මංගල ඉනිමේ පහ සමත් ඇත්තෝ | සිළුමිණ

මංගල ඉනිමේ පහ සමත් ඇත්තෝ

 

ප්‍රථම ටෙස්ට් ගමනේම පන්දුවෙන් වාර්තා පොතට ගිය අපේ පන්දු යවන්නන්ගැනයි

මෙම දස්කම පෑ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ කෝසල කුරුප්පුආරච්චියි.

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම අන්තර්ජාතික ටෙස්ට් වරම් හිමි කර ගත්තා. ප්‍රවීන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කර ගත් 156 වැනි ක්‍රීඩකයායි. සිය පළමු තරගයට මුහුණ දෙමින් ඔහු එක් ඉනිමක දී කඩුලු හයක් දවා ගන්නට සමත් වුණා. එය සුවිශේෂී දස්කමක් ‍සේම වාර්තාවක් ද වෙනවා. ප්‍රවීන් සමඟ වසර 39 ක ලාංකීය ටෙස්ට් ක්‍රිකට් වංශකතාව තුළ මෙම දස්කම පෑ ලාංකේය ක්‍රීඩකයන් සංඛ්‍යාව පහක්. ලෝකයේ ක්‍රීඩකයන් 159 ක් එම දස්කම දක්වා තිබෙනවා. මේ ඒ ශ්‍රී ලාංකේය ක්‍රීකට් ක්‍රීඩකයන් ගැනයි.

කෝසල කුරුප්පුආරච්චි

මෙම දස්කම පෑ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ කෝසල කුරුප්පුආරච්චියි. 1986 මාර්තු මස 14 වැනිදා පාකිස්තානයට එරෙහිව කොළඹ සී.සී,සී, ක්‍රීඩාංගණයේ දී ඔහු ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි කරගත්තා. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කර ගත් 35 වැනි ක්‍රීඩකයා වශයෙනුයි. මඳ වේගපන්දු යවන්නෙක් වූ කෝසල එහිදී ඉනිමකදී පන්දුවාර 14.5 ක් තුළ ලකුණු 44 ක ට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා. මුදාසර් නසාර්, මොෂින් ඛාන්, සලීම් මලික්, වසීම් අක්‍රම්, සුල්කි වුරායෙන් නම් ක්‍රීඩකයන් පස්දෙනා කෝසල විසින් දවා ගත්තා. කෙසේ නමුත් කෝසලගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතය තරග 2ක ට සීමා වුණා. එම තරග දෙක තුළ දී ඔහු කඩුලු 8 ක් දවාගෙන තිබෙනවා.

උපුල් චන්දන

1999 වසර වන තෙක්ම කෝසලගේ වාර්තාව අභිබවන්වට හෝ සම කරන්නට කිසිදු ශ්‍රී ලාංකිකයකුට හැකියාව ලැබෙන්නේ නෑ. 1999 මාර්තු 12 වැනි දා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 77 වැනි ක්‍රීඩකයා වූ උපුල් චන්දන, කෝසලගේ වාර්තාව අභිබවනවා. ඒ පාකිස්තානයට එරෙහිව ඩකා හි බංගබන්දු ක්‍රීඩාංගණයේ දී පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට මුහුණ දෙමින් පන්දුවාර 47.5 ක් යවා ලකුණු 179 ක ට කඩුලු 6 ක් දවා ගනිමින්. පා දඟ පන්දු යවන්නෙක් වූ උපුල් චන්දනගේ පන්දුවට ඉජාස් අහමඩ්, යූසුෆ් යොහානා, සහීඩ් ඇෆ්රිඩි, වසීම් අක්‍රම්, අර්ෂාඩ් ඛාන්, ෂොහිබ් අක්තාර් යන ක්‍රීඩකයන් ගොදුරු වෙනවා. එදා මංගල තරගයේ දී කඩුලු 6ක් දවා ගනිමින් වාර්තා පොත් සැරසූ උපුල් චන්දන 2005 වසර වන තෙක් ටෙස්ට් තරග 16 ක ට ක්‍රීඩා කරනවා. එහිදී අර්ධ ශතක 2 ක් ද සමඟින් ලකුණු 616 ක් ලබා ගත් උපුල් චන්දන කඩුලු 37 ක් දවා ගන්නවා. ඔහු මංගල තරගයේදී පෑ කඩුලු පහේ දස්කම එයින් පසු තවත් දෙවතාවක්ම සම්පූර්ණ කිරීමට ඔහු සමත් වුණා.

අකිල ධනංජය

අකිල ධනංජය කියන්නේ වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙක්. 2018 පෙබරවාරි 10 වැනි දා බංග්ලාදේශයට එරෙහිව ඩකාහි දී මංගල ටෙස්ට් තරගයට මුහුණ දෙන අකිල පන්දුවාර 5ක් යවා ලකුණු 24 ක ට කඩුලු 5 ක් දවා ගන්නවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 145 වැනියා වූ අකිල එහිදී ලින්ටන් දාස්, මහමුදුල්ලා, සබීර් රහ්මන්, මෙහෙදි හසන්, අබ්දුර් රසාක් යන ක්‍රීඩකයන් පස්දෙනාගේ කඩුලු හිමි කර ගත්තා.

ලසිත් ඇඹුල්දෙණිය

ලසිත් ඇඹුල්දෙණියත් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සුපිරි පන්දු යවන්නෙක්. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 149 වැනි ක්‍රීඩකයා යි. දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හි කිංග්ස්මෙඩ් ක්‍රීඩාංගණයේ දී පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ලසිත්, ඩි එල්ගර්, ටෙම්බා බවුමා, ක්වින්ටන් ඩී කොක්, වර්නන් පිලෙන්ඩර්, කගිසෝ රබාඩා යන ක්‍රීඩකයන් පස්දෙනාගේ කඩුලු තමන් සතු කර ගන්නවා. පන්දුවාර 26 ක දී ලකුණු 66 ක ට කඩුලු 5 ක් දවා ගත් ඇඹුල්දෙණිය එහිදී වාර්තා ‍පොත් අතරට එක් වෙනවා.

ප්‍රවීන් ජයවික්‍රම

පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පසුගියදා අවසන් වුණු ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනාගත් ප්‍රවීන් ජයවික්‍රම ඉනිමක දී කඩුලු 6ක් දවා ගන්නට සමත් වුණා. ඔහු එම දස්කම පෑ 5වැනි ලාංකික ක්‍රීඩකයා වුණා. එපමණක් නොව එම වාර්තාවේ ලාංකිකයෙකු ලද ඉහළම දක්ෂතාව පෑමට ඔහු සමත් වුණා. ඒ මීට පෙර උපුල් චන්දන විසින් ලකුණු 179 කඩුලු 6 ක් දවාගෙන තබා තිබූ වාර්තාව, ලකුණු 92 ට කඩුලු 6 ක් ලෙසින් අලුත් කරමිනුයි. ප්‍රවීන් යනු එම දස්කම පෑ ලොව 159 වැනි පන්දු යවන්නා. එහිදී සයිෆ් හසන්, තමිම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම්, ලින්ටන් දාස්, මෙහිදි හසන්, ටස්කින් අහමෙඩ් ගේ කඩුලු ඔහු හිමි කර ගත්තා.

පසිඳු මිහිරාන් රැටියල

Comments