විවි­ධ­ත්ව­යට ගරු කළොත් ලෝකය ලස්සන වේවි | සිළුමිණ

විවි­ධ­ත්ව­යට ගරු කළොත් ලෝකය ලස්සන වේවි

 

 

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම කියන්නේ අපේ ජනප්‍රිය සංගීත සම්ප්‍රදායේ එක්තරා යුගයක සංකේතයක්. නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ එවක සන්ෆ්ලවර්ස් ගොඩනගපු අතිශය නිර්මාණශීලී තරුණ පිරිස දශක තුනකට එපිට සිටි මේ රටේ යෞවනයන්ට ගෙනා මිහිර ඉතාම විචිත්‍ර එකක්. එළිමන් සංගීත සංදර්ශන සංස්කෘතියේ උත්කර්ෂය සන්ෆ්ලවර්ස් විසින් සනිටුහන් කර තිබුණා.

නීල් ලා එදා බිහි කළේ සංගීත සම්ප්‍රදායක්. එහි විචක්ෂණබව කරන විචාර වෙනම අරන් පැත්තකින් තැබූ විට නීල් වර්ණකුලසූරිය කියන්නෙ ඒ වකවානුවෙදි වෙනස් විදිහට හිතපු නිර්මාණශීලී තරුණයෙක්. ඒ නිර්මාණශීලි තරුණයා අද වියපත් පැසුණු මිනිසෙක්. එහෙත් තවමත් හදවතින් තරුණ ඒ සදාතනික යෞවනයා සොයා රසඳුනේ අපි ගියෙ ඔහු සමඟ රසවත් පිළිසඳරක අපේක්ෂාවෙන්.

සුපුරුදු සිනාව, ආගන්තුක බවින් තොර කතාව... කෙටි සාද කතාවකින් අනතුරුව යළිත් ඉපදුණු සන්ෆ්ලවර්ස් කණ්ඩායමෙන් අප සංවාදය ආරම්භ කළා. “සන්ෆ­්ලවර්ස් යළි අලුත් වෙලා නේද?“ නීල් කතාවට ප්‍රවේශ වුණා.

“ සන්ෆ­්ලවර් තවමත් අලුත් සංගීත කණ්ඩායමක්. ඒ අලුත් වෙනස අපි රූපවාහිනී නාළිකා කිහිපයකින් එළිදැක්වූවා.හොඳ ප්‍රතිචාර ලැබුණා. ලෝකයම සුවපත් වෙන නුදුරු අනාගතයක අපි මුලින්ම රසිකයන් අතරට එන්න සූදානමින් ඉන්නවා.“

“කොහොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර.“ නීල් සිනාවෙන්ම පිළිතුරු දුන්නා.

“ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය පොඩ්ඩක්වත් අඩු නැහැ. අපි රසිකයන්ට වඩාත්ම සමීප සංගීත මාදිලියක්. මොකද එළිමහන් සංගීත ප්‍රසංගවලදී ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ අපි සමීපයේ සිටයි. එය අපට ගොඩාක් දැනෙනවා. “

සන්ෆ්ලවර් ජනප්‍රිය සන්නාමයක් බවට පත්වෙන්න ප්‍රධාන වශයෙන් බලපෑ හේතු කාරණා විමසීම සරල දෙයක් නොවෙයි. ඒ පිළිබඳ නීල් ගේ අදහස කුමක් විය හැකි ද?

“සන්ෆ්ලවර්ස් බිහිවෙන්නේ 1983 දි. දශක තුනකට ආසන්න අතීතයක් පහුකරන් අපි ඇවිත්. නෙල්සන් වාස්, අතුල අදිකාරි, අර්නි පීරිස්, ලූෂන් අලහකෝන්, අයිවෝ ඩි මෙල්, ක්‍රිස්ටෝපර් ලියනගේ කියන මාත් එක්ක හිටපු මගේ යාළුවෝ හත් දෙනකුගෙන් තමයි මේ සංගීත කණ්ඩායම අපි ආරම්භ කළේ. අපිට අවශ්‍ය වුණේ දැනෙන යමක් රසිකයන් සමඟ බෙදාගන්න. අපි එය කළා. අපේ සංගීත කණ්ඩායමේ හිටපු සහෝදරවරු ගොඩක් දක්ෂ අය. ඔවුන් කණ්ඩායම වෙනුවෙන් උපරිමය කළා.“

“පසුකාලීනව සංගීත කණ්ඩායමත් කාලානුරූපීව වෙනස් වුණා. යම් යම් පෞද්ගලික කාරණා මත කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිදු වුණත් ඒ වෙනස්වීම් සමඟම අපේ කණ්ඩායම ඉදිරියටම ආවා. ඒ ජනප්‍රියත්වය කණ්ඩායමක් විදිහට අපට අදත් රඳවාගන්න හැකි වී තිබෙනවා."

80 දශකය වගේම 90 දශකත් සංගීතයේ විතරක් නොවෙයි, තාක්ෂණයේ, චින්තනයේ, මෙන්ම සමස්ත සමාජ ධාරාවේම පරිවර්තන අවධියක්. මේ යුගය පසු කර එන සෑම පුද්ගලයකුටම විශේෂ මතක තිබෙනවා. යුගයක මුද්‍රාවක් වුණු සංගීත කණ්ඩායමක් මෙහෙයවපු නිර්මාණ ශිල්පියකුට මේ වකවානුවේ ලැබුණු අත්දැකීම අති විශේෂයි. ඒ වකවානුව ගැන නීල් අපත් සමඟ අදහස් බෙදා ගත්තා.

" කැසට් පට හා සී ඩී පට බිහි වෙන්නේ මේ වකවානුව තුළ. ගොඩක් ගායක ගායිකාවන් නිර්මාණ එළි දක්වපු කාලයක්. සංගීත ක්ෂේත්‍රයේ පිබිදීමක් තිබුණා. ඒ යුගය වෙනකොට ලංකාව පුරාම රසික පිරිසක් හිටියා. අපිට වගේම සමකාලීන සංගීත කණ්ඩායම්වලට ඉතා හොඳ රසික ප්‍රතිචාරයක් තිබුණා. ඒ දවස්වල අපි මාසෙකට දවස් විස්සක් විසිපහක් එළිමහන් සංගීත ප්‍රසංගවල කළා. ඒ තරම්ම ජව සම්පන්නව වැඩ කරපු කාලයක්."

“ අපි සංගීත ක්ෂේත්‍රයට එන මුල්කාලයේ රාත්‍රී 7 ට වගේ සංගීත සංදර්ශනය ආරම්භ කරන්නේ. එය අවසන් වෙන්නේ රාත්‍රී 12 වගේ . රූපවාහිනිය ආපු කාලේ ටෙලිනාට්‍ය සහ ඇතැම් වැඩසටහන් නරඹන්න රසික පිරිස් එකතු වුණා. ඒ නිසා සංගීත ප්‍රසංග පටන් ගන්න වෙලා රාත්‍රී 10:00 වගේ පහු කළා. සමහරවිට 10:30 හෝ 10. 45ට වගේ පටන් ගත්ත ප්‍රසංගය පසුදා පහන් වන තුරු පැවැත්වෙනවා. සමහර එළිමහන් ප්‍රසංග පාන්දර පහ,හය වනතුරුත් පැවැත්වුණා. ගායක ගායිකාවන්ට හොඳ අවස්ථා නිර්මාණය වෙලා තිබුණා.“

“නමුත් සංගීත කණ්ඩායමක් විදිහට අපට එය විශාල වෙහෙසක්. නමුත් රසිකයන් ගතකරන මානසික මට්ටම ගැන අපට අවබෝධයක් තිබුණා. දවසකට හරි මිනිසුන් සතුටින් තියන්න අවශ්‍යයි යන හැඟීම අපට තිබුණා. මිනිසුන්ගේ ආතතිය ඉන් නැති වුණා. “නීල් කතා කළේ අපටත් සිහිනයක් සේ මතක අතීතයක් ගැන. ඒ කාලයේ ඒ ප්‍රසංග අත්දැකීම් විඳපු යෞවනයන් බොහොම දෙනෙක් අද වියපත් පැසුණු මිනිසුන්.

අනූව දශකයෙ මුල් භාගයේ සිට ප්‍රබුද්ධ ගීත කලාවට එල්ල වුණු බලවත්ම පහර ලෙස සැලකුවේ සන්ෆ්ලවර්ස් ඇති කළ නව කැසට් සම්ප්‍රදායක්. ගුණදාස කපුගේ, ටී.එම්. ජයරත්න, වැනි ශිල්පීන්ගේ සුභාවිත යැයි සම්මත ගීත සන්ෆ­්ලවර්ස් තමන්ගෙ රිද්මයට ප්‍රතිනිර්මාණය කළා. බලවත් වවේචන විරෝධ මැද්දේ ඉතා විශාල වශයෙන් රසිකයන් මේ ගීත අහන්න ගත්තා. කවදාවත් කපුගේ ගේ සින්දුවක් අහපු නැති වින්දන තලයක මිනිස්සු කපුගේව අහන්න ගත්තා. ඒ අතීත මතක නීල් ආවර්ජණය කළේ මෙහෙම.

“රසිකයන් තුළ විවිධත්වයක් පවතිනවා. ඒ විවිධත්වයට ගරු කරනවා නම් තමයි ලෝකය ලස්සන වෙන්නේ. කෙනකුගේ රසිකත්වය විඳ දරාගන්න තවත් කෙනකුට පුළුවන් වෙන්න ඕන. යම් යම් විචාර විවේචන මැදහත්ව දරාගෙන අපි මේ ගමන ආවා. මම විශ්වාස කරන දෙයක් තිබෙනවා. වෙනසක් මිනිස්සු බලාපොරොත්තු වෙනවා. වෙනස තුළ සාකච්ඡාවක් ඇති වෙනවා. ඒ හරහා තමයි බොහෝ අලුත් දේවල් ලෝකයට නිර්මාණය වෙන්නේ. අප යම් අත්හදා බැලීමක් කළා. එය හොඳද නැද්ද කියලා ආපහු හැරී බලනකොට වැටහේවි."

අප අවසාන වශයෙන් නීල්ව විමසුවා. “දැන් සන්ෆ්ලවර්ස් සරසන යෞවනයන් බොහොම දෙනෙක් නීල් සන්ෆ්ලවර්ස් ආරම්භ කරන අවධියෙ ඉපදිලාවත් නෑ. ඒත් ඒ තරුණයො ඇවිත් දැන් සන්ෆ්ලවර්ස් අලුත් කරනවා. මේ මොහොත ඔබ දකින්නෙ කොහොම ද?“

ඒක හරිම ලස්සන අත්දැකීමක්. ලෝකෙ පුරාම අපි දකින ප්‍රවණතාවක් තමයි පරණ දේවල් පරිහරණය කරන්න දක්වන ආශාව. පැරණි ගීත අලුතින් නිර්මාණය කරනවා. 70, 80, 90,දශකයේ ගීත අලුත් මොඩලයකට නිර්මාණය කරන්න ලෝකයම තරුණ පරපුර සහ සංගීත සංරචකයන් උත්සාහ කරනවා. අපි එදා කපුගේලා එක්ක බැණුම් අහගෙන කළ, අපි දැකපු වෙනස ඔවුන් අද දකිනවා. ඒ නිසා තරුණයන් සමඟ වැඩ කරන එක අපිට හරි පහසුයි.

මේක සංක්‍රාන්ති කාලයක්. සාමූහිකව වැඩ කරන්න එළියට බහින්න බෑ. ඒත් අපි ජීවිත කාලය පුරාම ගත කරපු අය. අපේ සංගීත නිර්මාණ විශාල ප්‍රමාණයක සංචිතයක් අප සතුව තිබෙනවා. ඒ සියල්ල එකතු කරලා මේ දවස් වල youtube නාළිකාවක් නිර්මාණය කරන්න කටයුතු කරමින් ඉන්නවා. අපි හැමදාම රසිකයන් අතර හිටියා. ඔවුන් අපි සමඟ හැමදාම ඉන්න බව මට විශ්වාසයි.

 

Comments