ජාතික ශිෂ්‍යභට බළකායට වසර 140යි | සිළුමිණ

ජාතික ශිෂ්‍යභට බළකායට වසර 140යි

නුරුද්ධ පාදෙණිය කියූ සැණින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ ‍වෛද්‍ය ලෙස ඔහු හඳුනා ගැනීමට මුළු රටම සමත් වනු නොඅනුමානය. හැරී ජයවර්ධන යන නාමය සමඟ ක්ෂණිකව සිතට නැ‍ඟෙන්නේ ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. එහෙත් ඔවුන් දෙදෙනා අතීතයේ ශිෂ්‍ය භටයන් ලෙස සක්‍රීයව දායක වී සිටි බව නම් බොහෝ දෙනකු දන්නේ නැත. හැරී ජයවර්ධන කඳාන ද මැසනඩ් විදුහලේ (1958 – 1959) ඉගෙනුම ලැබූ කාලයේදී පාසල් ශිෂ්‍යභට බළකායට සම්බන්ධවී රෙජිමේන්තු සැරයන් මේජර් දක්වා තනතුරු දැරූ අයෙකි. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කුරුණෑගල මලියදේව විදුහලේ ඉගෙනුම ලබන අවදියේදී පාසල් ශිෂ්‍යභට කණ්ඩායමේ ක්‍රියාකාරී නිලධාරියෙකි. මෑත භාගයේ මුළු රටම කතා කළ සිරස ලක්ෂපති වැඩසටහන් ජයග්‍රාහිකාවක වූ ශුක්රා ද ගාල්ල සුදර්මා විද්‍යාලයේ ශිෂ්‍යභට බාලිකාවකි.

මීට අමතරව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, යුද හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා ඇතුළු ප්‍රමුඛ පෙළේ හමුදා නිලධාරීන්ගේ නායකත්වයට මූලික පදනම වැටී තිබෙන්නේ පාසල් ශිෂ්‍යභට බළකාය මඟිනි. මේ අනුව පාසල් ශිෂ්‍යභට බළකායට දීර්ඝ ඉතිහාසයක් ඇති බව පෙනී යයි.

ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යභට කණ්ඩායමක් ආරම්භ වන්නේ 1881 වර්ෂයේදීය. එය සිදුවූයේ එවකට කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කළ ජෝන් බී. කල්ගේ සංකල්පයකට අනුවය. “සරඹ කිරීමෙන් විනය සංවර්ධනය” යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා පාබල හමුදාව (ස්වේච්ඡා) යටතේ කොළඹ රාජකීය විද්‍යාලයේ තෝරාගත් සිසුන් පිරිසකගෙන් ආරම්භ කළ පාසල් ශිෂ්‍යභට බළකාය මේ වසරේ අප්‍රේල් 29 වැනි දින සමරනු ලැබුවේ 140 වැනි සංවත්සරයයි. 

ශ්‍රී ලංකා ශිෂ්‍යභට බළඇණියේ පළමු ශ්‍රී ලාංකික අණදෙන නිලධාරියා ලෙස කර්නල් ආර්.ජේ.සී. මෙන්ඩිස් පත්වූයේ ලංකාවට නිදහස ලැබීමෙන් අනතුරුවය. එනම් 1948 දී ය‍. ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය සේවය සඳහා ප්‍රථම වතාවට ශිෂ්‍යභට බළකායේ නිලධාරීන් අට දෙනකු සක්‍රීය සේවයට කැඳවූ අවස්ථාවක් ද ශිෂ්‍යභට බළඇණි ඉතිහාසයේ ලියැවී තිබේ. ඒ 1971 දී රට තුළ ඇතිවූ අයහපත් වාතාවරණය හේතුවෙන් අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි අවශ්‍යතාව සපුරාලීමට ය. ලංකා ශිෂ්‍යභට බළකාය (Ceylon Cadet Corps) ශ්‍රී ලංකා ශිෂ්‍ය භට බළකාය (Sri Lanka Cadet Corps) ලෙස පරිවර්තනය වූයේ 1972 දීය. 1981 වසරේදී ශ්‍රී ලංකා ශිෂ්‍යභට බළකාය සියවන (ශත සංවත්සරය) සංවත්සරය කොළඹදී පවත්වනු ලැබීය.

1985 අංක 40 දරන මිනිස්බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතට අනුව ශ්‍රී ලංකා ශිෂ්‍යභට බළකායට පොලිස් ශිෂ්‍යභට බළකාය එකතු කළේ 1985 දී ය. එම වසරේදීම දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම පාසල් කේන්ද්‍ර කර ගනිමින් කාන්තා ශිෂ්‍යභට ඛණ්ඩ ඇරඹීම ද සුවිශේෂී කඩඉමකි.

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළ සේනාව යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ශිෂ්‍යභට බළකාය ජාතික ශිෂ්‍යභට බළකාය නමින් ගැසට් කර ප්‍රකාශයට පත් කළේ 1988 අප්‍රේල් 29 වැනිදාය. ඒ, එවකට සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහභාගී වූ උත්සවයකදී ධජය ඔසවා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙනි. ඉන්පසුව එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ජෙනරාල් සිරිල් රණතුංග විසින් ජාතික ශිෂ්‍යභට බළකායට පුහුණු පාසලක් ආරම්භ කළේ 1990 දෙසැම්බර් 02 වැනිදාය. ඒ රන්ටැඹේ පිහිටි පුහුණු පාසලයි. ජාතික ශිෂ්‍යභට බළකායේ නිලධාරීන් 98 දෙනකු සහ නිලධාරිනියන් 25 දෙනකු සක්‍රීය සේවයට ප්‍රථම වතාවට කැඳවනු ලැබුවේ 1995 වර්ෂයේදීය. ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය, යුද හමුදා විද්‍යා පීඨය, කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය හා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත රාජකාරි සඳහා යොමු කරනු ලැබීය. ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය සතුව තිබූ කොහුවල ශ්‍රී ගුණාලංකාර විද්‍යාලය 2001 දී ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගැනීමෙන් පසු ජාතික ශිෂ්‍ය භට බළකා මූලස්ථානය දෙහිවල පාමංකඩ දුටුගැමුණු වීදියේ ස්ථාපිත කෙරිණි.

“ජාතික ශිෂ්‍යභට බළකායේ ප්‍රධාන අරමුණ වෙන්නේ හෙට දින නායකත්වය වෙනුවෙන් අද දවසේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විනයගරුක හා දක්ෂ තරුණ පරපුරක් ගොඩනැංවීමයි. චරිතවත්, චිත්ත ධෛර්යයෙන් යුක්ත, ක්‍රීඩාශීලී, ආත්ම විශ්වාසය, ස්වයං විනය, ප්‍රජා හැඟීම්, වික්‍රමාන්විත හැඟීම්, වගකීම් දැරීම හා සුහදශීලී බව යන ගුණාංග වර්ධනය කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකායේ පුහුණු පාඨමාලාවන් සැලසුම් කර තිබෙනවා. ජාතික මෙහෙවර සඳහා යෙදවිය හැකි, ඕනෑම සමාජීය පැවැත්මකට නායකත්වය දිය හැකි පිරිපුන් තරුණ පරපුරක් බිහිකිරීම ජාතික ශිෂ්‍යභට බළකායේ මෙහෙවර වශයෙන් දක්වන්න පුළුවන්. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව වෙතින් හා ශ්‍රී ලංකා පොලිසිය වෙතින් ලැබෙන නොමද සහයෝගය අගය කළ යුතුයි.” යනුවෙන් සඳහන් කළේ ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දරය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි දිවයින පුරා ජාතික ශිෂ්‍යභට බළකායේ බළඇණි 38 ක් ක්‍රියාත්මක වන අතර උතුරු නැගෙනහිර පාසල් ද ඇතුළුව ශිෂ්‍යභට ඛණ්ඩ 3,589 ක් ස්ථාපිත කර තිබේ. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩවලට අයත් ශිෂ්‍යභට බාලක බාලිකාවෝ 56,375 දෙනෙක් සිටිති. කනිෂ්ට ශිෂ්‍යභට ඛණ්ඩවලට අයත් බාලක බාලිකාවන්ගේ ගණන 27,025 කි. පෙරදිග හා අපරදිග තූර්ය වාදන කණ්ඩායම්වලට ශිෂ්‍යභට බාලක බාලිකාවන් 6,325 ක පිරිසක් අයත් වෙති‍. මේ අනුව 89,725 ක පමණ ශිෂ්‍යභට බාලක බාලිකාවන්ට පුහුණුවීම් සිදු කරනු ලැබේ. මේ සෑම බාලක ශිෂ්‍යභටයකුගේම සිහිනය වන්නේ ‘හර්මන් ලෝස්’ කුසලානය දිනා ගැනීමයි. සෑම බාලිකා ශිෂ්‍ය භටයකුගේම සිහිනය වන්නේ ද ‘ද සොයිසා’ කුසලානය දිනාගැනීමයි.

“වර්තමානයට හා අනාගතයට ගැළපෙන විදිහට දැනට තිබෙන පනත යාවත්කාලීන කිරීම සඳහා නව ජාතික ශිෂ්‍යභට පනතක් කෙටුම්පත් කිරීමටත් ඒ යටතේ නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමටත් සැලසුම් කර තිබෙනවා. දැනට තිබෙන එකම ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානය වන රන්ටැඹේ, ශිෂ්‍යභට ඇකඩමියක් ලෙස උසස් කිරීමට සැලසුම් කර තිබෙනවා. රන්ටැඹේ සම්බන්ධීකරණය කරමින් පළාත් මට්ටමින් පුහුණු මධ්‍යස්ථාන 9 ක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබෙනවා. ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට බඳවා ගැනීමේදී ශිෂ්‍යභටයන්ට ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ වගේ ම සාක් රටවල්වලට අයිති රටවල ආරාධනාවෙන් එම රටවල හමුදා උත්සව, ජනරජ උත්සව, නිදහස් දින උත්සව ශිෂ්‍යභට වැඩසටහන් සඳහා ශ්‍රී ලාංකික ශිෂ්‍යභට බාලක බාලිකාවන්ට සහභාගි වීම සඳහා අවස්ථාව හිමි කර දී ඒ මඟින් අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමට අවස්ථා සලසා දීමට පියවර ගෙන තිබෙනවා.” යනුවෙන් ක්‍රමෝපායන් හා සැලසුම් පිළිබඳ අදහස් දැක්වූයේ ජාතික ශිෂ්‍යභට බළකායේ බ්‍රිගේඩියර් පුහුණු තනතුර දරන කර්නල් ඒ.ඒ. ගාමිණී අබේසිංහ ය.

“මේ වනවිට පවතින කොරෝනා ව්‍යාප්තිය නිසා ජාතික ශිෂ්‍යභට පුහුණු කටයුතු තාවකාලිකව නවත්වලා තිබෙන්නේ. මෙම කාලය තුළ රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් වැඩි දියුණු කරලා නේවාසිකාගාර, සනීපාරක්ෂක කටයුතු වඩාත් පුළුල් කරලා වත්මන් සෞඛ්‍ය උපදෙස් හා පිළිවෙත් අනුව නවීකරණය කර තිබෙනවා. ඊට අමතරව නව පුහුණු නිර්දේශ හා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන් හා උපදේශකයන් වෙනුවෙන් පුහුණු සැසි පවත්වා ඔවුන් දැනුමෙනුත් හැකියාවෙනුත් බලගැන්වීමට කටයුතු කළා.” යනුවෙන් ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානය - රන්ටැඹේහී සේනා විධායක කර්නල් ආර්.එම්. ප්‍රේමතිලක, රන්ටැඹේ මධ්‍යස්ථානයේ සූදානම පිළිබඳ අදහස් දැක්වීය.

දේශයේ අනාගත නායකත්වය සඳහා ජීවගුණය සහිත, ඕනෑම අභියෝගයක් ජය ගැනීමට හැකියාව ඇති සමබර පෞරුෂයකින් යුතු පරපුරක් රටට දායාද කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකාය විසින් වසර 140 ක් මුළුල්ලේ සිදුකරන මෙහෙවර පැසසුම් කළ යුතුය..


Comments