අඛණ්ඩව සය වැනි වතාවටත් ශූරතා කිරුළ රත්ගම දේවපතිරාජ බාලිකාවන්ට | සිළුමිණ

අඛණ්ඩව සය වැනි වතාවටත් ශූරතා කිරුළ රත්ගම දේවපතිරාජ බාලිකාවන්ට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ බාලිකා අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව 6 වැනි වරට මෙවරත් දිනා ගැනීමට සචිනි නිසංසලාගේ නායකත්වයෙන් යුත් රත්ගම දේවපතිරාජ විද්‍යාලය පසුගියදා සමත්විය.

කණ්ඩායම් 20 ක සහභාගීත්වය ඇතිව පළමු වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වුණු මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩාංගණයේ දී ත්, අවසන් පූර්ව තරග සහ අවසන් තරගය කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී ත් පැවැත්විණි.

අවසන් පූර්ව වටයේ දී නුගේගොඩ අනුලා විද්‍යාලය පැරද වූ රත්ගම දේවපතිරාජ විද්‍යාල අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය පරදවමිනි.

පෙරදින ඇති වූ වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයේ පැවැති ස්වභාවය අනුව තරගය එක් පිලකට පන්දුවාර 14 ක ට සීමා කෙරිණි.

දේවපතිරාජ බාලිකාවියෝ අවසන් තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 14 තුළ දී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 88 ක් රැස් කළහ. දේවපතිරාජ පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පිළිතුරු ඉනිම දියත් කළ වාද්දුව මැදි විදුහල් බාලිකාවියන්ට නියමිත පන්දුවාර 14 තුළ දී කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 76 ක් පමණි. ඒ අනුව දේවපතිරාජ බාලිකාවියන්ට ලකුණු 12 ක ජයක් හිමි විය.

පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 17ක් රැස් කළ, එමෙන්ම පන්දුවෙන් ද දස්කම් දක්වමින් ප්‍රතිවාදී කඩුලු 2 ක් දවාලූ ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කරනු ලබන කවීෂා දිල්හාරි අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීය.

තරගයේ ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා, සංගමයේ උප සභාපතිනි ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි හේමා ජයවර්ධන, බැට්ස්මන්.කොම් කළමනාකාර අධ්‍යක්ෂ කුමාර් ගම්හේවා, බාලිකා තරගාවලි ලේකම් චම්පිකා වීරතුංග යන මහත්ම-මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

 

ඉෂානි යද්දෙහි

Comments