ඇඟිල්ලේ තරමට ඉදිමීම | Page 2 | සිළුමිණ

ඇඟිල්ලේ තරමට ඉදිමීම

 

ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න යැයි කියමනක් තිබේ. එයින් ගම්‍යමාන කරන අරුත තමන්ගේ ප්‍රමාණයට වඩා උදම් අනමින් කටයුතු කරන්නට යන්නන්ට ජීවිතයේ දී මුහුණ පාන්නට සිදුවන්නේ අර්බුදයන්ට ම බවය.

එය සැබෑවකි. සියලු ක්ෂේත්‍රයන් උදෙසා යථාවකි. අප පළමුව අප කවුරුන් ද යන්න ගැන අවබෝධ කර ගත යුතු ය. අපගේ වටප්‍රමාණය, අපගේ බල පරිමාණය තේරුම්ගත යුතු ය. බලයෙන් ඉදිමී සෙස්සන් පාලනය කරන්නට උත්සාහ කරමින් හෝ මමත්වය ප්‍රමුඛ කරමින් ක්‍රියා කිරීම කිසිසේත්ම යහපත් ප්‍රතිඵල උදාකරන්නේ නැත.

ඉන් නිමැවෙන්නේ ප්‍රතිවාදීන් කණ්ඩායම කි. ප්‍රතිවාදීන් යනු තමන්ගේ වගකීම්, තමන්ගේ අරමුණු කරා යන්නට ඇති ගමන ප්‍රමාද කරවන විරුද්ධවාදී බලවේගය. එවැනි බලවේගයන් ගොඩනගා, සම්පූර්ණ කළයුතු ඉලක්ක පසෙකලා ප්‍රතිවාදීන් හා සටන් වදිමින් සිටින්නට මාර්ගය තනාගන්නේ මනෝ රෝගීන් ය. එවැනි මනෝ රෝගීන් ඕනෑ තරම් අපට වර්තමාන සමාජය තුළ දැකිය හැකි ය.

කෙසේ නමුත් අප මෙම වැකියෙන් කියන්නට යන්නේ තමන්ගේ තරම නොදැන කටයුතු කළ සහ කරමින් සිටින පුද්ගලයන් දුටු විට උත්පාදනය වන හාස්‍ය සම්බන්ධව ය. එය එක්තරා ආකාරයකට මුහුණ සමඟ අමනාප වී නාසය කපා දැමීමකට සම කළ හැකිය. මට අවැසි දේ නොලැබෙන්නේ නම් මගේ සේවය ලබාදීමට නොහැකි යැයි ප්‍රකාශ නිකුත් කිරීම විසුළුවකි.

අපට එවැනි ඉල්ලීම් හෝ මතවාද ප්‍රකාශ කළ හැක්කේ අප උත්කෘෂ්ට පුද්ගලයන් වන්නේ නම් පමණකි. ක්‍රීඩාව පාර්ශ්වයෙන් සලකන කල්හි ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් අරවින්ද ද සිල්වාට එවැනි තීන්දුවකට එළැඹීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණේ ය. අර්ජුන රණතුංග, සනත් ජයසූරිය, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන් ට ද යම් තලයක එය සිදුකරන්නට හැකියාව තිබිණි. පසුකාලීනව රංගන හේරත්ට වුව එයට අවස්ථාව නොතිබුණා නොවේ. වෙනකක් තබා ලසිත් මාලිංගට ද කිසියම් බලපෑමක් කිරීමේ හැකියාවක් තිබුණේ යැයි පිළිගත හැකි ය.

ඒ වෙනයම් රහසිගත දිව මතුරක් නිසා නොව ඔවුන්ගේ ලෝක පූජිත භාවය හේතුවෙන්ම ය. එය මුවහත් කරගන්නා ලද දක්ෂතා මගින් ඔවුන් විසින්ම උපයා ගනු ලැබූ පෞරුෂයකි. එය තවත් ආකාරයකට කියන්නේ නම් එක්තරා ‘කැරිස්මාව’ කි. අප එසේ කීව ද වරක් අරවින්ද ද සිල්වාගේ ශාරීරික යෝග්‍යතාවය ගැන ප්‍රශ්නයක් මතුවීම හේතුවෙන් ඔහුට කණ්ඩායමේ දොරටු වැසුණේ ය. එයට එරෙහිව නැඟී සිටි අර්ජුන රණතුංග ප්‍රමුඛ ක්‍රීඩකයන් නොමැතිව නව නායකයකු යටතේ යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමක් සාජා හි සංචාරය කර වූයේ ය.

ලසිත් මාලිංගට ද ඇතැම් අවස්ථාවල පුහුණුකරු හා තේරුම් කමිටුව සමඟ සටන් කර කණ්ඩායමෙන් ඉවත සිටින්නට සිදුවූ අවස්ථා නැත්තේම නැත. එහිදී වඩාත් සැලකිල්ලට ලක්වුණේ තමන්ගේ පෞද්ගලික දක්ෂතාවයට වඩා කණ්ඩායමක් තුළ ගොනු කරනු ලබන දක්ෂතාව සම්බන්ධව පැණ නැගුණු ගැටළු ය.

සැබැවින් ම යමෙක් සැබෑ දක්ෂයකු වන්නේ ඔහුට කණ්ඩායමක් සමඟ වැඩ කරන්නට හැකිවන්නේ නම් පමණි. එසේ නොමැතිව හුදෙකලාව වැඩ කරන්නට හැකි වූ පමණින් ඔහු වැඩකරුවකු ලෙස නාමකරණය කරන්නට නොහැකි ය. එය එසේ වන්නේ අප වෘත්තීය වශයෙන් ගනුදෙනු කරන්නේ න්‍යෂ්ඨික පවුලක් තුළ නොව මහා සමාජයක වීමයි. කණ්ඩායම් ක්‍රීඩාවක් තුළ විශේෂයෙන් මෙම මහා සමාජය හා කටයුතු කිරීමේ ක්‍රමවේදය කුමක් ද යන්න සෑම පුද්ගලයකු ම දැන සිටිය යුතු ය. එසේ නොමැතිනම් සිදුවන්නේ අභාග්‍යයකි.

එම අභාග්‍ය එක්තරා ආකාරයකට වටු කුරුළු රංචුවට සිදුවූ දෙයට සමාන ය. එම කතාවේ පැවසෙන ආකාරයට මස් වැද්දා ගේ පළමු උත්සාහය අසාර්ථක වූයේ වටුකුරුල්ලන්ගේ එකමුතු භාවය හේතුවෙනි. ඔවුහු සාමූහිකව එක්ව කුරුල්ලන් හසු කරගත් දැල රැගෙන ඉගිල මස් වැද්දාගෙන් ගැලවී ගියෝ ය. එහෙත් දෙවැනි වර ඔවුනොවුන් කලහ කරගත් හෙයින් මස් වැද්දාට පහසුවෙන් සිය දඩයමේ අරමුණ ඉටුකර ගැනීමට හැකිවිණි. එවැන්නක් සිදුවූයේ ‘ඇඟිල්ලේ තරම දැන නොඉදිමුණු’ වටු කුරුල්ලන්ගේ එකමුතු භාවය නමැති ගුණය ගිලිහී යාම නිසා ය. මෑත කාලයේ කණ්ඩායම් ක්‍රීඩා තුළ අප දුටු පරාජයේ ප්‍රමුඛ සංඥාව මේ එකමුතු භාවයේ ගැටලුව ය. එකමුතු භාවය නැතිවී ගියේ ඇඟිල්ලේ තරම නොදැන ඉදිමෙන්නට ගිය ඇතැම් ක්‍රීඩකයන් කීපදෙනෙකු නිසාය.

එහෙයින් සියලු කණ්ඩායම් ක්‍රීඩා තුළ කටයුතු කරන්නන්ට පෙරකී වටු කුරුළු පාඩම උගෙන ඒ අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍යය. එසේම ඕනෑම විෂයක ඇඟිල්ලේ තරම දැන ඉදිමීමත් වැදගත්ය. එසේ නොවන තාක්කල් සිදුවන්නේ නොසිතන මොහොතක පුපුරා වැනසීමට සිදුවීම ය.

ඒ අතර අප තවත් දෙයක් මතක තබාගත යුතුය. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බංග්ලාදේශය සමඟ පල්ලෙකැලේ ලැබුණු ජයග්‍රාහී පල්ලම හේතුවෙන් උදම්වී සිටිනා බව අපි දනිමු. ඒ හේතුවෙන් නිර්මාණය වූ උදාරම් හැඟීම් හේතුවෙන් නව වීරයන් නිර්මාණයවී ඇති සමයක් ද ගෙවමින් සිටිමු. ඒ නව වීරයන් අතර පිතිකරුවන් හෝ පන්දු යවන්නන් එසේත් නැතහොත් ඒ දෙවර්ගයටම අයත්වන්නෝ සිටිති. එහෙත් එකී ක්‍රීඩකයන් වීරයන්ට ඇන්ඳවීම ක්‍රමානුකූලව සිදුකළ යුතු ය. අප එසේ කියන්නේ ඇතැම් නවක ක්‍රීඩකයන් තවමත් සිටින්නේ සිය ගමන ආරම්භ කරන්නට උත්සහ කරමිනි. ඉහළම තැනින් ඇරඹිය ද ඔවුනට තව බොහෝ දුරට යෑමට තිබේ. එහෙයින් ඔවුන්ගේ හිස ඉදිමෙන්නට දී අනැවශ්‍ය න්‍යාය පත්‍ර තුළ මෙන්ම අප දකින්නට කැමැති සිහින තුළ ඔවුන් සිරනොකිරීම අතිශය වැදගත් ය.

එය අපට කිවැ හැක්කේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්නට ධෛර්යය දීමක් වශයෙනි. එමඟින් කණ්ඩායමක්, ක්‍රීඩකයන් සමුච්ඡයක් එසේත් නැත හොත් ආයතනයක් හෝ රටක් වශයෙන් පමණක් නොව ලෝකයක් ලෙසද විපුල ප්‍රතිඵල නෙළා ගැනීමට පිළිවන. වඩා වැදගත් වන්නේ ‘ඉදිමිය යුතු ප්‍රමාණය තේරුම්ගෙන ඉදිමී’ ක්‍රියා කිරීම පමණය.

 

Comments