාවී , නුඹ රවාවී
මගේ ඉදි­රියෙ නොසිතු සේ
අපේ පැට­වුන් මෙමට ළංවුණෙ
මගේ නෙතු වල එළිය සේ
අස­ම්ම­තයේ බැදුණු නුඹ­ලගෙ
ප්‍රේම මැණි­කට තිළිණ සේ
වෙන්ව යන්නෙමි සත් භවේ­ටම
නුඹව ඇය හට දී මෙසේ ......
රකි­න්නට බඩ පිටට නොඇලී

අපේ මත­කය ආද­රෙන්
ඉරුණු ඒ සිත සවිය වූයේ
පැටවු පානා මඳ­හ­සින්
හංඟ­ගෙන දුක ම‘හද­වත මැද
කඳුළු පිසදා නොසොලා ඉකි ගසා
ආවෙ රට ඉඳි සිසිල් සෙව­ණට
ජය­ගන්න අපෙ දිවි හොඳින් .....

ශමිලා ක්‍රිෂානි තෙව­ර­ප්පෙ­රුම

 

සහෘ­දයෝ

කිය­වනා පිපා­සෙන්
පැමිණ මිතු­රන් නිබඳ
එබී පොත් රාක්කෙට
අයැ­දිනා අපූ­රුව
කෝ දෙන්ට.. කිය­වන්ට...

මම කියා නැත මෙතෙක්
කිසි­වෙ­කුට
බෑ දෙන්ට....

ඒත්... රෑ දවා­ලක් නැතුව
අන­ව­ස­ර­යෙන් ඒය
මගේ පොත්වල තියෙන
රස­බොන්ට....

මේ තරම් රස­වි­ඳි­න්නට
මගේ පොත්
කවුරු දුන්නාද අව­සර
වේයන්ට..
කාවුන්ට..
මීයන්ට..

දඹේ­ගොඩ ජින­දාස

 

නුඹ සහ මම

මම මගේ­මය
මා දකින
මේ සිහි­නය
නුඹේ ය . . . .

නන්දන පලු­ක­න්දැව

 

කවි­යන්ගේ පාඩම

යුග­යෙන් යුගය ශිෂ්ටා­චා­රය
එකලු කළ මහ රජුන් අත­හැර
පැල්ප­ත්වල කඳුළු හොයන
කවි­යන්ට පාඩම් කියා දිය යුතුය

රජ ගෙද­රට සිරි­ලිය වඩින
දෙස් විදෙස් උප­කාර බන්ධන
රට්ටුන්ට අයිති නැති බිමක
පෙන්වන ශ්‍රි විභූති සංද­ර්ශන

හිත නිවන්න කවි මන්තර
ගොතන බව දනියි විස්තර
බුහු­මන් මුරු­ඟතු සූස්තර
හදයි ඉන් දිවු­රුම් පත්තර

අපි ලියමු රජ පවුල් වර්ණන
තුටින් කල් ගෙවන කත­න්දර
පැල්පතේ සුද බැදුණ නේත්ර
දිලිහි දකින්ට උඟුල් සාස්තර

තැන්න­හේනේ නාගිත හිමි



යෝධ ගස් යට කුඩා පැළ ගස්
අඳුරු වැසි වන­යක
විසල් තුරු ගොමු­වක
දෑත් විදලූ යෝධ මවු ගස්
උරා බී ගෙන හොඳම හිරු රැස්
ඌන වර්ධිත ළද­රු­වන් දැක
නඟයි මැසි­විලි ලතා­වන් හා

ඉමල්ක විජේ­සේ­කර

 

මමයි ඔබේ ආඩ­ම්බ­ර­කාර පෙම්වතා

ඔබට ආදරේ කළත් පණ­මෙන්
ඔබ ළඟින් දනින් නොවැ­ටෙනා....
හැර­යාම මෝස්ත­ර­යක් වූ දා
පෙම් කිරී­මත් කලා­වක් කළ දා
අඩ අඩා පසු පසම නොපැ­මි­ණි­යත්
ඔබයි මගේ එකම පෙම්ව­තිය තාමත්...

ඔබට මා උමතු යයි දැන ගත් දා
ඔබ මට තවත් වෙනස් කම් කළ දා
මගේ පෙම මන් ළඟම තනි­වූ­වත්
ප්‍රේමය සිඟ­මන් යන්නෙ නෑ කෙදි­න­වත්...

සඳ­රු­වන් කරු­ණා­ති­ලක

 

දෙවි­යන්ගෙ මල්ලි

සැමට ඉප­දෙන
නැති­වම බැරි­වන
වැඩි­යම හිඟ­වන
දෙයක්ය උප­යන...

නැති බැරි අය අත
අත මිට සරු නැත
ඇති හැකි දන වෙත
ඇදි ඇදි එනු ඇත....

කර වැඩ කට යුතු
නිම කර ගත යුතු
වෙහෙ­සට කළ යුතු
යුතු­කම විය යුතු...

මිනි මරලා හරි
සොර­කම් කර හරි
හිඟා කකා හරි
සොයති කොහොම හරි....

සැම තැන හෙල්ලී
තැන තැන එල්ලී
එන මේ සල්ලී
දෙවි­යගෙ මල්ලී..
.
ඇල්බට් ඇම්.
ලිය­නගේ

 

[නො]මළ පැතුම්

සසරේ පෙර බව­යෙක විඳපු
සුපු­රුදු ළෙන් ගතු­කම මතු වී
මත­කද අප නෙත් කියූ කතා
හමු වූ සැණෙ­කින් සිනහ පපා

ලියා නුඹේ සිත මුතු අකු­රින්
සපත වුණේ පනසේ ළඟ ඉන්නයි
නොසිතූ ලෙස පිටුපා යන්නේ
කෙලෙ­සද නැත මා අත වැරදී

දරා ගනු බැරි හද රිදුම් අද
විරහ ගීත­යෙක පද වැළ වී
නිහ­ඬ­වම හද තැවුල් දන­වයි
දුරින් සිට නුඹෙ රුව මවා­ගෙන

සිත් මල් යායේ පිපුණු පැතුම් මල්
මිලින වුණා අක­ලට ඇය පා මුල
මට මම­වත් නැති ලොවක ඇයි
හිමි නැති සුව­ඳක් පතා වැලපුණේ

දුරින් සිටි­යත් වෙන්ව ඔබ­ගෙන්
සිඳී ගොස් නැහැ සෙනේ බිඳු­වක්
නුඹට පින නැති මටද හිමි නැති
නැවත හමු වෙමු ඉදිරි බව­යෙක

ජය­සේන කොඩි­තු­වක්කු

 

දඩ­බ්බ­ර­යාගේ චරිත සහ­ති­කය

නැඟලා පාසැල් වහ­ලට
නුඹයි හැදුවෙ තෙමෙනා විට
බර අතු වහ­ලට නැමි­විට
කැපුවෙ නුඹයි නැඟල ගහට

තර­ගෙට දුවනා අය­හට
ඉරි අඳින්න පිට්ට­නි­යට
නුඹයි ආවෙ ඉස්ස­ර­හට
කිය­න්න­ටත් කලි­යෙන් සිට

වෙන ළම­යෙක් අන­තු­ර­කට
පත්වූ විට ගෙන දෑතට
දිව්වෙ නුඹයි රෝහ­ල­කට
එහෙම බෑනෙ හුඟක් අයට

ඕ එල්, ඒ එල් නැතු­වට
සමත් නුඹයි මිනිස් කමට
ඒත් නුඹේ සහ­ති­කේට
වැඩක් වෙයි ද මම ලිව්වට

පෙනු­ණත් මහ දඩ­බ්බ­රට
නුඹෙ හද තෙත්වුණි විප­තට
මේ යහ­ගුණ සහ­ති­කේට
මම දුක්වෙමි, නොලි­ව්වාට

පී. බී. ගුණ­රත්න

 

අහස සේ

අහ­සම නුඹ වීය මට නිර­තුරු සෙවණ
වැහි පිනි දරා හිද හෙමි­හිට මට පුදන
හබ­රල කොළ­යක්මි මම මිහි­මත වසන
නොහැ­කිය රඳවා ගන්නට මට වැහි පින්න

පියුමි මදු­භා­ෂිණි

සුවණ්ණ වර්ණ අඟ­නුන්

සුවණ්ණ වර්ණ අඟ­නුන්
හිඳී වියෝ ළතැ­වු­ලෙන්
කාට හිමි ද ඔවුන්
කසුප් මීපල් ද නැත ළඟින්...

ලාගෙන අබ­රණ ගතින්
කුමට සිර­වුණි ද බිතෙන්
බසිනු මැන ගිරි ශිඛ­රෙන්
හිඳී අය අත ගන්නට සැණින්...

පෙර­ඹර මඳ පවන්
ගෙනෙයි තඹුරු පුසු­ඹන්
වඩයි බෝ රම්‍ය හැඟු­මන්
විඳින්න කියා එක්ව අප්ස­රුන්...

දුටු කල නොවේ සිත එක්තැන්
ලැබේ­විද මේ රන්ව­නුන්
නෙතු දකියි රුවම හැම­තැන්
බිඳ­ලයි හදේ බැමි දැන්...

දරා නිලු­පුල් අතින්
සන්ක­රයි ප්‍රේම හැඟු­මන්
නොකි­ව්වත් එය මුව­ඟින්
දෙනෙත් ඉඟි­ක­රයි රහ­සින්...

පිටින් පෙනෙනා සුරූ­පි­නි­යන්
පෙන්වන උදා­රම් ගති කොණින්
කුමට ළං වූයේ අද­රින්
සිත් පිරී යයි ළතැ­වු­ලෙන්...

පවිත්‍රා අංජලී ලීලා­රත්න

 

ඇර­යුම

දුම්රොටු නැඟෙන කම්හල් පිරි නගරෙ ඉඳ
කුම­ටද අහෝ බක්මහ සිරි නොමැති සඳ
දැක්මට මාපි­යන් නෑසියො බැන්ද හද
එනි­සයි ආවෙ ගම වෙත ඉසි­ඹු­වක මඳ

පටු ගුරු පාර දෙප­සෙහි පැළ ගොයම සැලේ
කෝකිල විහඟ බිඟු නද රැව්දේය කැලේ
පැන්නෝ කටිල්ලෝ තාලෙට රඟති ඇළේ
අවු­රුදු සිරිය කදි­මයි ගම පුංචි පැලේ

බැලු බැලු සෑම අත එර­බඳු මල් පිපිලා
පැණි මොර බකිණි කජු වරකා වැහි වැහැලා
බක්මහ කුම­රු­හට වඳි­මින් දණ ගසලා
යදි­නෙමු අනේ නග­ර­ය­ටත් යමු කියලා

බක්මහ කුම­රුනේ අප­හට මෙත පාලා
යමු නග­ර­යට ටික­කට ගම හැර දාලා
සංකර සිරිත් කටු කුණු රොඩු අතු­ගාලා
පළ­දමු නගරෙ වට අඹ කජු මොර මාලා

අකු­රැස්සේ ඩයනී මාලිකා

 

අව­දි­වෙමු අපි

කුල මළ බේද ආගම් කිසි­වක් නොතකා
කෝවිඩ් රජ­වු­ණිය කාගෙත් ගෙල මිරිකා
මිනි­සුනි ඇයිද බැරි­වුණෙ නිති­වම වළකා
දැන්වත් සිතට ගමු අපි උප­දෙස් සලකා

උප­දෙස ලැබෙන්නේ තබ­නට මීට­රය
එන­මුදු හැසි­රුනේ එක එක ආක­රය
වයි­රස පැති­රුණේ සුළ­ගෙන් පාක­රය
අව­සන නැව­තුනේ සැම­ටම බෝක­රය

අසල් වැසි රටෙහි දුක දැන් දැනෙ­න­වද
දිනෙන් දිනම කොත­රම් දිවි පුද­න­වද
අපිත් එලෙස වෙන්නට ඉඩ හරි­න­වද
තවත් නම් ඉතින් මොන­වට හිත­න­වද

මිනි­සුනි ඉතින් දැන්වත් ඇහැ අරින්න
කෝවිඩ් රකු­සාව පලවා හරින්න
වේලක් දෙකක් කා නිද­හසෙ හිඳින්න
අව­දා­න­මට මුල් තැන දී සිතන්න

බණ්ඩාර රාජ­පක්ෂ
 


තනි­කම

සඳ බිම බලයි හිනැහී කොඳ කැකුළු සොයා
තරු ඉකි බිඳී ඒ සෙනෙ­හස මගෙය කියා
අහ­වර වෙන තුරා මේ දිවි පැඳුර වියා
තනි­කම ඔහෙන් ඉදපං වැඩි දුරට නොයා

ජානකි පී. කුමාරි

මර­ණයේ යථාව

සෙව­ණැ­ල්ලක්ම ය , නොව­ටි­න්නේම ය
අපගේ රුධි­රය , තෙද බලැති රාජ්‍යය
දෛව­යට එරෙ­හි­වන පලිහ කොහි ඇත්තේ ද
රජුන් මත මර­ණයේ ශීත අත පති­ත­වෙයි
සෙංකෝ­ලය ද , කිරී­ටය ද
ඇද­වැ­ටිය යුතු­මය පොළො­වට

අස­ර­ණව වක ගැසුණු කැත්ත, සවල ද සමඟ
රජස් පිරි පොළො­වේම සමව සැත­පිය යුතුය
සම­හ­රෙක් අසි­ප­තෙන් පොළොව අස්ව­ද්දාවි
මර­ණයේ භූමියේ හරිත පත් සිටු­ව­මින්
දිනෙක වීරිය දිරිය හීන වී යන්නේ
තමා තම සිත­ටම යි හිස නැවිය යුත්තේ

අලු­යමේ හෝ රැයේ
ඉර­ණ­මට දණ නවනු
සුසුම් කෙඳි­රිලි අතැර දම­මින්
වියොව දෙස­ටයි ඇදී යන්නේ
මිලින සිර­කරු වියෝ­වන්නේ...

මල් මාල ඔබෙ නළල මත දිරා යනවා
එවිට තම මහරු ජය ගොස නොනං­වනු මැනවි
මර­ණයේ දම්පාට අල්තා­රයේ
ජය-පරා­ජිත දෙදෙන ලේ හලන හැටි බලනු
ඔබේ හිස ශීතල ම සුසා­නය වෙත ඇදෙයි
යුක්තියේ දයාවේ ක්‍රියා­වන් පම­ණ­මයි
සුවඳ දී දුහු­විල්ල මතින් පිබි­දෙන්නේ...

ජේම්ස් ෂර්ලි කිවි­ඳාගේ
Death the Leveller කාව්‍යය


17 වන සිය­ව­සෙහි විසූ ජේම්ස් ෂර්ලි (1596 - 1666) , ප්‍රකට ඉංග්‍රීසි ජාතික නිර්මා­ණ­ක­රු­වෙකි. අගනා කාව්‍ය නිර්මාණ රැසක් දායාද කළ ෂර්ලි, සාහිත්‍ය ලෝකයේ වඩා ප්‍රච­ලිත වූයේ නාට්‍ය­ක­රු­වකු ලෙසිනි. ඔහු රචනා කළ මෙම කාව්‍යය හරහා එදා , අද පම­ණක් නොව ලොව පව­ති­න­තාක් කල් සැමට පොදු දහ­මක් වන මර­ණයේ යථා ස්වභා­වය පිළි­බඳ මනා පණි­වු­ඩ­යක් සහෘ­දයා වෙත ගෙන එයි. එනම් අන්ත දරිද්‍ර දුගියා ද , සියලු සුඛ­වි­හ­ර­ණ­යෙන් යුත් ධන­වතා ද මර­ණය හමුවේ සදා එක සමාන දෛව­ය­කට උරු­ම­කම් කියන බවයි. බෞද්ධ ඉගැ­න්වීම් අතර ප්‍රධා­න­තම ස්ථාන­යක් ගන්නා 'කර්මය' පිළි­බඳ ද මෙම කාව්‍යය මනා අරුත් ජනිත කරයි

අනු­වා­දය - අමන්දා දළු­පොත

------------------------------

කෘතිය - අපෙ අහ කොහෙද ලිලී මල්

කර්තෘ - අජානා රණගල

මිල - රුපියල් 2,000 පිටු -138

විමසිම් -

[email protected]

අමුතු පබ්ලිකේෂන් ප්‍රකාශනයකි.

 

වෘත්තියෙන් නිතීඥවරියක වන අජානා රණගලගේ මුල්ම කාව්‍ය සංග්‍රහය අපෙ අහ කොහෙද ලිලී මල් ය. මාතෘකා නැති මේ කාව්‍ය සංග්‍රහයේ සෑම කවියක්ම පාහේ ප්‍රේමය වස්තු විෂය කරගෙන ඇත.

ප්‍රේමය එකිනෙකා දකින විදින විදිහ වෙනස්ය. එමෙන්ම ප්‍රේමය අහිමි වූ විට එකිනෙකා එය විඳදරා ගන්න විදිහද එකිනෙකට වෙනස්ය. ප්‍රේමය ලැබීමත්, නොලැබීමත්, එය විඳීමත් අහිමි වීමත් කිවිඳිය ලියන විදිහය මේ.

ප්‍රේමය තිබුණේම උස් කඳු මුඳුන්වල

මං උන්නේම මිටියාවත් වල

වැහි වැටිලා කඳු හිස් තෙමාගෙන

ගලාගෙන එනකන් බලාගෙන

මිටියාවතට ප්‍රේමය...

 

ප්‍රේමය තිබුණේම දිගු වේදිකාවල

මං උන්නේම ප්‍රේක්ෂාගාරවල

පිටපතට පිට දෙබස් කියාගෙන

බැහැලා එනකන් බලාගෙන

වේදිකාවෙන් ප්‍රේමය...

 

ප්‍රේමය තිබුණේම අනුන්ගේ සරුංගල්වල

මං උන්නේම හිස් පිට්ටනිවල

උජාරුවට මහ උඩට ගියාම

නූල කැඩෙනකන් බලාගෙන

අහුලාගන්න ප්‍රේමය...

පිරිමි හිත් පමණක් නොවෙයි ගැහැනු හිත් වුණත් නතර වන්නේ ආදරය කරුණාව දයාව දැනෙන තැනයත ආදර පිරි ඉතිරි යන් ලැබෙන රැකවරණය ලැබෙන තැනකින් පලායන්නට ඇයට හැකියාවක් නැත .එවන් ආදරයක් හිමි වූ ගැහැනියක් මෙසේ කියනවා හැර වෙන කෙසේ කියන්න ද?

ඔයැයි අස්සක මුල්ලක් නෑර

හදවත පුරාවට පැතිරිලා

පැලපදියම් වුණාම

කුරාකූඹියෙකුටවත් රිංගන්න

ඉඩක් කඩක් නෑ රත්තරං

අලි මං කූඹි මං

සේරෝම වහලා දැම්මා මං...

ඔයැයි දෙයි හාමුදුරුවෝ වගේ

 

කන්නලව් නොකරත් මා ඇරන්

පපුතුරේ හංගගත්තාම

දේව අඩවියෙ නොපනත් කම් කරන්නට

මට හයිය නෑ රත්තරන්..

 

ඇගේ කවි අපූරුය. ඇතැම් කවි රසවිදිමේ දී සොඳුරු සංකල්ප රූ මැවේ.කා ප්‍රේමය පදනම් කරගත් අපේ අහ කොහෙද ලිලීමල් කාව්‍ය සංග්‍රහයේ එන කවියකි මේ.

මැටි කුස්සියක

පොඩිකවුළු ඇති

පියන් වෙනුවට උස අතට

කිතුල් පොලු විතරක් හිටවාපු...

මිරිස් තුනපහ එකට

කබල උඩ බැදෙන කොට

කිඹිහුමක හඬ ඇහුනෙ

මගෙ කන පිටුපසට....

 

ගල උඩට නැමීගෙන

අබ මිටක් තලනකොට

රිද්ම තෙරපුමක්

දැනුනේ මගෙ ඉඟටියට...

විශ්වයක් ඇතුළේ

පොඩි ලෝකයක් නොවෙද එය

සියවසක් ඇතුළෙ

පොඩි මොහොතක් නොවෙද එය....

තනිකඩව සිටින විට ඔබත් මාත් ජීවත් වන්නේ අපට ඕනෑ විදිහටය. ජීවිත ගොඩනගා ගන්නේ අපට ඕනෑ විදිහටය.

එහෙත්

නිදහස්ව තිබු ජීවිතයක් කාට හෝ අයත් වූ විට බොහෝ විට ඇය අනුගත වන්නේ ඔහුට ඕනෑ ආකාරයටය. ජීවිතේ හැම ප්‍රාර්ථනයක්ම, සිහිනයක්ම ගොඩ නැඟෙන්නේ ඒ අනුවය.

ඇයට ඇය නැති වන්නේ විවාහය තුළ දී විය හැක. එහෙමත් නැත්නම්. දැඩි ආදර ග්‍රහණයකට හසු වූ විටය. මේ එවන් අත්දැකීමකි.

 

මම මා සිත්තම් කරද්දි

බොහෝ සේ සැලකිලිමත් විමී.

එක් පින්සල් පහරකටවත්

අයාලේ යන්නට නොදුන්නෙමි.

ඔබ කැමති පාටින්

මම මා වර්ණ ගැන්විමි.

මා සිත්තම්ව අවසන්ය.

වර්ණවත්ව, පැහැපත්ව, දීප්තිමත්ව...

 

එහෙත් එහි මා වෙත්ද

මම සිත්තම පුරා මා සොයමි...

එහි ඇත්තේ ඔබ කැමති වර්ණයයි

මා සෙවු පැහැයයි

ඔබ ආසා කළ දීප්තියයි

ඉඳින් මා නම් දැන්

මට ද අමතකව ගිය

කටුසටහනකි

මාතෘකා නැති වුවද රසවිඳින අපට කැමති මාතෘකාවක් යොදා ගත හැකි එහෙත් විවිධ පැති කෝණයන් ගෙන් බැලූ කවි රැසක් මෙහිදි අපට හමුවේ.


 

 

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න
කවි සිළුමිණ,
ලේක්හවුස් - කොළඹ 10.
විද්යුත් තැපෑල
[email protected]

 

Comments