දෙනෙත් අඳ පුංචි ජීවන්තට ලොව දකින්නට ලැබුණු වරම | සිළුමිණ

දෙනෙත් අඳ පුංචි ජීවන්තට ලොව දකින්නට ලැබුණු වරම

ජීවන්ත පලුගොල්ලා ගමේදී තම දුක කියු අවස්ථාව

“පුතාගේ ඇස් පෑදුවාට අගමැති ආර්යාවට ගොඩක් පින්” 
- ජීවන්තගේ දෙමවුපියෝ

ම ජීවන්ත රත්නායක. ඉන්නේ පලුගොල්ලෑගම. මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. අම්මටයි තාත්තටයි අමාරුයි. අයියටත් සීනි හැදිලා හම්බන්තොට ඉස්පිරිතාලේ. මට ඇසක් ඕනෑ. මට ඇසක් දෙන්න. මට ඉගෙන ගන්න ඇසක් දෙන්න.”

මේ හොරොව්පොතාන ආසනයේ ගලෙන්බිඳුණුවැව පලුගොල්ලෑගම ගම්මානයේ දෑස් නොපෙනෙන දහතුන් හැවිරිදි ජීවන්ත රත්නායක 2017 දී පලුගොල්ලෑවේ පැවැති ග්‍රාමීය ප්‍රශ්න පිළිබඳ විශේෂ ජනතා හමුවකදී පැවසූ ආයාචනයකි.

ඔහුගේ පියා පලුගොල්ලෑගම පදිංචි ආර්.එම්.කේ.ඒ. සුගතපාලය. “අපිට හරි රක්ෂාවක් නැහැ. මේ මගේ තුන්වැනි දරුවා. එයාට උපතේ ඉදන්ම දෑස් පේන්නේ නැහැ. බ්රේල් ක්‍රමයට තමයි ඉගැන්නුවේ. අවුරුදු 6 – 7 ක් ඉස්කෝලේ ගියා. ඒ අතර ඇස් දෙකට විවිධ බේත් කළා‍. සුවයක් ලැබුණේ නැහැ.

ජීවන්ත රත්නායකගේ මව එස්. චන්ද්‍රාවතීය. ඇයටත් කිසිම රැකියාවක් නැත.

“අපිට කිසිම ජීවනෝපායක් නැහැ. සමෘද්ධියෙන් තමයි ජීවත්වෙන්නේ. පසුගිය දවස්වල රුපියල් 5000 බැගින් ලැබුණා තුන් සැරයක්.” චන්ද්‍රාවතී පවසන්නීය. මේ අතර 2017 දී ජීවන්ත රත්නායක නැඟූ ආයාචනය ධාවන සූර ඩිලන්ත මාලගමුව තම මුහුණු පොතට එක්කර ගෙන තිබිණි.

ගලෙන්බිදුණුවැව පලුගොල්ලෑගම ගම්මානයේ ජීවත්වන දෑස් නොපෙනෙන 13 වියැති ජීවන්ත රත්නායක දරුවා ඇසක් ඉල්ලා නගන හඬ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ නෙත ගැටෙන්නේ ධාවන සූර ඩිලන්ත මාලගමුවගේ මුහුණු පොත ඔස්සේ ය.

රෝහිත රාජපක්ෂ ඒ ගැන සිය මව, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ ද දැනුම්වත් කළේය. මෙසේ ඇසක් ඉල්ලා හඬ නඟන දරුවාගේ වීඩියෝ දර්ශනය ද දැකීමෙන් ආර්යාව ද සංවේදී වූවාය.

ඇසක් ඉල්ලන මෙම දරුවාට ලොව දැකීමට වාසනාව උදා කිරීමට ඇත්නම් කොතරම් හොඳදැයි කල්පනා කළ ශිරන්ති රාජපක්ෂ ආර්යාව ජීවන්ත රත්නායක දරුවා කොළඹට ගෙන්වා ගත්තාය. ඒ මෙරට සිටින දක්ෂතම මෙන්ම ප්‍රසිද්ධ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කිරීමේ අටියෙනි.

කොළඹ ඇස් රෝහලේදී හා නවලෝක රෝහලේදී මේ දරුවා පරීක්ෂණ ගණනාවකටම ලක් වන්නේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය මතය. එම පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඇසක් බද්ධ කිරීමකින් තොරව මේ දරුවාගේ එක් ඇසකට පෙනීම ලබාදීමට හැකියාව ඇති බව විශේෂඥ වෛද්‍යවරයා තීරණය කළේ ය. ඊට දීර්ඝකාලීනව ප්‍රතිකාර කළ යුතු බව විශේෂඥ වෛද්‍ය නිර්දේශය විය. ඒ අනුව වෛද්‍යවරු විටමින් හා ඖෂධ ලබා දුන්හ.

ඒ සියලු බර පැන දරන්නට අගමැති ආර්යාව තීරණය කළාය. එදා විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී මුණ ගැසුණු දෑස් නොපෙනෙන ජීවන්ත රත්නායක දරුවා සියලු පරීක්ෂණ හා ප්‍රතිකාරවලට යොමු කරමින්, අවස්ථා කිහිපයකදී කොළඹට ගෙන්වා ප්‍රතිකාර කිරීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ කටයුතු කළාය.

ඉන් මාස කීපයකට පසුව ජීවන්ත රත්නායක දරුවා පසුගියදා අරලියගහ මන්දිරයේදී ශිරන්ති රාජපක්ෂ ආර්යාව නැවත මුණගැසෙන්නේ සියයට 30 කට වඩා එක් ඇසක පෙනීමක් ඇතිවය. අද මේ දරුවා පොතපත කියවන්නට උත්සාහ දරමින්, රූපවාහිනිය නරඹමින්, ජංගම දුරකතනය හසුරුවමින් ලෝකය දකිමින් සිටියි.

ජීවන්තට කෙරෙන ප්‍රතිකාර තවමත් හමාර නැත. අදත් ඔහු කොළඹට එන්නේ වෛද්‍ය පරීක්ෂණයකට ලක්ව අවශ්‍ය ඖෂධ ලබාගන්නටය. ඒ පැමිණි ගමනේදී ඔහු අරලියගහ මන්දිරයට අත්වැලක් නොමැතිව පය තබන්නේ ඇසක් ඉල්ලා හඬ නැඟූ තමාට ආලෝකයක් ලබාදෙමින් ලෝකය දකින්නට අවස්ථාවක් ලබාදුන් ශිරන්ති රාජපක්ෂ ආර්යාව හමුවී දෙපා නැම ද ඇයට ස්තුතිය පුද කරන්නටය.

මේ කටයුතු සම්බන්ධීකරණය කරමින් ජීවන්ත රත්නායක හා ඔහුගේ පියාණන් වන සුගතපාල කොළඹට කැඳවාගෙන ආවේ කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිස් පරීක්ෂක චමිල රත්නායකය.

“පොලිසියේ මහත්වරු ඇවිල්ලා මාවයි මගේ තාත්තාවයි අගමැති නිල නිවසට පෙබරවාරි 25 වැනිදා එක්කාගෙන ගියා.

අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මගේ ඇස් නොපෙනීම පිළිබඳව විස්තර අහලා මාව නවලෝක රෝහලේ ලොකු අක්ෂි විශේෂඥ දොස්තර කෙනෙකු ගාවට යොමු කළා‍. ඊට පස්සේ මාව කොළඹ ඇස් රෝහලේ සති තුනක් හතරක් නවත්වාගෙන ප්‍රතිකාර කළා. එහිදී විටමින් වර්ග බේත් වර්ග නොඅඩුව ලබා දුන්නා. ඇස් බද්ධ නොකර එක් ඇසකට හෝ පෙනුම ලබාදෙන්න පුළුවන් වෙයි කියලා වෛද්‍යවරු පැවසුවා. අර විශේෂඥ වෛද්‍යවරයා සමඟ තවත් වෛද්‍යවරු කීපදෙනෙක් මට බෙහෙත් කළා.

ඒ බෙහෙත්වල ප්‍රතිඵලයක් වශයෙන් දැන් මගේ එක ඇසක් තරමක් දුරට පේනවා. පත්තරයක් පොතක් ළං කරලා කියවන්න පුළුවන්. රූපවාහිනිය හා ජංගම දුරකථනය බලන්න පුළුවන්. මගේ වැඩ ටික කාගෙවත් ආධාරයක් නැතිව මට කරගන්න පුළුවන්. මට පෙනුම ලබාදීම සඳහා පෞද්ගලිකව මා වෙත ආධාර අනුග්‍රහය හා කරුණාව දැක්වූ අගමැති ආර්යාවටත් මට බෙහෙත් කළ වෛද්‍යවරුන්ටත් ස්තුතිවන්ත වෙනවා.” ජීවන්ත රත්නායක පවසයි. තම දරුවාට මේ අන්දමින් පෙනුම ලබාදීම පිළිබඳව සිය සතුට පළකරන ජීවන්ත රත්නායකගේ පියාණන් වන සුගතපාල හා මව වන චන්ද්‍රාවතී මේ පිළිබඳව අගමැති ආර්යාවට, අගමැති පුත් රෝහිත රාජපක්ෂයන්ට හා අදාළ සියලු වෛද්‍යවරුන්ට සිය ස්තුතිය පළ කරති.

“පුතාගේ ඇස් පෑදුවාට ගොඩක් පින්” ඔව්හු පවසති.

Comments