අවසන කොවිඩ් ගිනි දලු අයී.පී.එල්. පිටියෙනුත් මතුව එයි | Page 2 | සිළුමිණ

අවසන කොවිඩ් ගිනි දලු අයී.පී.එල්. පිටියෙනුත් මතුව එයි

 

ලොව ධනවත්ම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය අඟහරුවාදා අත්හිටුවීමට කටයුතු කළේ ය. ඒ මේ දිනවල මහා වසංගතයක් බවට පත්වෙමින් ඉන්දියාව තුළ පාලනයෙන් ගිලිහෙමින් ඇති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙනි.

කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන වරුන් චක්‍රවර්ති සහ සන්දීප් වොරියර් මෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු එල්. බාලාජි ද කොවිඩ් රෝගයට ගොදුරු වී ඇති බව සඳහන්ය. මේ අතර පිතිකරණ පුහුණුකරු ඕස්ට්-‍රේලියානු ක්‍රීඩක මයිකල් හසීට ද වෛරසය ආසාදනය වී ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අඟහරුවාදා සවස වාර්තා කළේය. ඔහුගෙන් ලබාගත් රුධිර සාම්පල නැවත පරීක්ෂා කරමින් සිටින බව ද එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේය. මේ දක්වා ආසාදිතයන් මිලියන 20 ක ට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, මරණ 222,000 කට වඩා වැඩි ප්‍රමාණය ඉක්මවයි. ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත විණි. කෙසේ නමුත් එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට අයි.සී.සී. ය අවධානය යොමුකර තිබිණි.

දුෂ්කර කාලය

අයි.පී.එල්. හි ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට ඉන්දියාවෙන් පිටවීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති රජීව් ශුක්ලා ප්‍රංශ පුවත් සේවයට පවසා තිබේ. “විදේශීය ක්‍රීඩකයන් ඔවුන්ගේ නිවෙස් වෙත ඇරලවන්න තමයි අපි උපරිම උත්සහය ගන්නේ.” ඔහු ප්‍රකාශ කර තිබුණේය. මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, තරග නිලධා-රීන් සහ විචාරකයින් ආපසු ගෙදර ගෙන ඒම සහතික කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ නිරතුරුව සම්බන්ධ වී සිටින බවයි.

කෙසේ නමුත් අවම වශයෙන් මැයි 15 වැනි දා දක්වා ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයන්ට රට තුළට ඇතුළුවීම තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය ගෙන ඇති පියවරෙන් ඔවුන් නිදහස් කිරීම අපේක්ෂා නොකරන බව පාලක මණ්ඩලය පවසා තිබුණේය. එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය කියා සිටියේ ඔවුන් ක්‍රීඩකයන් හා සහායක කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධ වී සිටින බවත් තම ක්‍රීඩකයන් සිය රට ගෙන ඒමට කටයුතු කරන බවත් ය.

අයි.පී.එල්. පිළිබඳ අදහස් දක්වමින් සිටින හිටපු එංගලන්ත පිතිකරු කෙවින් පීටර්සන්, 'මෙතරම් දුක් විඳීමට ආදරය කරන රටක් දැකීම හද කම්පා කරවන කරුණක්' යැයි පවසා තිබුණේ ය.

'ඔබ මෙම වසංගත තත්ත්වයෙන් මිදේවි. ඔබ මේ තත්ත්වයෙන් වඩා ශක්තිමත් වේවි. ඔබේ කරුණාව සහ ත්‍යාගශීලිභාවය මෙම අර්බුදය තුළ පවා කිසිවිටෙකත් අඩුවී නැහැ.' ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.

 

බන්ධුල ජයමාන්න

Comments