අසුරු සැණින් ලෝකය අතැඹුලක් කර සබඳතා ගොඩනඟන මිනිසා ප්‍රේමා | සිළුමිණ

අසුරු සැණින් ලෝකය අතැඹුලක් කර සබඳතා ගොඩනඟන මිනිසා ප්‍රේමා

PREMA pinnawala

මම විශ්ව විද්‍යාලයේ ලස්සනම කෙල්ල යාළු කර ගත්තා

බොක්සිං ගහලා පැය තිස් හයක් කෝමා වුණා

අවුරුදු 11 ක් පුරා මම මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රීඩා උපදේශකයෙක් ලෙසත් ක්‍රියා කළා.

බොත්තම් කීපයකින් ලෝකය සම්බන්ධ කර ගන්න මට පුළුවන් කියලා මාත් හිතනවා

‘ලෝකයේ තොරතුරු තාක්ෂණික විප්ලවයක් නිර්මාණය වද්දී ඒ තොරතුරු තාක්ෂණයට අභියෝග කළ හැකි ඊට අනුගත විය හැකි මිනිසුන් බිහිවන්නට විය. ඔහු තොරතුරු තාක්ෂණය වේගයෙන් ලෝකය තනියායයක් බවට පත්කරන්නට පෙරසිටම එකි ලෝකය තනියායක් සේ හඳුනා කටයුතු කළ අසමසම මිනිසෙක් විය. තවත් අතකින් පවසන්නේ නම් අප ඔහුට ගෝලීය සඹදතා අතැඹුලක් කරගත් කළ මිනිසකු යැයි කියන්නට පසුබට නොවන්නේ එහෙයිනිග මේ ඒ මිනිසා ගැන ඔහුගේම හඬය.’

හැටේ දශකයේ පොරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු දඟම කොල්ලා වගේම යුනිවසිටියේ රැග් කණ්ඩායමේ නායකයා වුණෙත් මමයි. ඒ නිසාම මට එහි සිටි ලස්සනම කෙල්ල යාළු කර ගන්න පුළුවන් වුණා.’ වර්තමාන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ප්‍රේමා පින්නවල මහතා ක්‍රීඩා වෙත පැවසීය.

‘අපේ කොල්ලො හුඟ දෙනෙක් ඇයව යාළු කර ගන්න උත්සාහ කළා. ඒ වුණත් මටත් ඇගේ හිත දිනාගන්න පුළුවන් වුණේ අවුරුදු දෙකක් ගියාට පස්සෙයි. අවසානයේ මම විවාහ වුණෙත් ඇය එක්කමයි. මගේ මේ ආපු ගමනට පූර්ණ ශක්තියක් ලබා දුන්නෙත් ‘ජයනි චන්ද්‍රලතා පින්නවල’ කියන ඇයම තමයි. ඈ පාදපරිචාරිකාවක් වෙන්නේ ඒ නිසයි. හුඟක් වෙලාවට මම ඇඳුම ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් ඇය මගේ ඇඳුම් පැලඳුම් සම්බන්ධව අදටත් ගොඩාක් සැලකිලිමත් වෙනවා.’ ඔහු පැවැසුවේය.

‘ඉස්සර ඉඳලම මම ලස්සන ගෑනු ළමයින්ට හරි කැමැතියි. දවසක් මම බොක්සිං තරගයකට සහභාගි වෙලා ඉඳිද්දි වට දෙකක දී තරගය දිනාගෙන ආවා. තුන් වැනි වටයේ දී තරගය නරඹමින් සිටි අපේ විශ්ව විද්‍යාලයේ ම කෙල්ලෝ ටිකක් මට සහයෝගයට අත්පුඩි ගසමින් කෑ ගහන්න පටන් ගත්තා. මමත් ඉතින් ඒ දිහා බලන්න ගිහින් මට එල්ල කළ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම නිසා ඇද වැටී තිබෙනවා. කොහොම හරි පැය 36 ක් සිහි නැතිව ගිහින්. හැමෝම හිතලා තියෙන්නේ මම මැරිලා කියලා. යුනිවසිටියේ කොල්ලෝ මගේ අවසන් කටයුතු වෙනුවෙන් මුදලුත් එකතු කරල තියෙනවා.

කොහොම හරි මගේ ඒ සිදුවීමෙන් පස්සේ විශ්ව විද්‍යාලවල බොක්සිං ක්‍රීඩාව නැවැත්වීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පියවර ගැනීම ඉතිහාස ගත වුණා.

මම විශ්ව විද්‍යාලයේ දී ක්‍රීඩාව, දේශපාලනය, නාට්‍ය හා ගායනය කළා. ඇත්තම කියනවා නම් නොකරපු දෙයක් නැහැ. සිංහබාහු නාට්‍යයේ මගේ නෝනත් රඟ පෑවා. එදා ඇයත් සමඟ මාත් ඇගේ අත්වැල් බැඳගෙන එම නාට්‍යයේ රඟපෑවා. ඊට පසුව තමයි අපි අතර ආදරය හොඳටම දලු ලෑවේ. මගේ හොඳම ගුරුවරයා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතායි.

මගේ පාසල ශ්‍රී ජයවර්ධනෙපුර විද්‍යාලය. මෙරට තිබුණු පැරැණිම ඉංග්‍රීසි විද්‍යාලය තමයි ඒක. එතැන ඉගෙන ගනිද්දිත් මම හරිම දඩබ්බරයි. කොල්ලෝ එක්ක පාසලෙන් හොරෙන් පැනලා ගිහින් හින්දි චිත්‍රපටි බලනවා. සමහර වෙලාවට ගෝරිත් දාගන්නවා. එක දවසක් ලේන් පැටියෙක් අරන් පන්ති කාමරයට ආවා කියලා චෝදනාවක් ආවා. ඒකට මට විදුහල්පතිතුමා දඬුවම් කළේ උදේ රැස්වීමේ දී සියලු සිසු, සිසුවියන් ඉදිරියේදී යි. කොයිතරම් දඩබ්බර වැඩ කළත් විභාග ජය ගෙන අන්තිමේදී සරසවි වරම් දිනා ගත්තා.

1983 ශ්‍රී ලංකා හොකී සංගමයේ උපසභාපති ලෙස කටයුතු කළේ මම. ඒ කාලේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රැකියාවකට සම්බන්ධ ව සිටියා. අවුරුදු 27 ක් එතන සේවය කළා. අන්තිමට සාමාන්‍යාධිකාරී වශයෙන් අවුරුදු 11 ක් කටයුතු කළා. සරසවි සමූහ ව්‍යාපාරයේ අවුරුදු 10 ක් සාමාන්‍යාධිකාරී ධුරය දැරුවා. මේ වන විට එහි අධිපති ප්‍රේමසිරි හා කළමනාකාර අධ්‍යක්ෂ චන්දු යන මහත්වරුන් විසින් එම ව්‍යාපාරයේ උපදේශක තනතුරක් මා හට ලබා දී තිබෙනවා.

‘ඇත්තෙන්ම මගේ ඇඟේ ක්‍රීඩාව හා දේශපාලනය සම්බන්ධයෙන් විශාල සබැඳියාවක් තිබෙනවා. අවුරුදු 11 ක් පුරා මම මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රීඩා උපදේශකයෙක් ලෙසත් ක්‍රියා කළා. එතුමා සමඟ මගේ හිතවත්කම්වලට දැන් දසක හතරක් සපිරෙන්නත් කිට්ටුයි.

මම මලල ක්‍රීඩාවට එකතු වුණේ 1969 වසරෙයි. ඒ ජනසතු සේවා මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකයෙක් හැටියට. ඊට පසුව මම 1987 උපසභාපති ලෙස පත්වුණා. 1998 මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ලෙස තරගකර ජයග්‍රහණය කළා. 2006 දී ත් උපසභාපති ලෙස තරග කළා. 2012 දී මම මලල ක්‍රීඩා නිලවරණයෙන් පරාජයට පත්වුණා. 2017 යළි මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ලෙස පත්වීම් ලබා මේ වනතෙක්ම ඒ තනතුරේ සිටිනවා.

මා මීටර් 400 සහ මීටර් 400 කඩුලු පැනීමේ, ගම හරහා දිවීමේ තරගවලින් වසර 14 ක් තිස්සේ විශ්ව විද්‍යාල වාර්තා තබා තිබුණා.’

“මට දැන් අවුරුදු 82 ක්. මටයි, ජයනිටයි දියණියන් දෙදෙනෙක් ඉන්නවා. වැඩිමහල් දියණිය තමයි පර්වනී පින්නවල. ඇය ප්‍රකට මනෝ වෛද්‍යවරියක්. මගේ ලොකු දුව ජීවත් වෙන්නේ ඕට්‍රේලියාවේ සිඩ්නි නගරයේ. පොඩි දුව කසුනි පින්නවල. ඇය නීතිඥවරියක්. දුවලා දෙන්නම ඉගෙන ගත්තේ කොළඹ විශාකා විද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයෙන්.

මගේ බිරියත්, දරුවනුත්, මිනිබිරියත් කොළඹ විශාකා විද්‍යාලයේ සිසුවියන්. අපේ පරම්පරා 3 ක් එම විද්‍යාලයෙන් ඉගෙනුම ලබා හා ලබමින් සිටිනවා.

“ක්‍රීඩා පරිපාලකයෙක් වශයෙන් කටයුතු කරන්න මට සුවිශාල සහයක් ලැබුණේ මගේ බිරියගෙනුයි. ඇයත් පාසලේ දක්ෂ ක්‍රීඩිකාවක්ව සිටියා. මාත් සමඟ ඔලිම්පික් තරග 9 ක් නරඹන්න සහභාගි වෙලා තිබෙනවා.

කාලයක් මම ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරය දැරුවා. ඒ යුගයේ ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති රෝයි ද සිල්වා සමඟ එක්ව මෙරට ක්‍රීඩා සංගම්වලට උපකාර කරන්න මට හැකිවුණා. අන්තර්ජාතික සම්බන්ධතා මත මෙරටට පුහුණුකරුවෝ ගෙනත් දුන්නා. රෝයි ද සිල්වා මට වඩා ප්‍රසිද්ධයි. එතුමාට එක කෝල් එකෙන් සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව තිබුණා. ඔලිම්පික් කමිටුව හරහා රෝයි හා මා එකතු වී 1985 දී ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්තියන් කෝ මෙරටට ගෙන්නුවා මට මතකයි.

2010 දී මෙරට පැවැති ඔලිම්පික් කමිටු 5වන සංවත්සරයට ඔමලල ක්‍රීඩා සභාපති ජනරාල් පාලිත ප්‍රනාන්දු හා මම මූලිකත්වයෙන් ප්‍රධාන අමුත්තා ලෙස ඩන්කන් වයිට්, ලෝක මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලැටී ජැක් මහතා මෙරටට ගෙන්නුවා. ඒ වගේම ලෝක රිටි පැනීමේ ශූර සහ ලෝක මලල ක්‍රීඩා සංගමයේ උපසභාපති යුක්රේන් ජාතික සර්කි බුක්කා මෙරටට ගෙන්වූවා.

මට රටවල් ගණනාවක පැවැති ක්‍රීඩා උලෙළ ගණනාවකට යන්න අවස්ථාව ලැබුණා. අන්තර්ජාතික සම්බන්ධතා අනුව කණ්ඩායමක් වශයෙන් කටයුතු කර ජයග්‍රහණ රැසක් ලබා තිබෙනවා. රෝයි ද සිල්වා, මනිලාල් ප්‍රනාන්දු, ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ගාමිණී මාරපන හිටපු ඔලිම්පික් සංගමයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ගේ සහය මේ සඳහා මට උපරිම වශයෙන් ලැබිලා තිබෙනවා.

වර්තමානයේ ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, ජී.ජී. යූ. සමන් කුමාර සමඟ මලල ක්‍රීඩා සංගමයක් ලෙස අපි ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරනවා.

සුනිල් ගුණවර්ධන (සභාපති), සුනිල් ජයවීර, රංජිත් වීරසේන, ඩර්වින් පෙරේරා, පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස් එක්ක දකුණු ආසියානු තරගාවලිය මෙරට සංවිධානය කරද්දී වැඩ කළා.

අන්තර්ජාතික වශයෙන් පැවැති සම්බන්ධතා නිසාම 2019 වසරේ දී මට ක්‍රීඩා භූෂණ ජනාධිපති සම්මානය හිමිවුණා.

මා වසර 8 ක් ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සේවය කර තිබෙනවා. එහිදී රටවල් 45 ක සේවය කළේ ආසියානු ඔලිම්පික් මාධ්‍ය කමිටුවේ ලේකම් ලෙසයි.

1987 අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ IOC කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් තමයි මුලින්ම පත්වුණේ. එම කමිටුව මහාද්වීප 5 න් සාමාජිකයන් දෙන්න දෙන්න පත් කළා. ආසියා මහාද්වීපයෙන් පත් කළේ මා සහ උෂේන් අල් මුෂලාන් මහතායි.

සිඩ්නි ඔලිම්පික් එනතුරු IOC කොමිසම සාමාජිකයන් වශයෙන් තේරුවේ දියුණු රටවලින් පමණයි. ඊට ඉස්සර IOC තීරණයක් ගත්තා නැඟීගෙන එන රටවල් 6 ක ට අවස්ථාවක් ලබාදීමට. 1997 කොමිෂන් වාර්තාවෙන් පසුව ඒ සහභාගිත්වය පළමුවෙන්ම හම්බ වුණේ මටයි.

1986 න් පසු අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මැනේජ්මන්ට් එකට සම්බන්ධ වී ක්‍රීඩා පරිපාලනය සම්බන්ධ දින 08 ක කාලයක් ලෙක්චරර් කෙනෙක් වශයෙන් කටයුතු කරන්න ලැබීම සම්බන්ධයෙන් ආඩම්බර වෙනවා.

1989 අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ආසියාවේ රටවල් 8 ක අන්තර්ජාතික ක්‍රීඩා පරිපාලනය සම්බන්ධව අධීක්ෂණයට ද මාව තෝරා ගත්තා. ඉන්දියාව, නේපාලය, ඉරානය වැනි රටවල අධීක්ෂණ කටයුතු වලින් එක ලෙක්චර් එකකට ඩොලර් 200 ක මුදලක් මට ලැබුණා. මගේ රැකියාව කරන ගමනුයි ලේකම් ලෙස එම මුදල ලැබුණේ.

මට පසුව ආචාර්ය බී.එල්.එච්. පෙරේරා, නලින් ද සිල්වා සහ ඔලිවියා ගමගේ ත් වසර 5 ක් දේශකයන් වශයෙන් කටයුතු කළා. මෙවරත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජනරාල් පාලිත ප්‍රනාන්දු හා ලේකම් ලෙස වයස අවුරුදු 82 ක් වන මාව පත්කර ගත්තේ මම අවංකව සේවය කරන නිසයි.

ජාත්‍යන්තර අසියානු මලල ක්‍රීඩා හිටපු සභාපති සහ වර්තමාන ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්ටියන් කෝ මහතා සමඟ ඇති පෞද්ගලික සම්බන්ධතා මා ලියමින් පවතින පොතේ ද සඳහන් කරනවා. ආසියා මලල ක්‍රීඩා සභාපති ඩහලන් අල් හමාන් හා ලේකම් මොරිස් නිකලස් සමඟ පැවැති වසර 38 ක ට කිට්ටු සම්බන්ධතාව මම දකින්නේ මට තියෙන වාසනාවක් ලෙසයි. ඒ ඕනැ දෙයක් හොඳින් කරන්න පුළුවන්කම.

මම දන්න හැටියට මනිලාල් ප්‍රනාන්දුල හේමසිරි ප්‍රනාන්දු වැනි පුද්ගලයන්ට වගේම තවමත් මගේ ටෙලිපෝනය ජාත්‍යන්තර සම්බන්ධතාවලට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.’ ඔහු නිරහංකාරව පැවසීය.

උදුලා පීරිස්

 

 

Comments