හැමෝම දිනන සුපර් ලීග් වෘත්තීය පාපන්දු තරගාවලියේ සී හෝක්ස් පෙරමුණේ | සිළුමිණ

හැමෝම දිනන සුපර් ලීග් වෘත්තීය පාපන්දු තරගාවලියේ සී හෝක්ස් පෙරමුණේ

 

රුපියල් ලක්ෂ 220 කට වඩා වැඩි ත්‍යාග මුදලක් සමඟින් අභියෝග ශූරතා කුසලානය පිරිනැමීම උදෙසා සංවිධානය කර ඇති ශ්‍රී ලංකා "සුපර් ලීග්" වෘත්තීය පාපන්දු තරගාවලියේ ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට 'සී හෝක්ස් ක්‍රීඩා සමාජය' සමත්ව තිබේ.

පසු ගිය අප්‍රේල් මස (19) පස්වරු 04:30 ට වෙන්නප්පුව නිව් යංග්ස් පාපන්දු සමාජය සහ කොළඹ පාපන්දු සමාජය අතර සටනින් මෙම තරගාවලිය ආරම්භ කෙරිණි. ඒ අනුව සී හෝක්ස් පිල තමන් මුහුණ දුන් තරග ත්‍රිත්වයෙන්ම ජය ගනිමින් වාර්තා කර ගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව නවයකි.

ආරම්භක තරගයේ දී ‍ ප්‍රතිවාදී බ්ලූ ඊගල්ස් පිල ට එරෙහිව ගෝල් 01 - 00 ක ජයග්‍රහණයක් සටහන් කර ගත් "සී හෝක්ස්" ක්‍රීඩකයෝ තම දෙවැනි ජයග්‍රහණයට මුලපිරුවේ ප්‍රතිවාදී රිනවුන් ක්‍රීඩා සමාජය ගෝල් 02 -00 ලෙස පරාජය කරමිනි. වෙන්නප්පුව නිව් යංග්ස් පිලට එරෙහිව වාර්තා කර ගත් ගෝල් 05 - 00 ක ජයග්‍රහණය ඔවුන්ගේ අපරාජිත ගමනේ තවත් සන්ධිස්ථානයකි.

මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය පානදුර "රෙඩ් ස්ටාර්ස්" පාපන්දු සමාජය ට හිමිවී ඇති අතර ඔවුන් සටහන් කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 07 කි.

රත්නම් පිල සමඟ පැවැති තරගය 00 - 00 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගත් පානදුර ක්‍රීඩකයෝ කළුතර බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය 04 - 02 ක් ලෙස සහ බ්ලූ ඊගල් පිල 06 - 00 ක් ලෙස පරාජය කිරීමට සමත් වූහ. ඒ අනුව මෙතෙක් පැවැති තරග අතර වැඩිම ගෝල් පරතරය සහිත ජයග්‍රහණයට හිමිකම් කියන්නට රෙඩ් ස්ටාර්ස් පිලට හැකි විය.

ප්‍රසාද ලකුණු 06 ක් සමඟින් තෙවැනි ස්ථානය හිමි කර ගෙන ඇති "කොළඹ පාපන්දු සමාජය" සටහන් කර ගත් ජයග්‍රහණ සංඛ්‍යාව 02 කි. බ්ලූ ස්ටාර් පිල හමුවේ ගෝල් 01 - 00 ක් ලෙස පරාජය ලැබූ ඔවුන් නිව් යංග්ස් පිලට එරෙහිව ගෝල් 04 - 00 ක සහ රිනවුන් පිලට එරෙහිව ගෝල් 02 - 01 ක ජයග්‍රහණ වාර්තා කර ගනිමින් කැපී පෙනුණි.

මේ වන විට සිව්වැනි තැනට ස්ථානගත වී සිටින කළුතර "බ්ලූ ස්ටාර්" පිල කොළඹ 01 - 00 කින් සහ රත්නම් 03 - 00 කින් පරාජය කරන්නට සමත් වූ අතර රෙඩ් ස්ටාර්ස් පිල හමුවේ එකම පරාජය අත්විඳිය.

රත්නම් සමඟ තරගය ගෝල් 01 - 01ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් හා නිව් යංග්ස් පිලට එරෙහිව ගෝල් 04 - 01ක ජයග්‍රහණයක් වාර්තා කර ගත් "අප් කන්ට්‍රි ලයන්ස්" පිල මේ වන විට 05 වැනි ස්ථානයේ පසුවෙයි.

හයවැනි ස්ථානයේ පසුවෙන "ඩිපෙන්ඩර්ස්" පිල මුහුණ දුන් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වී තිබීම කැපී පෙනෙයි.

අනිකුත් කණ්ඩායම් මේ වන විට තරග 03 බැගින් සහභාගී වී ඇති අතර "අප් කන්ට්‍රි ලයන්ස්" සහ "Defenders" යන දෙපිල පමණක් මුහුණ දී ඇති තරග සංඛ්‍යාව 02 කි. ඒ එම කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබුණු තරගය කල් දැමීමට සිදුව තිබීම හේතුවෙනි. ඊට ඉවහල් වූයේ Defenders ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයින් 05 දෙනකු "කොවිඩ් - 19" වෛරසය ආසාදනය වී තිබීමය.

මෙරට ප්‍රථම වෘත්තීය පාපන්දු තරගාවලියේ සියලුම තරග ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජෛව බුබුළක් යටතේ පැවැත්වීමට සංවිධායක කමිටුව කටයුතු කර ඇත.

තරග පැවැත්වෙන දින දහවල් කාලයේ කොළඹ රත්නම් ක්‍රීඩාංගණය ආශ්‍රිතව ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානයක දී ඇන්ටිජන් පරීක්ෂණය සඳහා සියලුම ක්‍රීඩකයන් සහ විනිශ්චයකරුවන් ඇතුළු නිලධාරීන් සහභාගි වීම අනිවාර්ය කර ඇත.

ශ්‍රී ලාංකේය කෙළිබිම තුළ සිටින ප්‍රබලතම පාපන්දු ක්‍රීඩා සමාජ 10 ක සහභාගිත්වයෙන් ඇරැඹි මෙම කුලුඳුල් තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම වෙත පිරිනැමෙන මුදල රුපියල් මිලියන පහකි. එය මෙරට පාපන්දු තරගාවලියක ජයග්‍රාහී කණ්ඩායම වෙත හිමිවෙන අති විශා-ලතම මුදල් කන්දරාවය. ඩිෆෙන්ඩර්ස් (යුද හමුදා) පාපන්දු සමාජය, සී හෝක්ස් (නාවික හමුදා) පාපන්දු සමාජය, බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදා) පාපන්දු සමාජය, නාවලපිටිය අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය, කොළඹ පාපන්දු සමාජය, වෙන්නප්පුව නිව් යංග්ස් පාපන්දු සමාජය, පානදුර රෙඩ් ස්ටාර්ස් ක්‍රීඩා සමාජය, කළුතර බ්ලූ ස්ටාර්ස් ක්‍රීඩා සමාජය, කොළඹ ක්‍රීඩා සමාජය සහ කොළඹ රිනවුන් ක්‍රීඩා සමාජය සමාරම්භක ශ්‍රී ලංකා සුපර් ලීග් වෘත්තීය පාපන්දු තරඟාවලියේ සටන් සගයින් ය.

තරග 45 කින් සැදුම්ලත් මෙම "සුපර් ලීග්" වෘත්තීය පාපන්දු තරගාවලිය අගෝස්තු මස 08 දින දක්වා පැවැත්වීමට නියමිත ය. සති 09 ක් තිස්සේ පැවැත්වෙන මෙවර තරගාවලිය යටතේ එක් ක්‍රීඩා සමාජයක් සහභාගි වන තරග සංඛ්‍යාව 09 කි. ඒ අනුව තවත් උණුසුම් තරග 31 ක් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතය.

පැවති තරග 14 ආශ්‍රිතව ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවක නිරතවෙමින් කැපී පෙනුණු ක්‍රීඩකයින් අතරේ ඕ.අයි. අබුමරේ (රෙඩ් ස්ටාර්ස්) සහ ඒ.ඩබ්ලිව්.රාශික් (අප් කන්ට්‍රි ලයන්ස්) පෙරමුණේ පසුවෙති. ඒ එක් තරගයකදී ඔවුන් ගෝල ත්‍රිත්වය බැගින් වාර්තා කර ගනිමිනි.

මෙවර තරගාවලිය විනිශ්චය සඳහා තෝරා ගෙන ඇති විනිශ්චකරුවන් සංඛ්‍යාව 40 කි . ඊට අන්තර්ජාතික විනිශ්චයකරුවන් හා ජාත්‍යන්තර සහාය විනිශ්චයකරුවන් 12 දෙනකු ඇතුළත්ය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ උපදෙස් අනුව ප්‍රථම වතාවට හඳුන්වා දී ඇති සුපර් ලීග් පාපන්දු තරගාවලියේ කුලුඳුල් ශූරයින් හට අභියෝග කුසලානයට අමතරව රුපියල් මිලියන 05 ක මුදලක් ප්‍රදානය කෙරෙන අතර එහි අනු ශූරයන්ට රුපියල් මිලියන 3.5 ක් ද දෙවැනි අනු ශූරයින් සඳහා රුපියල් මිලියන 2.75 ක් ද සිව් වැනි ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායමට රුපියල් මිලියන 2.5 ක් ද පස් වැනි ස්ථානයට රුපියල් මිලියන 2.25 ක් ද පිරිනැමේ.

හය වැනි ස්ථානය තහවුරු කර ගන්නා කණ්ඩායමට රුපියල් මිලියන 02 ක් ද සත් වැනි ස්ථානයට පත්වන කණ්ඩායමට රුපියල් මිලියන 1.5 ක් ද අට වැනි ස්ථානයට පත්වන කණ්ඩායමට රුපියල් මිලියන 1.5 ක් ද 09 වැනි ස්ථානය වෙනුවෙන් රුපියල් මිලියන 1.25 ක් ද ත්‍යාග මුදල් ලෙස පිරිනැමීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ. රුපියල් මිලියනයක් මෙවර තරගාවලියේ අවසන් ස්ථානය හිමිවන කණ්ඩායමට පිරිනැමීමට සංවිධායකයන් බලාපොරොත්තු වේ.

මෙතෙක් පැවැති තරග ආශ්‍රිතව එකදු ජයග්‍රහණයක් හෝ සටහන් කර ගැනීමට නිව් යංග්ස්, බ්ලූ ඊගල්ස්, රිනවුන්, රත්නම් සහ ඩිෆෙන්ඩර්ස් යන කණ්ඩායම්වලට නොහැකි වී තිබීම විශේෂත්වයකි. මුහුණ දුන් තරග සියල්ලම පරාජය ලැබූ වෙන්නප්පුව පිල ප්‍රසාද ලකුණු පූරුවේ පහළින් ම ස්ථානගතව ඇති වී ඇති අතර "රිනවුන්" සහ බ්ලූ "ඊගල්ස්" කණ්ඩායම් ලත් පරාජ සංඛ්‍යාව දෙක බැගිනි.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පූර්ණ මඟපෙන්වීම අනුව හා ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය ඇතිව සංවිධානය කර ඇති මෙරට ආරම්භක වෘත්තිය පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකා පාපන්දු

සම්මේලන සභාපති අනුර ද සිල්වා සහ එහි ලේකම් ජස්වර් ඔමාර් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින් මෙහෙ-යවනු ලබයි.

 

සපුමල් වීදිය බණ්ඩාර

Comments