අක්මීමන කම්පා කළ සොයුරු ඝාතනය | සිළුමිණ

අක්මීමන කම්පා කළ සොයුරු ඝාතනය

වයර් බල්බ ගලවා තිබූ ස්ථානය

ඹලට මේ අවුරුද් විතරයි කන්න දෙන්නෙ. ඒ නිසා මේ අවුරුද්ද හොඳට කාපන්. අවුරුද්ද හොඳට කාල සතුටු වෙයන්...

- දඩබ්බර ගති පැවතුම්වලින් හෙබි අයෙක්
- කොළඹට පැන යෑමට සැලසුම් කරලා

මීට සති දෙකකට පමණ කලින් අක්මීමන පොලිස් බල ප්‍රෙද්ශයේ හියාරේ කදුරුගස්හේන පදිංචිව සිටි වලවෙදූරගේ දුශාන්ත කැලුම් විජේසිංහ(23) යන අයගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති වලෙවෙ දූරගේ අසිත ශෙහාන් විජේසිංහ යන අය දුරකතන ඇමතුමක් ලබා දී පැවසූවේ යැයි ඝාතනයට ලක් වූ දුශාන්ත කැළුම් විජේසිංහගේ පුංචි අම්මා රෝහිනී පවසයි. 

මෙම 29 දින යුගදිවියට පත්වන්නට ඇඳුමි පැලඳුම් ඇතුළු සියලු කටයුතු සූදානම් කර විවාහය පිළිබඳ දැඩි අපේක්ෂාවකින් දින ගනිමින් සිටි දුශාන්ත පසුගිය 26 දින රාත්‍රී 11-12 අතර කාලය තුළදී තම සහෝදරයාගේ තියුණු ආයුධ පහරකින් හිස දෙපළුවීමෙන් ජීවිතක්ෂයට පත් විය. මියගිය දුශාන්ත කැළුම් චාම් ගති පැවතුම් ඇති නිවුණු චරිතයකින් හෙබි තරුණයකු වූ අතර ප්‍රදේශයේ තරුණයන් හා සුහද මිත්‍රත්වයකින් කටයුතු කළ අයෙක්ද වේ. ඔහු පියාගේ විවාහ දෙකකින් යුත් පවුලේ ප්‍රථම බිරිඳගේ වැඩිමහල් දරුවා විය. ඔහු කලක් කොළඹ සේවයේ නියුක්තව සිට ඉන් ලැබෙන වැටුප මදි යැයි සිතා මීට මාස දෙකකට පමණ කලින් ඉන් ඉවත් වී නිවසට පැමිණ සිටියේය. පියාට හිමි ඉඩකඩම්වල කටයුතු කරමින් කාලය ගෙවූ දුශාන්ත කැළුම් විජේසිංහ පවුලේ කා සමඟත් සුහඳව කටයුතු කළේය.

දුෂාන්තගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති හසිත ශෙහාන් විජේසිංහ 19 වියේ පසු වූ දඩබ්බර ගති පැවතුම් වලින් හෙබි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ යෙදුණු අයෙකි. ඔහු යම් යම් නිපදවීම් කිරීමට කැමැත්තක් දැක්වූ අයෙක් වන අතර ඇඟලුම් කම්හලේ ලැබුණු වැටුපෙන් ඔහු ග්‍රයින්ඩරයක් හා ග්‍රිල් එකක් මිලදී ගෙන තිබිණි. දිනක් ඔහු නැති අතරතුරදී දුශාන්ත එම උපකරණ ඇඳක් සැකසීමට යොදා ගෙන තිබේ. එසේ වැඩ කරමින් සිටියදී හසිත එන බව දුටු පියා ඔහු දඩබ්බර ගති ඇති අයෙක් නිසාම විගසින් එම ආයුධ තිබූ බෑගයේ දමා තිබුණු තැනින්ම තැබුවේය. කෙසේ හෝ හසිතට සැක සිතී එම ආයුධ ගෙන පන ගන්වන්නට යාමේදී එම උපකරණ සියල්ල ක්‍රියා විරහිත වී ඇති බව දැනගන්නට විය. මේ නිසා දැඩි ආවේගයට පත් හසිත පරුෂ වචන කියමින් බැණ වදින්නට විය. ඒ වනවිට ඝාතනයට ලක්ව ඇති දුෂාන්ත නිවස ඉදිරිපිට නිවසේ යහළුවන් දෙදෙනකු සමඟ කතාබහ කරමින් සිටියදී පරුෂ වචන කියන තම සහෝදරයාගේ හඩ ඇසී නිවසට පැමිණ මොකද යකෝ කුණුහරුප කියන්නේ, මිනිස්සු අහගෙන ඉන්නවා යැයි සහෝදරයාට බැණ වැදුණේය. එම අවස්ථාවේදී දුශාන්ත තම සහෝදරයාට පහර කිහිපයක් ගසා ඇති අතර පහර කෑමෙන් හසිතගේ ශරීරයේ සීරීම් තුවාල ඇති වී ලේ බිඳක් ගලන්නට විය.

මෙම සිද්ධිය වලවෙදුරගේ දුෂාන්ත කැළුම් විජේසිංහගේ මරණයට හේතු පාදක වී ඇත. එම පහරකෑම සමඟ දැඩි කෝපයෙන් නිවසෙන් පිටව ගිය හසිත නිවසේ අය සමඟ කිසිදු සම්බන්ධයක් නොපවත්වා ඇත.ඔහු ඉන්නා තැනක් කිසිවෙක් නොදැන සිටි අතර හසිත ගැන සොයා බලනවාටද ඔහු දැඩි ලෙස විරුද්ධි වී ඇත.

පසුගිය 6 දින සියල්ල සැලසුම් කරගත් හසිත උඩුගම බස් රථයකින් පැමිණ ගොනාමුල්ල හන්දිය නැමති ස්ථානයෙන් බැස කැටැන්දොල අතුරවත්ත මාර්ගයේ පයින්ම කදුරුගස්හේනේ නිවස අසලට පැමිණ ඇත.එහිදී නිවස ආසන්නයේම අලුතින් තනවාගෙන යන නිවසේ කාමරයකට ඇතුළු වී කාමරයේ පියන් නොගැසූ ජනේලයෙන් නිවසේ සිදුවන සියල්ල පැයකට අධික කාලයක් නිරීක්ෂණය කරමින් එහි රැඳී සිටිමින් ඝාතනය සැලසුම් කර ඇත.

තම පිටේ එල්ලාගෙන පැමිණි බෑගයේ ඝාතනයට යොදාගත් පිහිය කොළයක ඔතා, බෑගය තුළට දමා පිහියේ මිට එළියට එන සේ පැමිණ ඇති අතර කාමරය තුළදී බෑගයෙන් පිහිය ඉවතට ගෙන ඝාතනයට සූදානම් වී ඇත. නිවෙසේ සියල්ලන්ම නිදියහනට යනතුරුත් ඉන් පසු විදුලි බල්බ නිවා නිවසේ සියලු දෙනාම තදින් නින්දට යන තුරුත් ඔහු ඉවසා බලා සිට ඇති අතර රාත්‍රී 11 පසු වී තිබේ.

නිවසේ පිටිපස දොර ශක්තිමත් නැති තාවකාලික දොරකි. ඒ බව දැනසිටි හසිත නිවසේ පිටිපස දොරින් ගෙට ඇතුළු වන්නට වගබලාගත් අතර ඊට කලින් පිටුපස ඇති සියලු විදුලි බල්බ ගලවා, සැකසහිත වයර් කපා ගොඩගසා දමන්නටද සූක්ෂම විය.

අනතුරුව පිටිපස දොර ඉතා සෙමින් ඇරගෙන සැලසුම් කරගත් පරිදි පිහියත් රැගෙන නිවස තුළට ඇතුළු විය. නිවෙසේ සිටින අය නිදන ආකාරය දැන සිටි ඔහු පිටිපස සිට හමුවන පළමු කාමරයේ ආච්චි අම්මා නිදන බවත්, දෙවන කාමරයේ දුෂාන්ත නිදාගන්නා බවත්, ඉදිරිපසම කාමරයේ පියා පුංචිඅම්මා හා ඇයගේ දරුවන් නිදා සිටින බව දන්නා නිසා වහා දුෂාන්ත නිදා සිටි කාමරයට ඇතුළු විය. වහාම එක් පිහි පහරකින්ම ඝාතනය කරන්නට සිතා ගත් ඔහු එක් වරම මාළු කැපීමට උපයෝගී කරගන්නා පිහියෙන් දුශාන්තගේ හිසට වැරෙන් පහරක් එල්ල කොට ඇත. එම පහරෙන් දුශාන්තගේ හිස මොළයද දෙපළු කොට නලලේ ඇහිබැම දෙසින් කපාගෙන ගොස් ඇත.

වහා නිවසින් පිහියත් ගෙන පිටතට පැමිණි හසිත ශෙහාන් කදුරුගස්හේන හියාරේ මාර්ගයේ ඉදිරියටම දුවගොස් කිලෝමීටරයක් පමණ දුරින් කැලෑබද ප්‍රදේශයේ දී මාර්ගයෙන් මඳක් උඩට නැඟ අත තිබූ ආයුධය කැලෑවට විසි කොට ඇත.

අනතුරුව එහි බොහෝ වේලාවක් රැඳී සිට මාර්ගයේ කිසිවෙක් නැති අවස්ථාවේදී පයින්ම හියාරේ මාර්ගයේ ගාල්ල දෙසට ගමන් කර ඇත.රාත්‍රියේ දී පියාට එළියට යන්නට අවශ්‍ය වී විදුලි පන්දමද රැගෙන එන්නට සූදානම් වන විට දුශාන්තගේ කාමරය දෙසින් සිහින් කෙඳිරිලි හඩක් ඇසී ඒ දෙස පියා විපරම්කර බැලීය. එහිදී පියාට දැකගැනීමට හැකි වූයේ ලේ සහිතව දුෂාන්ත ඇඳ මත වැටී සිටින අයුරුයි. තවත් ඇඳ ළඟට කිට්ටු වී දැඩි විමසිල්ලෙන් බලන විට දුශාන්තගේ හිස බරපතළ ලෙස තුවාල වී ලේ ගලන බව දකින්නට විය. වහා කෑ ගසමින් එළියට පැමිණ අවට ප්‍රදේශවාසීන් සමඟ දුශාන්තගේ හිසට සිදුවී ඇති බරපතළ තුවාල නිරීක්ෂණය කර 1990 ගිලන් රථයක් කැඳවාගෙන දුශාන්ත කරාපිටිය රෝහලට රැගෙන ගියේය. රෝහලේ දී දුශාන්තට මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අවස්ථාවේම ඔහු ජීවිතයෙන් සමුගෙන ඇත. 

සිද්ධිය පිළිබඳව අක්මීමන පොලීසියට පැමිණිලි කිරීමෙන් වහා ක්‍රියාත්මක වූ අක්මීමන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මදුරංග අරුමප්පෙරුම පොලිස් කණ්ඩායමක් සමඟ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂා කර ඝාතකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

එහිදී පැති කිහිපයක් ඔස්සේ ඝාතනයට සම්බන්ධ සැකකරු ගැන විමසිලිමත් වූ මදුරංග අරුමප්පෙරුම සිද්ධිය පිළිබඳ ආසන්න සිද්ධීන් දැනගැනීමෙන් අනතුරුව ඝාතනයට සම්බන්ධ පුද්ගලයා ගැන යම් හෝඩුවාවක් දැන ගැනීමට සමත් විය. ඒ අනුව හසිත ශෙහාන් පිළිබඳව සොයා බලන ලදි. ඔහුගේ දුරකතන අංකය රැගෙන පළමුව කතා කළත් එයට පිළිතුරු නොලැබුණි.

නැවත නැවත උත්සාහ කිරීමේ දි හසිත ශෙහාන් පිළිතුරු ලබා දුන් අතර ඔහු ගාල්ල ප්‍රදේශයේ සිටින බව දැනගැනීමත් සමඟ පොලිස් කන්ඩායමක් සමඟ ඔහුගේ හැඩ රුවද සොයාගෙන අත්අඩංගුවට ගන්නට ගියේය. එදිනම උදෑසන ගාල්ල නගරයේ දී අත්අඩංගුවට ගත් හසිත ශෙහාන්ගෙන් කට උත්තරයක් දී ඇත.එහිදී ඔහු කදුරුගස්හේනේ සිට හියාරේ මාර්ගය හරහා පැමිණ 14කී.මී.දුරක් අතුරු මාර්ග ඔස්සේ ප්‍රධාන මාර්ගය මගහරිමින් පයින්ම ගාල්ලට ගොස් ඇති බවත්, කොළඹට පැන යාමටත් සැලසුම්කර බවත් තොරතුරු හෙළි විය.ඒ අනුව ලබාගත් තවත් තොරතුරු මත ඝාතනයට භාවිත කළ තියුණු ආයුධය ඔහු විසින් විසිකර දැමූ ස්ථානයට රැගෙන විත් කැලෑබද ප්‍රදේශය පරීක්ෂා කිරීමේ දී සොයාගන්නා ලදි.

මේ වනවිට ඝාතකයා පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ ගේ උපදෙස් පරිදි අක්මීමන පොලිස් ස්ථානාධිපති පො.ප.මදුරංග අරුමප්පෙරුම ප්‍රධාන පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවයි.

සුනිල් ගමගේ, අක්මීමන විශේෂ

Comments