ක්‍රිකට් ගැන ලියැවුණු ලොකුම පොත මගේ එක වෙන්න ඇති | සිළුමිණ

ක්‍රිකට් ගැන ලියැවුණු ලොකුම පොත මගේ එක වෙන්න ඇති

 

සාහිත්‍ය මානව ශිෂ්ටාචාරයේ විචිත්‍රවත් ප්‍රයත්නයකි. ඒ සාහිත්‍යය නිර්මාණශීලිව යොදාගන්නේ නම් එකී විචිත්‍රවත් භාවය තවදුරටත් ඉහළ යයි. එහෙත් ඉතිහාසය යළි පෙළගසමින් එහි යටි පෙළක් දකිමින් අකුරු අමුණා අනාගතයට වාර්තා කිරීම මානව ශිෂ්ටාචාරය තුළ සිදුකෙරුණු කටයුත්තකි. ප්‍රාග් ඓතිහාසික ගුහා සිත්තමේ සිට සීගිරි කැටපත් පවුර දක්වාත්, මහාවංශය, දීපවංශය හෝ අන් ඓතිහාසික කෘති මඟිනුත් කියාදෙන්නේ ඉතිහාසයේ සාක්ෂි සටහන් කිරීම කොතරම් සුවිශේෂ කටයුත්තක් ද යන්න ය. මේ ක්‍රීඩාව හා සම්බන්ධ වුණු සාහිත්‍ය නිර්මාණ කාර්යයක් ගැනය. එය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ජනසන්නිවේදන ක්ෂේත්‍රයට අත්පොත් තැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, සාහිත්‍යධර සරත් ජයසිංහ විසින් රචනා කර ඇත. මේ ඔහුගේ එම අලුත්ම ප්‍රයත්නය ගැනය.

මොකක්ද ඔබේ මේ අලුත්ම ක්‍රීඩා සාහිත්‍යකරණ කර්තව්‍යය? එහි ස්වභාවය සම්බන්ධයෙන් මූලිකව යමක් දැනගන්න කැමැතියි?

‘ශ්‍රී ලංකාවේ එක් දින ක්‍රිකට් පුරාණය’ කියන කෘතිය මම ජනගත කළා. ඒක පිටු 1640 කින් යුක්තයි.

එය හිටපු ක්‍රිකට් සභාපතිවරයකු වන ගාමිණී දිසානායක මහතා අනුස්මරණ උපහාර ග්‍රන්ථය ලෙසට ඔබ නම් කර තිබෙන්නේ ඇයි ?

ගාමිණී දිසානායක මහත්තයගේ උත්සාහය නිසා තමයි අපේ රටට ටෙස්ට් වරම ලබා ගැනීමට හැකි වුණේ. ඔහු ඒ සඳහා ලොකු වෙහෙසක් ගත්තා. ඒ වගේම ඔහු දේශපාලනඥයෙක් වුණාට ඒ දේශපාලනය ක්‍රීඩාවට අදාළ කරගත්තේම නැහැ. හොඳම උදාහරණය තමයි අර්ජුන රණතුංගට දක්වපු සැලකිල්ල. ඒ වගේම ඔහු ක්‍රීකට් පාලක මණ්ඩලයේ සභාපති වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළා. ඒ නම අමතක කරලා අපට අපේ ක්‍රිකට් ඉතිහාසය ගැන කතා කරන්න බැහැ. අන්න ඒ නිසයි ඔහුගේ දේශපාලනයෙන් තොරව ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුගෙන් ලැබුණ ශක්තිය පිළිබඳ මම මේ පොතේ මුලින්ම කෙටි සටහනක් තබා තිබෙන්නේ.

මේ පොත දැවැන්ත නිර්මාණයක්. මේ සඳහා තොරතුරු සම්පිණ්ඩනය කරගන්න ඔබට කොපමණ කාලයක් ගත වුණා ද?

ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෙක් වශයෙන් මම නිරන්තරයෙන්ම දත්තයන් එකතු කරනවා වගේම ඒවා යවත් කාලීන කරනවා. නිවේදකයෙක්, විචාරකයෙක් ගේ මූලික කාර්ය භාරය විය යුත්තේ එයයි. මා සතුව පවතින ඒ සත්‍ය තොරතුරු මා විවිධ අවස්ථාවන් හි දී මාධ්‍ය ඔස්සේ මෙන්ම මෙවැනි කෘති මඟින් මුදා හැරලා සමාජය දැනුවත් කර තිබෙනවා. එමඟින් මා ලබන තෘප්තිය අපමණයි. ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා නම් මම මුලින්ම මේ කෘතිය ලියන්න තොරතුරු ඒකරාශී කර ගත්තේ 2016 වසරේ සිටයි. එය දැවැන්ත නිර්මාණයක් වන නිසා සාමාන්‍ය ප්‍රකාශන සමාගමකින් අනූග්‍රාහකත්වයක් ලබා ගැනීමට නොහැකි වන බව මට දැනුණ නිසා එවකට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාව සිටි නවීන් දිසානායක මහතාට මා මේ බව පැවැසුවා. මෙම කෘතිය එළිදැක්වීමෙන් වර්තමාන සහ අනාගත පරපුරට අධ්‍යාපනික වශයෙන් වැදගත් වන බව ඔහුට වැටහී ගිය නිසා කිසිදු කොන්දේසියකින් තොරව ඒ වෙනුවෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූල්‍ය දායකත්වය ලබා දීමට ඔහු අනුමැතිය ලබා දුන්නා. නුස්කි මොහොමඩ් සහ අනුර තෙන්නකෝන් භාරකාර මණ්ඩලය ලෙස මෙම කටයුත්ත සාර්ථක කර ගන්න සෑහෙන සහයක් ලබා දුන්නා.

ඔබගේ කෘතිය මඟින් කතා කරලා තියෙන්නේ ජයග්‍රාහී ඉතිහාසයක් ගැනයි. ඒත් වර්තමානයේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇදවැටීම් රාශියක් වාර්තා වුණා. මේ තත්ත්වය විචාරකයෙක් ලෙස ඔබේ කියැවීම කොහොම ද ?

ඇත්තෙන්ම කනගාටුදායක තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. අපි 1996 ලෝක කුසලාන දින්නේ රට ගැන හිතපු කණ්ඩායමක් එදා සිටිය නිසයි. ඔවුන් එදා අවම පහසුකම් මධ්‍යයේ රටේ අභිමානය වෙනුවෙන් දැවැන්ත කැපවීමක් කළා. කණ්ඩායම තුළ එකමුතුකම තිබුණා. ඒ සඳහා සිදත් වෙත්තමුනි, දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, ඩී.එස්. ද සිල්වා, රන්ජන් මඩුගල්ල, රොමේෂ් රත්නායක ඇතුළු ඒ කාලේ හිටපු හැම ක්‍රීඩකයෙක්ම මූලික පදනම දාල දුන්නා. ඔවුන්ගෙන් පසුව අර්ජුනගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් එය තවදුරටත් සාර්ථකව ඉදිරියට අරගෙන ගියා. අපි ලෝක කුසලාන දිනන කොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ආනා පුංචිහේවා මහත්තයා. ඔහු හොඳ පරිපාලකයෙක් වගේම සවන් දෙන්නෙක්. ඒ නිසා කණ්ඩායම ඔහු සමඟ එකට හිටියා. නමුත් ලෝක කුසලානයෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් මුදලාලිකරණය වුණා. පුංචිහේවා ඉවතට විසි වුණා. එතන ඉඳලා අර්බුද, ගුටි කෙළි, නඩු හබ, තොර තෝංචියක් නැති ප්‍රශ්න වැලක් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ බද්ධ වුණා. පාලකයෝ හිටගෙන වැරැදි කරන කොට ගෝලයෝ දුව දුව වැරැදි කරන්න පටන් ගත්තා. ක්‍රීඩකයෝ හිතුවෙත් රට ගැන නෙමෙයි තමන්ට ලැබෙන මුදල ගැනයි. අන්තිමට ක්‍රිකට් කඩාගෙන වැටුණේ එතැනට. දැන් තත්ත්වය යළි වෙනස් කරන්න සාර්ථක උත්සාහයක් ගනිමින් ඉන්නවා. ක්‍රීඩා අමාත්‍යතුමා ඊට සෘජු දායකත්වය දක්වන එක ගැන සතුටුයි.

ඔබ හිතනවාද අපිට කඩිනමින් මේ තත්ත්වයෙන් ගොඩ එන්න හැකිවේවි කියා ?

ඇත්තටම පිළිවන්. මුලින්ම මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙනවා. ඒ වගේම දැන්වත් පිටරට පුහුණුකරුවන් ගෙන් යැපෙන එක නවත්තලා අපේ පුහුණුකරුවන්ගේ සහය ලබාගත යුතුයි. ඒ සඳහා දක්ෂයන් අප අතර කොපමණ ඉන්නවාද ? ඇයි ඔවුන්ගේ සහය ලබා නොගන්නේ. මේ හැමදේම සිදුවෙන්නේ අර මම කියපු මුදලාලිකරණය නිසයි. නාමල් රාජපක්ෂ නව ක්‍රීඩා ඇමැතිතුමාට හොඳ දැක්මක් තියෙනවා. එය ඔහුගේ පිය උරුමයෙන් ලැබුණු දෙයක්. ඒ නිසා ඔහුට මේ තත්ත්වය වෙනස් කරලා නව දැක්මක් අනුව කටයුතු කරන්න හැකියි.

ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්න කැමතියි. ඇත්තෙන්ම ඔබ සන්නිවේදන කලාවට යොමු වන්නේ කොහොමද?

ඒක මම පාසලෙන් ලැබූ ආභාෂයක්. ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ ජීව විද්‍යා අංශයේ තමයි මම ඉගෙනුම ලැබුවේ. ඒත් නිරන්තරයෙන් ම ආනන්දයේ බිත්ති පුවත් පතේ මගේ ලිපියක් පළ වුණා. ඒ වගේ ම නන්දනී රණතුංග ගුරුතුමිය ඒ කියන්නේ අර්ජුන රණතුංගගේ අම්මා මාව විවාද කණ්ඩායමට ඇතුළත් කර ගත්තා. මම කලක් විදුහලේ ජ්‍යෙෂ්ඨ විවාද කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළා. පාසලෙන් සමුගත්තාට පසු මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක්වුණා. එහිදී 1991 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ නිවේදකයකු ලෙස කටයුතු කරන්න මට අවස්ථාව උදාවුණා. ඒ වෙනුවෙන් අපව පුහුණු කළේ දූර්දර්ශන් රූපවාහිනියේ ජය දේව් සිං කියන ජ්‍යෙෂ්ඨ සන්නිවේදකයායි. එහෙම තමයි මම සන්නිවේදනයට එන්නේ.

ඔබ පුවත්පත් කලාවේදියෙක් ලෙසත් කටයුතු කරලා තිබෙනවා?

මගේ පුවත්පත් මාධ්‍ය ජීවිතයේ තිඹිරිගෙය තමයි ලේක්හවුසිය. දිනමිණ, ජනතා, සිළුමිණ පුවත්පත්වල මම ක්‍රීඩා මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළා. ඒ වගේම ක්‍රීඩා පුවත් පතේ විශේෂාංග රචකයෙක් ලෙසත් කලක් කටයුතු කළා. ඊට පසුව රාවය, පුවත්පතේ ක්‍රීඩා කතුවරයා ලෙසත් මා කලක් කටයුතු කළා. ඉන් අනතුරුව 'විසුර', දෙසතිය, කල්පනා, මාතොට සඟරාවල ක්‍රීඩා කතුවරයා ලෙසත් මිහිමඬල පාරසරික සඟරාවේ සහ ක්‍රිකටර් ක්‍රීඩා සඟරාවේ විධායක කතුවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.

ඉන්පසු ඔබ විද්යුත් මාධ්‍ය හා දැඩි සම්බන්ධයක් ගොඩනඟා ගන්නවා. ඒ ගැනත් කතාකරමු?

1994 සිරස ගුවන් විදුලිය ආරම්භයේ දී ම මා ක්‍රීඩා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා. සිරස රූපවාහිනිනයේ ක්‍රීඩා අංශය භාරව මා දැවැන්ත කාර්යයක් ඉටු කළා. එතැනින් පසුව මා ස්වාධීන රූපවාහිනිය සහ ලක්හඬ ගුවන් විදුලියේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබෙනවා. ඒ වගේම 1999 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ස්වර්ණවාහිණී නාලිකාව හා සම්බන්ධවී එහි ප්‍රධාන මෙහෙයුම් කටයුතු භාරව වගකීම දැරුවේ මමයි.

ක්‍රීඩා සාහිත්‍යධරයකු වශයෙන් ඔබෙන් සිදුවූ සේවය ගැන කතාකරමු?

මේ වන විට මම පොත් දහයක් ජනගත කර තිබෙනවා. මගේ මුල්ම කෘතිය තමයි ‘ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රීකට් අතීතය’. මගේ කෘති දහයෙන් වැඩිපුරම කතා කළේ ක්‍රිකට් ක්‍රීඩාව ගැනයි. ඊට අමතරව ඇට්ලැන්ටා ඔලිම්පික් උෙලළ ගැනත් මම කෘතියක් නිකුත් කළා. ඒ වගේ කෘති රාශියක් මම ලියා පළකර තිබෙනවා.

ඔබේ අලුත් කෘතියට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

ජනගත වූ දිනයේදීම ඒ සඳහා හොඳ ඉල්ලූමක් පැවතුණා. ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් දක්වන අතීත දත්තයන් තොරතුරු සොයා යන පාඨකයන් බොහෝ දෙනෙක් මේ පොත සම්බන්ධයෙන් හොඳ ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ වගේම මගේ ඇරැයුම පිළිගෙන එදින ප‍්‍රධාන අමුත්තා ලෙස පැමිණියේ ශිරන්ති රාජපක්ෂ මැතිනියයි. ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාත් විද්යුත් තාක්ෂණය ඔස්සේ මේ අවස්ථාවට එක්වුණා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ හා ක්‍රීඩා අමාත්‍යංශයේ සියලූම නිලධාරීන්ටත් මා මේ අවස්ථාවේ කෘතඥතා පූර්වකව සිහිපත් කරනවා.

සාහිත්‍යවේදියෙක්, වෙසෙසින් ක්‍රීඩා සාහිත්‍ය පෝෂණය කරන නිර්මාණ ශිල්පියෙක් වශයෙන් ඔබට අවසන් වශයෙන් යමක් පැවැසිය හැකියි?

ඔව්. මට මේ ලබාදුන් ඉඩ ගැන සතුටු වෙනවා. මට ක්‍රීඩා ඇමැතිතුමාගෙන් සමස්ත ක්‍රීඩා සාහිත්‍යකරුවන් වෙනුවෙන් ඉල්ලීමක් කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ තමයි අපේ රටේ අභාවයට යමින් පවත්න ක්‍රීඩා සාහිත්‍ය නඟා සිටුවීමට වැඩපිළිවෙළක් සකස් කරන්න කියන එක. ඒ වෙනුවෙන් අවම වශයෙන් අපේ ගත් කතුවරුන්ට රාජ්‍ය බැංකු මඟින් ණයක් ලබා ගන්න හැකි වැඩපිළිවෙළක් සකස් කරලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒවගේම සහන මිලට මුද්‍රණ කඩදාසි ලබා ගැනීමට සැලස්වීම මූලිකම අවශ්‍යතාවයක් වනවා. ඒ පිළිබඳව එතුමාගේ අවධානය යොමු කරවන්න මම කැමැතියි.

 

අතුල රංජිත් වේදමිස්ත්‍රිගේ

Comments