හීන් සැරේ වසර 130 ක වාර්තාවක් බින්ඳ තමීම් ඉක්බාල්ගේ පිත්ත | සිළුමිණ

හීන් සැරේ වසර 130 ක වාර්තාවක් බින්ඳ තමීම් ඉක්බාල්ගේ පිත්ත

 

'ක්‍රිකට් තරගයක ඉනිමක් දියත්වනවිට කණ්ඩායමේ සමස්ත ලකුණු 50 ක් ලකුණු පුවරුවේ සටහන් වද්දී ඒ සියලු ලකුණු තනි පිතිකරුවකු ලබාගෙන තිබුණොත්? එහෙම තියේවි දැයි ඔබට සිතෙන්නට පිළිවන්. ඒත් එහෙම වුණු අවස්ථා කීපයක් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවෙලා තිබෙනවා. එවැනි සිදුවීමක් ලෙහෙසියෙන් සිදුනොවන නිසා අපට කියන්නට පිළිවන් වන්නේ එවැන්නක් ඉතා දුර්ලභ වාර්තාවක් ලෙස යි. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අවසන් වුණු ටෙස්ට් තරගාවලියේ දී එවැනි නිහඬ හා අතිශය දුර්ලභ වාර්තාවක් යළි සිහිපත් වුණා. ඒ තමයි බංග්ලාදේශයේ වඩා නිහඬ පිතිකරුවා වශයෙන් හැඳින්විය හැකි තමීම් ඉක්බාල්ගේ පිත්තෙන්. මේ ඒ වාර්තාව බිහිවුණු ආකාරය ගැනයි.'

බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් පසුගිය දා මේ විශේෂ වාර්තාව හිමි කීවේ පල්ලෙකැලේ පළමු ටෙස්ට් තරගයේ දී යි. බංග්ලාදේශ කණ්ඩායමේ දෙවැනි ඉනිමේ දී තමිම් අර්ධ ශතකයක් (ලකුණු 50) වාර්තා කළ විට කණ්ඩායමේ සමස්ත ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2 ක් දැවී ලකුණු 52 ක් වශයෙනුයි. එය ටෙස්ට් ඉනිමක දී පිතිකරුවකු ලකුණු 50 ක් රැස් කරත් දී වාර්තා වූ අඩුම කණ්ඩායම් ලකුණු ලෙස වාර්තා පොතට එක්වුණා.

මේ ආකාරයෙන් තමිම් බිඳ හෙළුවේ වසර 130 ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් කිව්වොත් නිවැරදියි. පිතිකරුවකු නමින් පවතින මේ වාර්තාව අවසාන වතාවට පිහිටුවා තිබුණේ 1890 දී යි. ඒ ජෝන් ජේම්ස් ලියෝන්ස් නම් ඕස්ට්‍රේලියානු ජාතික පිතිකරුවා විසිනුයි. ඔහු මේ වාර්තාව හිමි කර ගත්තේ එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරගයක දී යි. ඔස්ට්‍රේලියාව නැතහොත් කැන්ගරුවන් වෙනුවෙන් එදා ඉනිම ඇරැඹු ජෝන් තමාගේ අර්ධ ශතකය ලබා ගන්නා විට කණ්ඩායමේ මුළු ලකුණු ගණන දැක්වුණේ 55 ක් ලෙසයි.

ජෝන් ජේම්ස් ලියෝන් ට හිතමිතුරෝ ආදරයට කීවේ 'ජැක්' කියායි. ඒ නම හරියට මායා බෝංචි වැලේ ඉන්න ජැක්ගේ නම වැනිම මායාකාරී වසඟ කරවන සුළු නමක් වුණා.

1890 ජෝන් තැබූ එම වාර්තාව සම කිරීමට මෑතක දී තවත් ක්‍රීඩකයෙක් සමත් වුණා. ඔහු තමයි බටහිර ඉන්දිය කොදෙව් ආරම්භ පිතිකරු ක්‍රිස් ගේල්. 2014 නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරගයක එක් ඉනිමක් ආරම්භ කළ ගේල් තමාගේ අර්ධ ශතකය වාර්තා කරන විට කොදෙව් කණ්ඩායම රැස්කර සිටි ලකුණු ප්‍රමාණය 55 ක්.

බැනර්මන්ගේ ප්‍රතිශත වාර්තාව

මෙම අර්ධ ශතක වාර්තා ගැන සටහන් තබන විට ලකුණු ප්‍රතිශත වාර්තාවක් ගැන ද සිහිපත් කළ යුතු යි. ඒ ප්‍රතිශත වාර්තාව බිහි වුණේ 1877 පැවති ලොව මංගල ටෙස්ට් තරගයේ දී යි. එදා මෙල්බර්න් පිටියේ දී එය එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතරේ පැවැත්වුණා. ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු 245 ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු චාල්ස් බැනර්මන් ඊට ලකුණු 165 ක් එක් කර තිබුණා. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 67 ක් වශයෙනුයි සැලකෙන්නේ.

සංගක්කාරත් එක්වෙයි

ටෙස්ට් ඉනිමක පිතිකරණය පැත්තෙන් ප්‍රතිශත වාර්තාවක් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරුවෙක් වන කුමාර් සංගක්කාරට ත් හිමියි. 2006 නවසීලන්තය සමඟ ක්‍රයිස්ට්චර්ච් පිටියේ දී අංක 3 පිතිකරු ලෙස කුමාර් නොදැවී ලකුණු 100 රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම දෙනා දැවී ලකුණු 170 ක් වාර්තා කළ විට දී යි. කුමාර්ගේ මේ දස්කම ටෙස්ට් ඉනිමක මුළු ලකුණු වලින් වාර්තා වූ ශතකයක් වන්නේ එය අඩු ලකුණු වලින් වාර්තා වූ නිසා යි. එහි ප්‍රතිශතය සියයට 59 ක්.

අමරණීය වාර්තාවක්

ටෙස්ට් ඉනිමක ආරම්භක පිතිකරුවකු එම ඉනිම අවසාන වන තුරු නොදැවී ක්‍රීඩා කළ පළමු අවස්ථාව වාර්තා වුණේ 1888 - 89 දී යි. ඒ දකුණු අප්‍රිකාවේ ඒ. බී. ටැන්ක්‍රීඩ් පිතිකරුවා විසින්. එංගලන්ත කණ්ඩායම හමුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 47 ක ට දැවී යද්දී ටැන්ක්‍රීඩ් නොදැවී ලකුණු 26 ක් ලබා සිටියා. එය අදටත් අමරණීය වාර්තාවක් වශයෙන් දැක්විය හැකියි.

 

 

ක්‍රිස්ටෝපර් රණසිංහ

Comments