දසක තුනක වලල දිව මතුර | සිළුමිණ

දසක තුනක වලල දිව මතුර

මේ ගමන සුන්දර නෑ. තාඩන - පීඩන - හැල හැප්පිලි එක්ක ආපු ගමනක්. වලල ළමයින්ට විවිධ අවස්ථාවලදී ඕනැ තරම් අසාධරණකම් සිද්ධ වෙලා තියෙනවා. මේ කිසිම දේකදි මමවත් ළමයින්වත් වැටුණේ නෑ.

'ඔහුට තිබෙන්නේ ප්‍රබල විධානකට උචිත හඬක්. ඒ හඬ සිය දහස් හඬවල් අතරින් වෙන්කර හඳුනා ගන්න තරමට ක්‍රීඩක සවන් සුසරවී තිබෙනවා. ඒ සුන්දර භාවය අවසානයේ පදක්කමක මිහිරියාව ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව තුළ ඇතිකරවනවා. දශක තුනක් තිස්සේ ඔහුගේ මේ හඬ ක්‍රීඩාංගණවල රැව් පිළිරැව් දෙනවා. මේ දශක තුනක ඔහුගේ ගමන ගැන.'

ගෝ වලල.. ගෝ.. හුඟක් අය දෑස් දල්වා ගෙන එන්ඩ් එකට වෙලා බලා ඉන්නවා. ඒ චුට්ට කෑ ගහන්න. වලල රත්නායකය දන්න කාලෙ ඉඳල ඉන්නෙ සුගතදාස ග්‍රවුන්ඩ් එකේ අන්තිම මීටර සියයට හැරෙන වංගු‍ෙව. ඒකටත් විශේෂ හේතුවක් තිබුණා. වලල මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකුගෙ ප්‍රියතම ඉසව් වන්නේ මැදි දුර. ඒ කිව්වේ මීටර් 400 සහ මීටර් 800 කියන ඉසව්ව. එහෙම නැත්නම් ඊට වැඩි දුරක්, ඒ කොහොම වුණත් එහෙම දුවන අය අන්තිම මීටර් සියයට එන්නෙ මෙතැනට. මේ වංගුවෙදි තමයි සුසන්ත ප්‍රනාන්දුගෙ දරුණුම විධානය ඇහෙන්නෙ.

මහා හයියෙන් දෙනෝ දාහක් දෙනාගේ හඬවල් අස්සෙ සුසන්ත දෙන එක විධානයෙන් තමයි ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ගියර් එක මාරු කරන්නෙ. එතැනින් එහාට වලල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව නවත්තනවා කියන ඓක හිතන තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. ඒක කරන්න අමාරු දෙයක් නෙමෙයි හුඟක් වෙලාවට කරන්න බැරි දෙයක්.

මේ ගියර් එක හරි වැදගත්. හුඟ දෙනෙක්ගෙ වේගය වැඩ කරන්න පටන් ගන්නෙ මෙතැනදි.තරගයක හැඩේ වෙනස් වෙන තැන.'

මේ තමයි වලල රත්නායක විදුහලයි, සුසන්ත ප්‍රනාන්දු කියන එහි පුහුණුකරුයි ගැන කියන්න තිබෙන කතාව.

බණ්ඩාරවෙල ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයෙන් ද්විතීයීක අධ්‍යාපනය හදාරා 1990 වර්ෂයේ වලල ක්‍රීඩාවට අත්පොත් තබපු පුහුණුකරුවෙක් තමයි සුසන්ත කියන්නේ. පාසල් වියේදි ක්‍රිකට් ක්‍රීඩාව ට දස්කම් පෑවත් වලල විද්‍යාලයේ දී සුසන්ත තෝරා ගනු ලබන්නේ මලල ක්‍රීඩාව යි.

1990 දී ඇරැඹී දුෂ්කර ගමන් මඟ විවිධ හැල හැප්පීම් බාධක මැද ජයග්‍රාහී තිස්වැනි වසර සැපිරූ සුසන්ත ලාංකේය පාසලකට කිසිදා ළඟාවිය නොහැකි වාර්තා රැසක් අත්පත් කරගත් පුහුණුකරුවෙක්.

සුසන්ත වලල, මලල ක්‍රීඩා නෞකාවේ රුවල වුව ද ලාංකේය මලල ක්‍රීඩාවේ බලධාරින් තවමත් ඔහුගේ හරි හමන් වැඩක් නොගෙන තිබීම කනගාටුවට කරුණක්. එමෙන්ම ක්‍රීඩාවට එහා ගිය උත්තුංග ගති ගුණ සුසන්ත ගෙන් අත්විඳි පිරිස බොහෝමයි. ඔහු පාසලේ විනය භාර ගුරුවරයා. එසමයේ පාසලේ කටයුතු කළ අන්දම අදටත් සමහර සිසුන් සිහිපත් කරන්නේ අතිශය ගෞරවයෙන්. කොළඹ තරගයකට ගියත් කිසි දා දරුවන් තනි කළේ නැති, සැප පහසු හෝටල් කාමරයක තනිව නිදා නොගත් පුහුණුකරුවෙක් තමයි සුසන්ත කියන්නෙ.

බිම පැදුරක් එළාගෙන ළමුන් සමඟ නිදාගත් අන්දම අදටත් බොහෝ දෙනා සිහිපත් කරන්නේ අපරිමිත බැතියෙන්.

පුහුණුකරුවකු ලෙස බොහෝ දෙනා සුසන්ත තුළින් දකින සුවිශේෂීම ගුණාංගය "විනය යි ".

විනය සෑම විටම ඔහුට අංක එක. වලල දිනන රහස ද එයම වෙන්නත් පුළුවන්.

'අවසන් පුහුණුවීම් ඉවර වුණාට පස්සේ මම ළමයින්ට කතා කරනවා. ඊට පස්සේ ආයෙ මම ඔවුන් ට කතාකරන්නේ තරගය ඉවර වුණාම. ඇත්තටම කියනවා නම් තරග ඉවර වෙනකම්ම මම ඔවුන් දිහා බලන්නෙවත් නෑ. මොකද මම ඒ වෙද්දී ඔවුන්ව සම්පුර්ණයෙන් ම තරගාවලියට ඕනෑ කරන විදිහට කායිකව සහ මානසිකව ගොඩනඟලා තියෙන නිසා. හදිසි අවස්ථාවකදි ළමයකුට මොකක් හරි ගැටලුවක් මතු වුණොත් බලනවා මිසක් නැත්නම් තරගාවලිය අවසන්වන තෙක්ම ඔවුන් එක්ක ගනුදෙනුවක් කරන්නේ නෑ.

අපි මේ ළමයි අන්තර්ජාතික මට්ටම ඉලක්ක කරගෙන ගොඩනඟන්නේ. අපිට එතැනදී වුණත් හැම දෙයකට ම මැදිහත් වෙන්න බෑ. මම හැම වෙලාවෙම ළමයාගේ මනසට අවශ්‍ය හැම දෙයක් ම හදලා තමයි තරගයකට යවන්නේ.

අවුරුදු තිහක් වන මගේ පුහුණු ඉතිහාසය ඇතුළේ ශූරතා හෝ අනුශුරතා දිනලා තිබෙනවා. තෙවැනි තැනට පත්වෙලත් තිබෙනවා. ශුරතා දිනුවාට පස්සේ අභියෝගය වැඩියි. මොකද ඒ දිනපු ශුරතා රැක ගන්න ඕනෑ. ඒක හරිම අමාරු දෙයක්. අපි දිනුවොත් අවුලක් නෑ. පැරදුණොත් කියන්නේ වලල වැටිලනේ කියලයි. මේ හැම දෙයක්ම තරගාවලියකට කලින් ළමයින්ට මතක් කරලා දෙනවා.

මොන පීඩනයක් තිබුණත් මම ළමයින්ට ඒ දේ දැනෙන්න දෙන්නේ නෑ. ළමයෙකුට කතා කරන්න ම ඕනෑ කියල හිතුණොත් විතරයි කතා කරන්නේ. සමහර අවස්ථාවලදී අවාසනාවත්ත, අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දෙන්න වෙනවා. ඒවා මඟ හරවා ගෙන යන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ.

1990 දී තමයි හා හා පුරා කියලා සමස්ත ලංකා තරගාවලියකට එක් ළමයෙක් එක්කර ගෙන ආවේ. මුලික තරගයෙන් ම ඒ ළමයා එළියට ගියා. විශේෂයෙන් ඒ දවස්වල බාලක බාලිකා අංශ දෙකෙන් ම නාගරික පාසල් තමයි ඉදිරියෙන් හිටියේ. ඇයි අපිටත් බැරි කියන දේ තමයි මම එදා හිතා ගත්තේ. රට දිනන්න කලින් පළාත, ඒ කියන‍්නේ මධ්‍යම පළාත දිනන්න ඕනෑ කියලා හිතුවා. ත්‍රිත්ව, ශාන්ත අන්තෝනි, ධර්මරාජ, මහාමායා උසස් බාලිකා, මේ ඉස්කෝල තමයි මධ්‍යම පළාතේ මලල ක්‍රීඩාවෙන් ඉදිරියෙන් හිටියේ.

1990 දි මම වලල ළමයින්ට කිව්වෙත් තව අවුරුදු තුනක් යන කොට මධ්‍යම පළාත අපි ජය ගන්න ඕනෑ කියලයි. 93 දී මධ්‍යම පළාතේ ශූරතාව දිනා ගත්තා. ඊට පස්සේ සමස්ත ලංකා තරගාවලිය ජයගන්න සැලසුම් කළා. 1995 -98 වන කොට අපි ක්‍රමයෙන් ඉදිරියට ඇවිත් 98 දී සමස්ත ලංකා ශුරතාව දිනා ගත්තා. ඒ අවුරුදු අටකට පස්සේ. 2000 ඉඳලා බාලක බාලිකා ශුරතා ද්විත්වය ම අවස්ථා 19 ක දී දිනා ගෙන තියෙනවා. සමස්ත ශුරතා බාලක - බාලිකා වශයෙන් ගත්තම වලල දැනට 75කට වඩා දිනා ගෙන තියෙනවා. වලල සහාය පුහුණු කරුවන් හතර දෙනාත් මගේ ගෝලයෝ. ඔවුන් විද්‍යාපීඨ උසස් අධ්‍යාපනයෙන් පස්සේ පුහුණු කටයුතු සඳහා එකතු වෙලා ඉන්නේ.

මේ ගමන සුන්දර නෑ. තාඩන - පීඩන - හැල හැප්පිලි එක්ක ආපු ගමනක්. වලල ළමයින්ට විවිධ අවස්ථාවලදී ඕනැ තරම් අසාධරණකම් සිද්ධ වෙලා තියෙනවා. මේ කිසිම දේකදි මමවත් ළමයින්වත් වැටුණේ නෑ. එහෙම එක පාරක් හරි වැටිලා තිබුණා නම් අපිට මෙච්චර දුර එන්න වෙන්නෙත් නෑ. අපි මේවා අවියක් කරගෙන ඉදිරියට ආපු නිසා තමයි මේ ගමන මෙච්චර දුර ආවේ. අපේ දක්ෂතා ගැන විශ්වාසයක් තියෙනතාක් කල් අපිට අනවශ්‍ය දේවල් එළියේ තියලා පිටියට එන්න පුළුවන්. වලල ක්‍රීඩා පිටිය මීටර් 200යි. ඒකත් ප්‍රමිතියකට නෑ. මීටර් 150ක් කවාකාර විදියට තියෙන්නේ. ක්‍රීඩකයෙක් මීටර් 400 තත්පර පනහට ආවට පස්සේ මේකේ දුවන එක හරිම අවදානම්. අපි ඒ නිසා පුහුණු සැලසුම් පවා සීමාසහිතව කරපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මේ හැම දෙයක්ම අභියෝග තමයි. හැබැයි පසුගිය අවුරුදු තිහම ගත්තොත් මේ අභියෝග ජය ගෙන තියෙනවා.' අභියෝග ජයගත් මේ අපූරු පුහුණුකරුවා කියනවා.

ඔහු කියන කතාවෙන් තේරුම් යන්නේ ඔහුගෙන් තව දේවල් ලබාගත හැකි බවයි. හැබැයි ඒක කොළඹ ගෙනැවිත් ලබාගන්නවාට වඩා ගමට පහසුකම් දීලා ලබාගන්න බලධාරීන් උත්සුක විය යුතුයි. වඩා සාර්ථක වන්නේ එයයි.

 

බන්ධුල ජයමාන්න

Comments