රාජ අනුග්‍රහයෙන් කළ මල්ලවපොර | සිළුමිණ

රාජ අනුග්‍රහයෙන් කළ මල්ලවපොර

 

‘මල්ලවපොර රජ කාලෙ සුවිශේෂී ජන ක්‍රීඩාවක් වුණා කියලා අපි ගිය සතියේ කිව්වා. එවැනි රණශූර මල්ලවපොර ශූරයන් අතර විවිධාකාරයේ සටන් විද්‍යාවන්, පහරදීම්, නිල බලා ප්‍රතිවාදියා අඩපණකරන පහරදීම් තිබුණා. ඔවුන් ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රගුණ කළා. මේ ඒ සම්බන්ධයෙන් ඉතිහාසයේ සඳහන්ව පවතින තවත් තොරතුරු සම්පිණ්ඩනයක්.’

මල්ලවපොර ශූරයන්ට තමන් කැමැති ක්‍රමයකට සිය කාය ශක්තිය විදාහා පාන්න ඒ කාලෙත් අවස්ථාවක් ලබාදී තිබුණා. ඒක එක්තරා ආකාරයට බල ප්‍රවර්ධන වැඩසටහනක් වගෙයි. වර්තමානයේ බොක්සිං තරගයකට ඉස්සෙල්ලා ප්‍රතිවාදියා බිම දමනවා. නහය කඩනවා, විනාශ කරනවා ආදී වශයෙන් වහසි බස් දෙඩීමට අනුරූප වැඩක් ස්වකීය ශක්තිය මඟින් ප්‍රකට කිරීම තමයි මෙතැනදි බලාපොරොත්තු වුණේ.

මහනවුර මලල්ලවපොර පිටිය තිබුණේ දිගන

ප්‍රදේශයේ කියලයි පිළිගැනෙන්නේ. මල්ලවපොර තරගකරුවන් ඔවුන්ගේ කාය බලය පෙන්වන්න විවිධාකාර ක්‍රමවේද උපයෝගී කරගෙන තිබුණා. එකෙක් පස් මිටක් ගෙන එයින් ජල බිංදු මතුවෙන තුරු මේ පස් මිට මිරිකමින් තමන් සතු කාය ශක්තිය ප්‍රදර්ශනය කර තිබෙනවා.

තවත් අයෙක් වේළිච්ච පොල් ගෙඩියක් ගෙන තමන්ගේ ඇඟිලි අස්සෙන් කිරි පනින තුරු එය මිරිකීය. දක්ෂ මල්ලවපොර ශූරයකු සේ පිළිගැනෙන කුන්ද පොරකාරයා තමයි මේ කියන හපන්කම කරලා තිබෙනවාය කියන්නේ.

ඒ වගේමය අතයි, දණහිසයි යොදාගෙන අමු පොල්ගෙඩියක් ලෙලි හැර එක් අතකින් මිරිකලා ඒ පොල්ගෙඩිය පොඩි කරන මල්ලවපොර ශූරයෙක් තමන්ගේ කාය බලය ප්‍රදර්ශනය කළා. ගස් දෙකක් එකට බැඳලා පස්සේ ඒ ගස් මුලින් උදුරා දමලා තිබෙන මල්ලවපොර ශූරයොත් අපේ රටේ ඉඳලා තිබෙනවා. බෝගගමුවේ රාළ කියන්නේ එවැනි දක්ෂතාවක් ප්‍රකට කළ මල්ලවපොර ශූරයෙක් බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

එවකට සිටි තවත් මල්ලව පොර ශූරයකු වන කප්පාගොඩ රාළ හක්ගෙඩියකට මිටින් ගහලා එය සුණු විසුනු කර තිබුණා. ඒ වගේම මී හරකෙක් අඟින් අල්ලලා බිම දමලා තිබෙනවා. කාය බල පරීක්ෂණයෙන් තේරුණු මල්ලවපොර ශූරයන් අතර තමයි සටන් පැවැත්විලා තිබෙන්නේ. ඒ වෙනුවෙන් මල්ලවපොර ශූරයන් නිවා-සයන්හි නවත්වා ආහාර පාන ලබාදී ඇත්තේ රජවාසලේ වියදමිනුයි.

මේ ආකාරයෙන් වරක් රජුගේ මල්ලවපොර ශූරයා විසින් ප්‍රතිවාදී මල්ලව පොරකරුවා බිය ගන්වා එළවා තිබෙනවා. ඒ දිනක් සටනට පෙර ආහාර පාන ගැනීමේ අවස්ථාවේදී රජුගේ මලල්වපොර ශූරයා විසින් විදේශීය මල්ලව පොර ශූරයාට වෑංජන රසවත් කරගන්නැයි කියා වියළි පොල් ගෙඩි දෙකක් ගෙන එකක් තමන් සන්තයේ තබාගෙන අනෙක් පොල් ගෙඩිය ප්‍රතිවාදී මල්ලවපොරකරුට ලබාදී තිබුණා. එහෙත් එසේ ඔහුට ලබාදුන් පොල්ගෙඩියෙන් කුමක් කරන්නේදැයි අවබෝධයක් නොතිබුණු මල්ලව පොරකරුගෙන් ඒ පොල්ගෙඩිය ඉල්ලාගෙන එය මිරිකා පොඩිකර වෑංජනය රසගන්වා ගන්නා ලෙස කියා ලබාදී තිබෙනවා. මේ සිදුවීමෙන් සිංහල රජුගේ මල්ලවපොර ශූරයා කොතරම් විශාල ශක්තිමතෙක් දැයි විදේශයෙන් පැමිණි මලල්ව පොර ශූරයාට වැටහිලා. ඒකෙ ප්‍රතිඵලය තමයි මල්ලව පොර තරගය පැවැත්වෙන දිනට පෙර දිනයේ රාත්‍රියේ කාටත් නොකියා පලායන්න කටයුතු කරපු එක.

18 වැනි සියවසේ සෙංකඩගල රාජධානිය කර ගනිමින් රජකම් කරපු නරේන්ද්‍රසිංහ රජු ඉදිරියේ කුණ්ඩසාලේ පැවැතුණු මල්ලවපොරයක් ගැන කවියක් ලියැවිලා තිබෙනවා.

ඒ තමයි, 'දෙන්න දෙපොලේ මුලුතැනින් ලත් රාජ භෝජන සිතුසේ බුදිධීම ගෙන්නවා උරමාල බඳ පටි ඉනේ දිය කච්චියද අඳිමිනි ඇත්ත සුරතින් ගුටිය සබයේ වාසි බස්වා පොරට වඳිමින දුන්න පාරට මූන බිඳ ලේ කුණ්ඩ සාලය මළුවේ හැමතැන' වශයෙනි. එයින් කියැවුණේ 'මල්ලවපොර ශූරයන් දෙදෙනා රාජ භෝජන ගෙන උරමාල බඳ පටි හා දිය කච්චි ඇඳ එකිනෙකා වහස් බස් වැන සටන් වැදුණේ මිටි ගුටියෙන් මුහුණට දුන් පා පහරක් නිසා කුණඩසාලේ මළුව සැම තැන ලේ විසි වුණේ ලු.

විද්‍යාවක් ලෙසින් ලෙව්කේ දිසාව හා මීගස්තැන්නේ යන දෙදෙනා විසින් කරන ලදැයි සැලකෙන මරු නිල ශ්‍රාස්ත්‍රය හෙවත් මරණය ගෙන දෙන ස්ථාන හැඳින්වීමේ විද්‍යාව නම් පුස්කොළ පොත් දක්වලා තිබෙනවා.

 

 

Comments