කොවිඩ් මාරු­තයේ සති­යක සමා­ලෝ­ච­නය | සිළුමිණ

කොවිඩ් මාරු­තයේ සති­යක සමා­ලෝ­ච­නය

ලෝකයම ග්‍රහණයට ගෙන සිටින අදෘශ්‍යමාන සතුරා වන කොවිඩ් 19 ගෝලීය වසංගතය මෙම සති අන්තය වන විට ලොව පුරා මිලියන 155ක් ආසාදිතයන් බවට පත්කොට මිලියන 3.24කට මරණය උරුම කර දී ඇත. මේ වන විට වසංගතයට ගොදුරු වී තිබෙන රටවල් අතරින් වැඩිම බලපෑම සහිත ඇමෙරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 32.6ක් වන අතර ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 21.1කි.

ඒ අතරින් ඉකුත් 5 වැනිදා අසල්වැසි ඉන්දියාවේ පැය 24ක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව ලෙස 4,12,618ක් සහ මරණ 3,982ක් වාර්තා විය. ඉන්දියාව තුළ කොවිඩ් ආසාදිතයන් ඉහළ යෑමට හේතුව B.1.617 නම් ද්විත්ව විකෘති කොරෝනා වයිරස් ප්‍රභේදය බව එරට විශේෂඥයෝ පවසති. මේ අතර දිනක් තුළ මෙරටින් හඳුනාගත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ද එදින වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1,939කි. ගතවූ සතිය උණුසුම් කළ කොවිඩ් 19 පිළිබඳ නවක තතු මෙසේය.

 

සැර කොවිඩ් ප්‍රභේද සොයා  තවදුරටත් පරීක්ෂණ

 

කොවිඩ් වයිසරසේ තවත් විකෘති ප්‍රභේද ඇත්දැයි සෙවීමට කොවිඩ් ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පල 90ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පැවසීය. බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බී-117 විකෘති වයිරසයේ ප්‍රභේදයේ සහ ලංකාවේ පැතිර තිබූ සාමාන්‍ය වයිරසයේ විකෘතිතා ලක්ෂණ පවතින්නේ දැයි හඳුනා හඳුනා ගැනීම මෙම පරීක්ෂණයේ මූලික අරමුණ බව හෙතෙම සඳහන් කළේය.

 

රෝහල්වල ඇඳන් ධාරිතාව තවත් ඉහළට

 

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට අලුතෙන් ඇඳන් 10,000ක් වෙන් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය. එමෙන්ම කොවිඩ් රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකක ඇඳන් 104ක් වෙන් කර ඇති බවත් තවත් ඇඳන් 138ක් වෙන් කිරීමට සූදානම් කර ඇති බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

මේ අතර කොරෝනා රෝගීන් සඳහා වෙන්කර ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල් සියල්ලම පිරි ගොස් ඇති නිසා අක්මීමණ රුහුණු විද්‍යා පීඨයේ සහ බුස්ස නාවික හමුදා කඳවුරේ ඇඳන් 500කින් යුත් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන ඇත. ඊට අමතරව ගම්පහ වැරැල්ලවත්තේ ප්‍රදේශයේ තවත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම නාවික හමුදාව විසින් පසුගියදා ආරම්භ කළේය. එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ ඇඳන් 2,000ක පහසුකම් සැලසෙන අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට කොළඹ ජාතික රෝහලේ වාට්ටු 3ක් වෙන්කර වෙන්කර ඇත. නැඟෙනහිර පළාතේ සියලුම ආයුර්වේද රෝහල් ද වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කර ඇති බව නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පැවැසුවාය. ඒ අනුව එම පළාතේ ආයුර්වේද රෝහල්වල ඇඳන් 283ක් කොවිඩ් රෝගීන් සඳහා අලුතින් එක්වේ.

ලේ දෙන්න එන්නැයි ලේ බැංකුව ඉල්ලයි

 

වසංගත තත්ත්වය සමඟ රුධිරය දන්දීමේ වැඩසටහන් අවලංගු වීම නිසා රුධිර හිඟයක් මතුව ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවය පවසයි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව රුධිර බැංකු තුළදී රුධිරය දන් දීම සඳහා කැමති අය සිටී නම්, දිවයිනේ ප්‍රධාන රෝහල් සහ රුධිර මධ්‍යස්ථානවලට ගොස් රුධිරය ලබාදෙන ලෙස එම සේවය ඉල්ලා සිටී. nbts.health වෙබ් අඩවිය හරහා පහසු වේලාවක් සහ ලියාපදිංචිය ලබාගෙන රුධිරය පරිත්‍යාග කළ හැකි අතර වැඩිදුර තොරතුරු 011 5332153 හෝ 011 2369931 - 4 දුරකථන අංකවලින් ලබාගත හැකිය.

 

 

රට පුරා හුදෙකලා ප්‍රදේශ තවත් ඉහළට...

 

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඉකුත් සති අන්තය වන විට කුරුණෑගල, කළුතර, ගම්පහ, ත්‍රිකුණාමලය, මාතලේ, අම්පාර සහ මොනරාගල,පොළොන්නරුව සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 9කට අයත් ග්‍රාම නිලධාරි වසම් 32ක් සහ පොලිස් බල ප්‍රදේශ 9ක් හුදෙකලා කර තිබුණි. මෙම සති අන්තය වන විට දිස්ත්‍රික්ක 13කට අයත් ග්‍රාම නිලධාරී වසම් 112ක් සහ පොලිස් බල ප්‍රදේශ 10ක් හුදෙකලා කර තිබේ.

ඒ අනුව ඉකුත් 30 වැනිදා කළුතර දිස්ත්‍රික්කයේ බොල්ලුන්න, ඉඟුරුදලුව, මිදලන,මෝරපිටිය,පැළෑද, හැඩිගල්ල,මෝරපිටිය, තීනියාවල,වලල්ලාවිට දකුණ, මාකලන්දාව, බෝතලාව,කටුයකැලේ වැල්මීගොඩ, පහළ හවෙස්ස, මිරිස්වත්ත සහ පැලවත්ත නැඟෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර පොලිස් බලප්‍රදේශයේ සරුබිම ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කරනු ලැබිණි. ඉකුත් 1 වැනිදා හුදෙකලා කරනු ලැබුවේ පිළියන්දල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය , අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර, කලවාන ප්‍රදේශයේ හපුගොඩ යන ග්‍රාම නිලධාරී වසම් ය. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් සහ පාණදුර දකුණ ප්‍රදේශයේ වෑකඩ උතුර, කිරිබේරිය සහ පාලමුල්ල නැඟෙනහිර සහ නුවරඑළියේ නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම ද පසුව හුදෙකලා කරනු ලැබිණි. ඉකුත් 3 වැනිදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ග්‍රාම නිලධාරි වසම, කළුතර දිස්ත්‍රික්කයේ පිංවත්ත, නාරම්පිටිය හා පිංවත්ත බටහිර යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කරනු ලැබීය. එදිනම බණ්ඩාරගම නැඟෙනහිර, උග්ගල්ල ග්‍රාම නිලධාරි වසම් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ තිස්ස වීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසමත් වත්තල පොලිස් බලප්‍රදේශයේ අල්විස් වත්ත ග්‍රාම නිලධාරි වසමත් හුදෙකලා කරනු ලැබිණි.ඊට පසුදින කොළඹ දිස්ත්‍රික්කයේ විල්ලෝරාවත්ත, කළුතර බෝම්ඹුවල,රත්නපුර ගුඟුල්විටිය, රක්වාන පොතුපිටිය උතුර,කලවාන හපුගොඩ, ගම්පහ දිස්ත්‍රික්කයේ ඇල්දෙණිය පල්ලිය පටුමඟ සහ රණවිරු ධර්මසිරි මාවත, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉන්ජස්ටිර් සහ ෆෝඩයිස් වත්ත ග්‍රාම සේවා වසම්ද හුදෙකලා කරනු ලැබීය. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පමුණුව, හොන්නන්තර, දැල්තර, ගම්පහ දිස්ත්‍රික්කයේ කුට්ටිවිල, රත්නපුර දිස්ත්‍රික්කයේ පල්ලේගම, උඩගම, නව නගරය, වලල්ගොඩ, සුදුගල , පනාමුර, රත්ගම,වව්නියාව දිස්ත්‍රික්කයේ කුරුක්කල්පුතුකුලම්,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුභාත්‍රා ලංකා මාවත, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පනන්ගම්මන යන ග්‍රාමසේවා වසම් හුදෙකලා කෙරුණි.

සිකුරාදා පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇල්දෙනිය නැඟෙනහිර, සූරියපාලුව දකුණ සහ උතුර, පහළ කරගහමුණ උතුර සහ ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම් සහ කොළඹ දිස්ත්‍රික්කයේ

හල්පිට, කැස්බෑව නැඟෙනහිර, මාකන්දර බටහිර, නිවුන්ගම සහ පොල්හේන ග්‍රාම නිලධාරී වසම් සහ කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර සහ යටියන බටහිර ග්‍රාම නිලධාරී වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරිණි. එතෙක් හුදෙකලා කර තිබූ කළුතර දිස්ත්‍රික්කයේ ඉඟුරුදළුව, මීගහතැන්න, පැලවත්ත නැඟෙනහිර, මිරිස්වත්ත සහ පහළ හේවෙස්ස ග්‍රාම නිලධාරි වසම් සිකුරාදා පෙරවරුවේ හුදෙකලා බවින් නිදහස් කරනු ලැබිණි.

 

නව කොවිඩ් ප්‍රභේදය ගැබිනි මවුවරුන්ට මාරාන්තිකයි

 

මෙරටින් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවක් කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් ඉකුත් 4 වැනිදා මියගිය අතර එසේ මිය ගියේ රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි. මේ වන විට කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් 400 දෙනකු රට පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. රට පුරා පැතිරී යන කොවිඩ් නව ප්‍රභේදයෙන් කුඩා දරුවන් සහ ගැබිනි මවුවරුන් විශේෂයෙන් ආරක්‍ෂා විය යුතු බව වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. රට පුරා රෝහල්වල කොවිඩ් වයිරසය ආසාදනය වූ දරුවන් අතර වයස මාසයත්, මාස 6ත් අතර දරුවන් ද සිටින බව වාර්තා වේ.

ගැබිනි කාන්තාවන්ට පළමු සති 28න් පසු කොවිඩ් ආසාදනය වීම බරපතළ තත්ත්වයක් බව කාසල් වීදියේ කාන්තා රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරොල්ගේ අදහසයි. එසේ පළමු සති 28දී වයිරස ආසාදිත කාන්තාවන්ගෙන් සියයට 80කට පමණ කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන බවත් ආසාදිත බව හඳුනා ගත හැක්කේ PCR පරීක්ෂණයකින් පමණක් දෙවැනි සති 28දී ආසාදිත වුවහොත් සංකූලතා වැඩිවිය හැකි බවත් හෙතෙම පැවසීය. එබැවින් සැක සහිත රෝග ලක්ෂණ පෙන්වන ගැබිනි මවුවරු කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.

 

 

එන්නත් ගැන අලුත් බලාපොරොත්තු

කොවිඩ් වයිරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ කොවිඩ් මර්දන එන්නත් කෙරෙහි ලොව පුරාම ජනතාව අපේක්ෂා දල්වාගෙන සිටිති. ගෝලීය දත්ත වාර්තා අනුව මේ වන විට කුමන හෝ කොවිඩ් මර්දන එන්නතකින් සම්පූර්ණ මාත්‍රාවම ලබාගෙන ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 3.6ක් පමණි. කුමන හෝ එන්නතකින් එක් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති ජනගහනයේ ප්‍රතිශතය සියයට 7.8කි.

එවැනි පසුබිමක් තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයන් 9,28,107ක් ලබාගෙන ඇති අතර මේ වන විට එහි දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 1,74,800කි. ඊට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව මෙරට සේවය කරන චීන වැසියන් 2,430කට ලබාදී ඇත.

මේ අතර කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව එක එන්නත් වර්ගයකින් ලබාදී දෙවැනි මාත්‍රාව වෙනත් එන්නත් වර්ගයකින් ලබාදීමට හැකියාව ඇත්දැයි සෙවීමට මේ දිනවල පරීක්ෂණ පැවැත්වෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර පැවසීය. එසේ ලබා දිය හැකි යැයි පරීක්ෂණවලදී තහවුරු වුවහොත් වෙනත් එන්නතක් ගෙනැවිත් දෙවැන මාත්‍රාව ලෙස ලබාදීමට හැකියාව ඇති බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් අවශ්‍ය වන බවත් එය සපයා ගැනීම සඳහා විවිධ රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතේ මාත්‍රා ලක්ෂ 130ක් මෙම වසරේදී මෙරටට ලබාදීමට අදාළ නිෂ්පාදන සමාගම එකඟතාව පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය. ඉන් පළමු එන්නත් මාත්‍රා 15,000ක් ඉකුත් 5 වැනිදා මෙරටට ගෙන්වනු ලැබූ අතර එම එන්නත්කරණ වැඩසටහන පසුගියදා ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආරම්භ විය.

මේ වන විට 669 කට එම එන්නත ලබා දී ඇත.

 

ඔක්සිජන් දැනට ප්‍රමාණවත්

 

රෝහල්වල දැනට පවතින ඔක්සිජන් ධාරිතාව ටොන් අසූවක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය. ඒ අනුව ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර 4,000ක් මිලදී ගැනීමට ඇණවුම් කර ඇති බවත් ඉන් 400ක් දැනට ලැබී ඇති බව ද ඇය සඳහන් කළාය. එමෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි ඔක්සිජන් අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් හයිෆ්ලො ඔක්සිජන් යන්ත්‍ර 150ක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අතර බයි පැක් යන්ත්‍ර 350ක් ද වේ. මේ අතර ඔක්සිජන් සිලින්ඩර් 7,500ක් මේ වන විට සමස්ත රට පුරා භාවිතයට ගනිමින් තිබෙන බවත් හදිසි අවස්ථාවක භාවිතයට කාර්මික ඔක්සිජන් සිලින්ඩර් 500 ක් සැපයුම්කරුවන් සතුව ඇති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පැවසීය. ඇණවුම් කර ඇති අතිරේක ඔක්සිජන් සිලින්ඩර් 395ක් ලබන සතියේ ලැබෙන බවත් තවත් සිලින්ඩර් 1,000ක් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත් වාර්තා වේ.

 

කොවිඩ් මඬින වෑයම් දැඩි වේ

 

ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටට ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය. මෙරට ධීවර ප‍්‍රජාව ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර ප්‍රජාවත් සමඟ ගැඹුරු මුහුදේදී සම්බන්ධවීමේ ඇති ප්‍රවණතාවක් මතුව ඇති බවත් මේ හේතුවෙන් මෙරට තුළට ඉන්දියාවේ පවතින කොරෝනා ප්‍රභේදය බෝවීමේ වැඩි ඉඩකඩක් මතුව ඇති බවත් හෙතෙම පැවසීය. ඒ අනුව එම අවදානම වැළැක්වීමට රජය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ක්‍රියාමාර්ග කිහිපයක්ම ගනු ලැබිණි. සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම ඉකුත් 6 වැනිදා සිට තහනම් කරනු ලැබුණි. වෙනත් රටවල පුද්ගලයන් මෙරටදී නිරෝධායනයට ලක් කළ බව පැවසෙන මධ්‍යස්ථාන අත්හිටුවීමට ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් උපදෙස් දී ඇත. එමෙන්ම නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම මැඩ පැවැත්වීමට නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක සහිත පුද්ගලයන් 86 දෙනකු සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවෙන් නැවත හරවා යැවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළේය.

අන්තර්ජාලයේ පළවන බෙහෙත් එපා

 

කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමට හැකි බව කියමින් අන්තර්ජාලයේ පළවන ඖෂධ වට්ටෝරු අත්හදාබැලීමෙන් වළකින ලෙස දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. කොවිඩ් වයිරස ව්‍යාප්තිය ඉහළ යෑමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ විවිධ බෙහෙත් වට්ටෝරු සංසරණය වෙමින් පවතින බවත් එවැනි ආගන්තුක වට්ටෝරු අත්හදා බැලීම තුළින් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බව එම අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර අවධාරණය කළාය. වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිත කළ හැකි ප්‍රතිශක්තිය වර්ධනය වන ඖෂධ වර්ග හා ප්‍රතිකර්ම වේ නම් ඒ ගැන ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව, පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු සහ ප්‍රජා සෞඛ්‍ය ආයුර්වේද නිලධාරීන් මඟින් ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව ද ලේකම්වරිය සඳහන් කළාය.

වසංගතය අතරෙත්   ජනාධිපති කාර්යාලය අඛණ්ඩව වැඩ

 

උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයට කැඳවන සේවක සංඛ්‍යාව සීමා කර තිබුණද මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව එම කාර්යාලය පැවසීය.

වසංගතය පාලනය පිණිස පනවා ඇති සීමා නිසා ජනාධිපති කාර්යාලයට පැමිණීමට මහජනතාවට ඇති අපහසුව සැලකිල්ලට ගෙන දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල යන සන්නිවේදන මාර්ග ඔස්සේ තම ඉල්ලීම් දැනුම් දීමට අවස්ථාව සලසා ඇත.

ඒ අනුව ඉදිරි දෙසතියක කාලයේදී, ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමඟ පහත සඳහන් දුරකථන, ෆැක්ස් අංක ඔස්සේ සම්බන්ධ විය හැකිය. ජනාධිපති මහජන සම්බන්ධතා අංශයේ 0114354550, 0112354550 දුරකථන අංක, 0112348855 ෆැක්ස් අංකය සහ [email protected] යන විද්‍යුත් තැපෑල, ඔම්බුඩ්ස්මන් කාර්යාලයේ 0112338073 දුරකථන අංකය සහ [email protected]

විද්‍යුත් තැපෑල, ජනාධිපති අරමුදලේ 0112354354

දුරකථන අංකය, 0112331243යන ෆැක්ස් අංකය සහ

[email protected] විද්‍යුත් තැපෑල ඔස්සේත්

ජනතාවට තම සේවා ලබාගත හැකිය.

 

ඡායා­රූප -  විමල් කරු­ණා­ති­ලක/ සුදත් මල­වීර/ රුක්මල් ගමගේ.

 

Comments