රතු ලී කබා­නාවේ හැබැ­හින් දුටු සුර­ඟන සිහි­නය | සිළුමිණ

රතු ලී කබා­නාවේ හැබැ­හින් දුටු සුර­ඟන සිහි­නය

 ටානියා මෝසස්

[email protected]

 

මොහොතකට පෙර රන්වනින් සැදි හිරු පොද රූරා වැටුණු නිල් පැහැ අහස්කුස අළු පැහැති වලා කැටියෙන් වැසී ගොස්ය. සිඟිති මිහිදුම් කෑළි රැලි නඟමින් හමා බසිමින් ඇත. ඒ වලා කැටිති අතරින් පෙරී එන වැහි පොද ළදලු පත් සිප ගනිමිනි. කුටියෙහි කවුළු දොරින් එපිට දිලිසෙන අඳුරු කොළ පැහැති තුරුපෙළ විටෙක සිලි සිලියේ සැලෙයි.

 

සොබා දහමේ රිද්මය තුළ ගිලී බවුන් වඩනු රිසි නම් මේ ඒ වෙනුවෙන්ම කැප කළ අසපුවක් යැයි සිතමි.මා හිඳින්නේ පරිසරයේ තුහින නැඟෙන සිහිලස දරාගනු සඳහාම මුළුමනින්ම ලීයකින් ලීයක් පුරුද්දා කළ දැවමය කුටියකය. ගැඹුරු ආනතියකින් පොළොව වෙතම විහිදෙමින් ත්‍රිකෝණාකාර හැඩයක් ගන්වන එහි පියස්සේ අඩක් ද දැවයෙන් නිමවා ඇත එහි මුඳුන මුළුමනින් වීදුරුය. ලෑලි පුරුද්දා තනා ඇති දොර සුමට ලෙස විවර වේ. එය දොරක් ඇරගෙන කුටියක් තුළට පිවිසීමක් ම නොවේ. මොහොතකට පෙර ගෙවූ විකල් මුඪ ජීවිතය තියුණු සැතකින් ඡේදනය කර නිසල මියුරු ගැඹුරක තැන්පත් කලාක් බඳු අත්දැකීමකි.

ඝර්ම කලාපික රටක මිනිස්සුන්ට නුවරඑළිය යනුම සිහිනයක් බව කිවමනාය. නුවරඑළිය නගර පසුකර විත් ග්‍රෙගරිවැව ඉස්මත්තේ මාගස්තොට හන්දියට නුදුරුව පිහිටි මේ 'රෙඩ් වුඩ් කැබින්' ඒ සිහිනයේ අර්ථාන්විත ප්‍රකාශනයක් යැයි විශ්වාස කරමි. කුටියේ දොර විවරවත්ම පසෙකින් කුඩා පඩිපෙළකි. ඒ පියගැට මතින් විහිදෙන බිම බැටලුලොමින් කළ බුමුතුරුනෙන් වැසී ඇත. වම්පස වූ සයනයකි. ඊට ඉහළින් වූ අවකාශය පැරණි සාම්ප්‍රදායික බොහිමියානූ සැරසිල්ලෙන් හැඩ ගන්වා තිබේ.

කුටිය මැද ලී පටි ගසා තැනූ මේසයකි. ඉන් එපිටින් කුටිය උණුහුම් කරනා දැව උඳුනය. එතැන්න ඉහළට විහිදෙන ලී හිණිපෙළකි. ඒ හිණිපෙළ නැඟී විට දිස්වන පටු මතු මාලය කදිම සයනයකින් හා කුඩා හිස් අවකාශයකින් යුතුය. දැවමය පියස්සේ මුඳුන මුළුමනින්ම වීදුරු තලයකට ඉඩ දී තිබේ. පරිසරයට විවරවූවාක් සේ දැනෙන ඉදිරිපස වීදුරු පියස්ස හා බිත්ති අතර පහන්වන රැය අමතක කළ නොහෙන මනරම් සිහිනයකට නොදෙවෙනිය.

ඒ ශාන්තිය විඳිමින් විසල් පළිඟුමය බිත්තිය අතරින් මැවෙන චමත්කාරය නිරන්තර මියුරු සංවාදම මවන යශෝ, තිළිණි, ක්‍රිෂ්, අරුණි ගමන් සගයන් වචනයකින් තොරව අත් විඳිති.

මේ හාත්පස ප්‍රකට වන්නේ අපට ආගන්තුක එහෙත් අධ්‍යාත්මිකව නොදන්නා මානයක බැඳුණු හුරුපුරුදු පරිසරයකි. විශ්වයේ අශුභ ශක්තීන් විතැන් කරන බවට විශ්වාස කෙරෙන “ඩ්‍රීම් කැචර්“වැනි සැරසිලි එල්ලෙමින් තිබේ. ඒ සෑම සැරසිල්ලක්ම සම්ප්‍රදායක අව්‍යාජත්වය ආරක්ෂා කරමින් නිර්මාණය කළ බව පෙනේ.

විදුලිය නොසැපයෙන පරිසරයක තිබිය හැකි ලන්තෑරුම් එල්ලෙමින් ඇත. ඉටිපන්දම් දල්වන වැට පහන් තැනකය. මිල කළ නොහැකි පෞරාණික වටිනාකමක් සහිත සියවස් කීපයක් පැරණි ලාම්පුවක් පසෙක වේ. මධ්‍යතන යුරෝපයේ සියවස් ගණනකට එපිට මහා වනදහන් මැද බිහිවන දැවමය කුටි ගැන කුඩා කල ඇසූ සුරංගනා කතාවල අමතක නොවන මතක රූප ඇත්තියක් වෙමි. හිම පතනාධික දිනක මහා වන දහනක අතරමංවන දැරියක් එළි පොදක ලකුණකින් සොයා යන මායාකාරියන් විසූ කුටි ශූර සිත්තරුන් සිතුවමට නඟා තිබුණේ මේ ආකාරයටය. ඒ පෞරාණික හැඩතල සහිත කුටිය තුළ නිමවා ඇති සුඛොපභෝගී පරිසරය මොහොතකට අප ගොළුකරවයි. මෙවැනි කුටි දෙකක් මේ පරිසරයේ වේ. අප මේ සිටින්නේ 'රෙඩ් වුඩ් ෆැල්කන්' ලෙස නම් කළ කුටියේය. අනෙක 'රෙඩ් වුඩ් හෝලෝ' ය.

කලා කෘතියක් බඳු මේ කබානා නිර්මාණය වන්නේ තවමත් 29 හැවිරිදි විය පසුකරන යෞවනයකුගේ අතිනි. හේ වරලත් වාස්තු විද්‍යාඥයෙකි. සිවිල් ඉංජිනේරුවෙකි. නම ධනංජය උදාරය. ඔහුට අනුව මේ කබානා මධ්‍යන යුරෝපයේ චිරන්තන වාස්තු සම්ප්‍රදායක් සම්බන්ධව කළ ශාස්ත්‍රීය අධ්‍යයනයක ප්‍රතිඵලයකි. ඔහුගේ මේ කුටි නිර්මාණය පිළිබඳ කතාවද පරිසරය සේම රසවත්ය.

“මම මොරටුවෙ ආකිටෙක්චර් කෝස් එක කරන කාලේ කථිකාචාර්යවරයෙක් එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා මගෙ පන්ති තහනම් වුණා ටික කාලකෙට. ඉතින් ගෙදර ඉන්න ගමන් මගෙ පැවරුමකට ඕන කරන වාස්තු සැලැස්මක් කරන්න උත්සාහ කළා. 'රස්ටික් කැබින්' එකක් තමයි හිතුවෙ. යුරෝපයේ මේ වගේ දේශගුණික පරිසරයක තමයි මේ කැබින් හැදෙන්නෙ.“

“මේ වැඩේ කළේ මගෙ අධ්‍යාපන කටයුත්තටම විතරක් නෙමෙයි. මට විඳින්න. මේ සැලැස්ම මුළුමනින්ම හදලා එය ගොඩනඟන විදිහ ගැන ලොකු අධ්‍යයනයක් කළා. සියවස් ගාණකට කලින් යුරෝපයේ ඝන කැලෑ මැද්දෙ හැදුණු මේ ලොග් කැබින්වල විශේෂත්වය වුණේ කිසිම යකඩ ඇණයක් භාවිත නොකිරීම. කැබින් එක හදන්නේ ලීවල කට්ට කපලා පුරුද්දලා. නියම සැලසුමේ දී සිමෙන්ති ගාවන්නවත් බෑ. නමුත් එතැනදී මම මේ කැබින් හදන්න සිමෙන්ති ගල් බදාම සියයට දහයක් භාවිත කළේ ප්‍රායෝගික වෙන්න අවශ්‍ය නිසා. මට අවශ්‍ය වුණේ කැලේ ඇතුළේ හදන ලොග් කැබින් සංකල්පය එළියට ගෙනත් විඳින්න. මුලින්ම නිර්මාණය කළ 'රෙඩ් වුඩ් හොලෝ' කබානාව මුළුමනින්ම නිමවෙන්නේ රස්ටික් (රස්තා) සම්ප්‍රදායට අනුව. 'රෙඩ් වුඩ් ෆැලුකන්' කියන්නේ අලුතින් කළ වැඩක්. එය රස්තා සහ බොහිමියානූ සම්ප්‍රදායන්වල සම්මිශ්‍රණයක්. “

ඉතා ඉහළ ගිනි ආරක්ෂණ ක්‍රමවේදවලින් සුරක්ෂිත මේ කබානා තුළ විදුලිය ඇතත් ඒ සඳහා බල ‍ෙකරෙන්නේ නැත. දැව උඳුනකින් උණුසුම් වෙමින් ඉටිපන්දම් හෝ ලන්තෑරුම් දල්වා අප ගෙවන රැයක් මෙතෙක් අපේ ජීවිත තුළ අන්ධාකාරයේ තැබූ යමක් ආලෝකවත් කරනු අත් වින්ඳෙමි.

“මේ කුටි සංචාරකයන් සඳහා වෙන් වූයේ කෙසේද යන්න කතාව අතරතුර ධනංජයගෙන් විමසුවෙමි.

“ දවසක් ජර්මන් එම්බසිඩර්ගෙ වාහනය මේ ළඟ අනතුරකට ලක් වෙලා ඔහුට මේ කැබින් එකේ නවාතැන් දෙන්න සිද්ධ වුණා. එදා ඔහු මෙතැනට පුදුම විදිහට කැමති වුණා. ඔහු තමයි මට බලකළේ මෙතන හරියටම සැලසුම් කරලා ටුවරිසම්වලට යොදවන්න. " විදේශිකයන් අතර මෙන්ම දේශීය සංචාරකයන් අතරද දැන් රෙඩ්වුඩ් කබානා බෙහෙවින්ම ජනප්‍රිය ය.

මේ වනවිට රෙඩ්වුඩ් කුටි සම්මානිතය. වර්ෂ 2019 හොඳම නිර්මාණාත්මක වාස්තු විද්‍යාත්මක සැලසුමට හිමි සම්මානය දැරුවේ මේ කුටියය. 2021 සඳහාද ඒ සම්මානයට නිර්දේශ වී ඇත්තේය. අන්තර්ජාතික වෙබ් අඩවියක් විසින් තරු තුනකට නම් කළ රෙඩ් වුඩ් කබානාවලට ලංකාවේ කොතැනකවත් නැති නිර්මාණශීලි අංග ගළපා ගන්නට ධනංජයට හැකි වී තිබේ.

“මට අවශ්‍ය වුණා සංස්කෘතික මිශ්‍රණයක් කරන්න. ලී කබානාවක් එළිය එක්ක තියන සම්බන්ධය අඩුයි. ඒ පරිසරය සම්බන්ධ කරන්න තමයි ඉස්සරහ සම්පූර්ණ වීදුරුවක් යෙදුවේ. තමන්ට අවුළුවාගත හැකි දැව උඳුන ලංකාවෙ කිසිම කැබින් එකක නෑ. අවුට් ඩෝ බාත්රූම් එකේ හදපු හොට් බාත් ටබ් එකත් මේ තැනටම විශේෂිතයි. මේ ටබ් එකට වතුර දාලා දරවලින් අවශ්‍ය තරමට රත් කරගෙන බැහැලා ඉන්න පුළුවන්. “

සිරි පොද තවමත් එක සීරුවට ඇදහැලේ. ලීවලින් සැදුණු තරප්පු පෙළින් මිදුලට පිවිසෙමි. පහළ මල්වලින් පිරුණු උද්‍යානයේ අතරින් පතර සියවස් ගණනක් පැරණි බොන්සායි කළ කුරු ගස් ය. ඒ අතර ඇවිඳිමින් යමි.

සංචාරය යනු හුදු ගමන් නොවේ. ලැගුම්හලක් යනු රැයක් පහන්කර යන පියස්සක් නොවේ. රූරා වැටෙන සිරිපොදට ඉඩ දී දෑස පියා ගතිමි.

Comments