තාත්තාගේම පුතා | සිළුමිණ

තාත්තාගේම පුතා

 

මයිකල් ඇතර්ටන් අන්තිම කාලේ දිගින් දිගටම ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට ගොදුරු වුණා. අළු බඳුන තරගාවලියේ දී ග්ලේන් මැක්ග්‍රාත් ගේ පන්දු හමුවේ ස්ලිප් හෝ කඩුලු රකින ක්‍රීඩකයා අතට උඩපන්දුවක් දී උදේ පාන්දරින්ම දැවී ගියා. ඒ සිදුවීමෙන් ඔහුට ගැලවෙන්නම බැරිවුණා. මොකද මැක්ග්‍රාත් ඇතර්ටන්ව මානසිකව වශයෙන් පරාජය කරලා ඔහුගේ විශ්වාසය බිඳදාලා තිබුණු නිසා.

විශ්වාසය කියන්නේ බිඳ නොගත යුතු දෙයක්. කොහොම හරි ඇතර්ටන් කොච්චර වැඩකරුවෙක් වුණත් එතැනදී අසමත් වුණා. දැන් ඔහු වසර ගණනාවකට පස්සේ තමන් හදිසියේ අතහැරපු වැඩේ පරම්පරාගත කරලා වෙන කෙනෙකුට පවරලා.

ඒ තමයි ඔහුගේ පුත් ජොස් ඩි කෙයාර්ස් ව පිතිකරුවකු වශයෙන් ශක්තිමත් කිරීම. දැන් මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය නියෝජනය කරන ඇතර්ටන්ගේ කොල්ලා පසුගිය දවසක යෝර්ක්ෂයර් කණ්ඩායමට එරෙහිව නොදැවි ශතකයක් රැස්කළා. ඒ ශතකයක සමඟ ක්‍රිකට් විචාරකයන් ඇතර්ටන්ගේ පුතා ගැන සංවාදයක් ආරම්භ කරලා තිබුණා.

‘සමහරු මගෙන් ඇහුවා මම ත් තාත්තා වගේම නේද පිත්ත හසුරුවන්නේ කියලා. නමුත් මට ඒකට මොකුත් කියන්න බෑ. මොකද මගේ ජීවිතය තමයි මේ. නමුත් මම ඔහු පිතිහරඹයේ යෙදෙනවා දැකලා නෑ. නමුත් මම දැකපු ටිකේදී ඔහුගෙයි මගෙයි ඇතැම් කාරණාවන් සමානයි.’ ඩි කෙයිරෙස් පවසනවා.

ඇත්තටම කියනවා නම් ඔහු ඇතර්ටන්ගේ පවුලට එක්වන්නේ ජ්‍යෙෂ්ඨ ඇතර්ටන් ගේ අවසන් ටෙස්ට් ඉනිමෙන් මාස අටකට පසුවයි.

‘ඇත්තම කියනවා නම් අපි දෙන්නම ටිකක් විතර මුරණ්ඩුයි. මට පේන විධිහට ඔහුගෙන් මම අරං තියෙන එකම දේ ඒක.’ ඇතර්ටන්ගේ පුතා පවසනවා.

‘මම පරණ විලාසිතාවෙන් ක්‍රීඩා කරනවා වෙන්නත් පිළිවන්. මොකද මට එකපාරට පන්දුව පිටියෙන් එහාට ගහන්න බෑ.’ මේ ඇතර්ටන්ගේ පුතා කියනවා.

තවමත් දහ අට හැවිරිදි වියේ පසුවන කෙයාර්ස් පළමු වරට මිඩ්ල්සෙක්ස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වුණේ 2020 වසරේදීයි. යෝක්ෂයර් පිලේ ප්‍රබල පන්දුයැවීමේ බල ඇණිය ඉදිරියේ පන්දු 292 කට මුහුණ දෙමින් තමයි මේ ශතකය රැස්කර ඇත්තේ.

‘ඊට වඩා තරමක් වේගවත් වෙන්න මට උවමනායි. අනාගතයේ ඒ තත්ත්වයට පත්වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.’ තමන්ගේ ඉනිම සම්බන්ධයෙන් ඇතර්ටන් පුත්‍රයා ප්‍රකාශ කර ඇතිබවයි විදෙස් මාධ්‍ය සටහන් කළේ.

එංගලන්ත පන්දුයවන ක්‍රීඩක ඩේවිඩ් විලී, පළපුරුදු පන්දුයවන්නන් වන ස්ටීවන් පැටර්සන්, මැතිව් ෆිසර් සහ බෙන් කෝඩ් ඒ කණ්ඩායම නියෝජනය කළා. ඔහු එම ක්‍රීඩා සමාජයේ දෙවැනි පෙළ කණ්ඩායම නියෝජනය කළේ වයස අවුරුදු 15 ක් වද්දීයි. දැනට ඔහු උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා. මයිකල් ඇතර්ටන් ටෙස්ට් තරග 115 කදී ශතක 16 ක් සමඟ ලකුණු 7728ක් රැස්කළ පිතිකරුවෙක්.

 

කසුන්

----------------------

පානදුර ප්‍රාදේශීය සභා සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතාගේ සංකල්පය මත සංවිධානය කරන ලද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය පසුගිය දා වාද්දුව මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. වාද්දුව ප්‍රධාන කාර්යාලය සහ තන්තිරිමුල්ල කෙසෙල්වත්ත යන උප කාර්යාලයෙන් මෙන්ම ප්‍රාදේශීය සභා සභිකයන්ගේ කණ්ඩායම් අතර මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි. අවසන් මහා තරගය තන්තිරිමුල්ල උප කාර්යාලය කණ්ඩායම සහ පානදුර ප්‍රාදේශීය සභා සභිකයන්ගේ කණ්ඩායම අතර පැවැති අතර එහි ශූරතාව හිමිවූයේ තන්තිරිමුල්ල කණ්ඩායමට ය.

මේ ජයග්‍රාහකයන්ට හිමි ත්‍යාග ප්‍රාදේශීය සභා සභාපති හේමන්ත ප්‍රනාන්දු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නව්ෂාද් මන්සූර් යන මහත්වරුන් විසින් ලබාදුන් අවස්ථාව. ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයාද මෙහි වේ.

ඡායාරූපය : මොරටුව මධ්‍යම විශේෂ - එම්.කේ.එම්.අස්වර්

 

Comments