කොළඹ ශාන්ත ජෝශප්, ගාල්ල මහින්ද, පානදුර ශ්‍රී සුමංගල සහ ශ්‍රී ජයවර්ධනපුර ශූරතා දිනයි | Page 2 | සිළුමිණ

කොළඹ ශාන්ත ජෝශප්, ගාල්ල මහින්ද, පානදුර ශ්‍රී සුමංගල සහ ශ්‍රී ජයවර්ධනපුර ශූරතා දිනයි

 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතා දිනා ගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයන් සමත් විය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මාර්තු මස මැද දී ඇරඹුණු මෙවර පාසල් ක්‍රිකට් තරග වාරය එක්දින සීමිත පන්දුවාර තරග රටාවට පැවැත්විණි. පළමු කොටසේ තරගාවලිය ටියර් ඒ සහ ටියර් බී ලෙසිනුත්, දෙවැනි කොටස ටියර් ඒ සහ ටියර් බී ලෙසිනුත් සංවිධානය කර තිබුණේය.

මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිට සුදු පන්දුව යොදාගත් අතර, ක්‍රීඩකයන්ට තරගාවලි සංවිධායකයන් විසින් වර්ණ ඇඳුම් සපයා තිබීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

පළමු කොටසේ 'ටියර් ඒ' තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දුනිත් වෙල්ලාලගේ ගේ නායකත්වයෙන් යුත් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට අවස්ථාව හිමිවිණි.

පළමු කොටසේ 'ටියර් බී' තරගාවලියේ ශූරතාව හිමිවුණේ නවෝද් පරණවිතානගේ නායකත්වයෙන් යුත් ගාල්ල මහින්ද විද්‍යාලයට ය.

දෙවැනි කොටසේ 'ටියර් ඒ' තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තරණ ද සිල්වා ගේ නායකත්වයෙන් යුත් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් වූ අතර, එම කොටසේ 'ටියර් බී' තරගාවලියේ ශූරතාව හිමිවුණේ ජනිත් ආකාෂ් ගේ නායකත්වයෙන් යුත් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය කණ්ඩායමට යි.

පළමු කොටස 'ටියර් ඒ' තරගාවලිය

කොළඹ එන්.සී.සී. පිටියේ පැවැති අවසන් තරගයේ දී කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය, අවසන් පූර්ව වටය තෙක් අපරාජිතව පසු වූ කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 97කින් පැරද වීය.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන වමත් පිතිකරු ෂෙවොන් ඩැනියෙල් පන්දු 133 ක දී හතරේ පහර 6 ක් සහ හයේ පහර 9 ක් සමඟින් නොදැවී ලකුණු 146 ක් රැස් කළේය.

තරගාවලියට පාසල් කණ්ඩායම් 18 ක් සහභාගි වූ අතර, පළමු වටයේ දී කාණ්ඩ 3 ක් යටතේ ලීග් ක්‍රමයට තරග පැවැත්විණි. පළමු වටයේ මඳක් පසුබා සිටි ශාන්ත ජෝශප් විද්‍යාලය තෙවැනි ස්ථාන ලද කණ්ඩායම් අතරින් පළමුවැනි තැන හිමි කර ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව වටයේ දී ඒ දක්වා අපරාජිතව පසු වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට ත්, අවසන් පූර්ව වටයේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරදවමින් අවසන් තරගයටත් සුදුසුකම් ලැබීය.

පළමු කොටස 'ටියර් බී' තරගාවලිය

කොළඹ එන්.සී.සී. පිටියේ පැවැති අවසන් තරගයේදී ගාල්ල මහින්ද විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව කඩුලු 3 ක ජයක් ලැබීය.

තරගාවලියට පාසල් කණ්ඩායම් 18 ක් සහභාගි වූ අතර, පළමු වටයේ දී කාණ්ඩ 3 ක් යටතේ ලීග් ක්‍රමයට තරග වැදුණි. තරගාවලියේ පළමු වටයේ දී තම කාණ්ඩයේ අනු ශූරයන් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ මහින්ද විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේ දී වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය ත්, අවසන් පූර්ව වටයේ දී කොළඹ ආනන්ද විද්‍යාලය ත් පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

දෙවැනි කොටසේ 'ටියර් ඒ' තරගාවලිය

කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ දී පැවැති දෙවැනි කොටසේ 'ටියර් ඒ' තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් වූයේ අවසන් තරගයේ දී පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය කඩුලු 6 කින් පරදවමිනි.

තරගාවලිය ට පාසල් කණ්ඩායම් 18 ක් සහභාගි වූ අතර, පළමු වටයේදී කාණ්ඩ 3 ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත් විණි. තරගාවලියේ පළමු වටයේ දී තම කාණ්ඩයේ ශූරයන් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේ දී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයත්, අවසන් පූර්ව වටයේදී කළුතර සිරිකුරුස විද්‍යාලයත් පරදවමින් තරගාවලිය පුරා අපරාජිතව සිටිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

දෙවැනි කොටසේ 'ටියර් බී' තරගාවලිය

කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේ දී පානදුර රාජකීය විද්‍යාලය ලකුණු 5 කින් පරදවමින් ශූරතාව දිනා ගැනීමට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය සමත් විය.

තරගාවලියට පාසල් කණ්ඩායම් 17 ක් සහභාගි වූ අතර, පළමු වටයේ දී කාණ්ඩ 3 ක් යටතේ ලීග් ක්‍රමයට තරග පැවැත් විණි. තරගාවලියේ පළමු වටයේ දී තම කාණ්ඩයේ ශූරයන් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේ දී කෝට්ටේ ජනාධිපති විද්‍යාලය ත්, අවසන් පූර්ව වටයේ දී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයත් පරදවමින් අවසන් තරගය ට සුදුසුකම් ලැබීය.

 

ඉෂානි යද්දෙහි

Comments