හොඳින් හිටි­යත් නර­කට හිටි­යත් කට කතා හැදෙ­නවා | සිළුමිණ

හොඳින් හිටි­යත් නර­කට හිටි­යත් කට කතා හැදෙ­නවා

 

 

සංජානා ගමආරච්චි නිළි හීනය හැබෑ කරගෙන රංගන ක්ෂේත්‍රයේ දුර ගමනක් යන්න හීන දකින රංගන ශිල්පිනියක්. අවුරුදු කුමරියක ලෙස අභිෂේක ලබා රංගනයට පය තිබ්බත් ඇගේ හීනයට යන ගමන පහසු වුණේ නැහැ. ඒ විවේචන, කට කතා, රංගන ගමනට බාධාවක් කර නොගෙන ඇගේ ගමන ගැන කිව්වේ මෙහෙම කතාවක්.

 

මේ දවස්වල ඔබේ කලා කටයුතු ගැන කියලම අපේ පිළිසඳර අරඹමු?

ටිකක් කාර්යබහුලයි. මේ දවස්වල මම සම්බන්ධ වන ‘දිවිතුරා‘ ටෙලි නිර්මාණය විකාශය වෙනවා. ‘ඉන්ටර්නැෂනල් 2‘ නාට්‍යය සහ මම සම්බන්ධ වුණ තවත් නාට්‍ය පහක් විතර ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා.

 

‘දිවිතුරා‘ නිර්මාණයෙන් ප්‍රේක්ෂකයන්ට සමීප වෙන්න සංජානා ට හැකි වුණාද ?

‘දිවිතුරා‘ නාට්‍ය විකාශය වෙන්න පටන්ගෙන තවම කෙටි කාලයයි. අපි ‘රියැලිටි ෂෝ‘ දැකලා තිබුණට ඒවායේ පිටුපස සිදුවීම් දැකලා නෑනේ. රියැලිටි වැඩසටහනක ඇතුළාන්ත කතාවක් තමයි මෙහි දිගහැරෙන්නේ. මට එහි කරන්න ලැබුණේ වෙනස්ම චරිතයක්.

 

සංජානාට ක්ෂේත්‍රයේ හොඳ ඉල්ලුමක් හැදිලා තියෙනවද?

මේ වෙනකොට ලැබෙන ආරාධනා නම් ජයයි. මම මුලින්ම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ 2019 දී. ඒ පුංචි කාලය ඇතුළත මට ලැබෙන මේ අවස්ථා ගැන තෘප්තිමත්.

 

ස්ථාවර වෙන්න අපහසු මෙවැනි ක්ෂේත්‍රයක ඔබේ ගමන හදාගන්න පහසු වුණාද?

මම අවුරුදු කුමරි තරගයකින් තමයි ක්ෂේත්‍රයට ආවේ. ඒ පසුබිම මගේ ගමනට තරමක පහසුවක් වුණා. නමුත් කට්ටක් කන්න වුණු අවස්ථා නැතුවම නෙමෙයි.

 

සංජානා නිර්මාණවල තෝරා ගැනීමක් කරනවද?

මට ගැළපෙන නිර්මාණ තමයි තෝරාගන්නේ. පිටපතේ ගුණාත්මක බව වගේම ඇඳුම් ගැන මම සැලකිලිමත් වෙනවා. මම හැදුණු පරිසරය එක්ක නිර්මාණවලට ඇඳුම් තෝරා ගන්න වෙන්නේ යම් සීමා ඇතිව. හෝට් ෂෝට්, බිකිනි වැනි ඇඳුම් අදින්න වෙන නිර්මාණවලට මම සම්බන්ධ වෙන්නේ නැහැ.

 

රංගන හීනයට මවුපිය ආශිර්වාදය ලැබුණද?

මුලිදී පවුලේ අය අකැමැති වෙද්දි මගේ තනි කැමැත්තටයි රංගන ක්ෂේත්‍රයට ආවේ. හැබැයි රූගත කිරීම්වලට යද්දි ගෙදර කා එක්ක හරි තමයි යන්නේ. ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ආවම පවුලේ අය මගේ ගමනට උපරිම සහාය දුන්නා.

 

ඇතැම් රංගන ශිල්පිනියන්ගේ අදහස නම් මේ ක්ෂේත්‍රය භයානක තැනක් බවයි. ඔබටත් එහෙම දැනිලා තියෙනවද?

නැහැ. සමහර අය මේ ක්ෂේත්‍රය භයානක තැනක් විදිහට නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ක්ෂේත්‍රය ගැන නොදන්න අයත් වැරැදි වැටහීම් ඇති කරගන්නවා. නිළියක් වෙන එක සුදුසු නෑ කිව්වොත් මම ඒකට විරුද්ධයි. මොකද රංගනය කියන්නේ ගෞරවාන්විත රැකියාවක්. මට නම් මේ වෙනකල් කිසිම බලපෑමක් ඇවිත් නැහැ. අපේ හැසිරීම් අනුවයි ඕනෑම තැනක ගැළපෙන නොගැළපෙන දේවල් සිද්ධ වෙන්නේ.

 

රංගනය ක්ෂේත්‍රය ඔබටත් මේක තාවකාලික නැවතුම්පළක් වෙයිද?

රංගන ශිල්පිනියක් වීමයි මට තිබුණ එකම හීනය. මම දැන් ඒ හීනය හැබෑ කරගත්තා. එහි උපරිම දුර යන්නයි මම කැමැතියි. ඒ දුර යන ගමන්ම මගේම ව්‍යාපාරයක් වෙනුවෙන් කාලය යොදවන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

සම්මානනීය වෙන්නත් සංජානා හීන දකිනවා ඇති නේද?

රංගන ශිල්පිනියක් වෙන හීනය හැබෑ කරගත්තට පස්සේ මට ඕනෑ වුණේ මං ආස කරපු ඒ දේ ගැන හදාරන්න. දැන් ඒ හැදෑරීම කරමිනුයි ඉන්නේ. මේ ගමනේදී කවදාහරි දවසක සම්මානයක් දිනා ගැනීමේ බලාපොරොත්තුවත් ඉෂ්ට කරගන්න ලැබේවී යැයි හිතනවා.

 

විවේචන හා කටකතාවලට මුහුණ දෙන්න

ඔබටත් පසුගිය කාලේ සිදු වුණා?

හොඳින් හිටියත් නරකට හිටියත් මේ ක්ෂේත්‍රයේ කට කතා හැදෙනවා. මම ඒවා ගැන වැඩිය හිතන්නෙ නැහැ. මගේ පවුලේ අය, යාළුවෝ මාත් එක්ක ඉන්න නිසා ඕන දේකට මුහුණ දෙන්න මට පුළුවන්. එ් හැමදේම සමබරව දරාගෙන මම මගේ ගමන යනවා.

 

සිනමාවට එන්න දුටු හීනයත් දැන් හැබෑ වුණා නේද?

මට සිනමා නිර්මාණ තුනකට ආරාධනා ලැබුණා. කොරෝනා තත්ත්වය නිසා ඒ නිර්මාණවල රූගත කිරීම් කල් ගියා. ඉදිරියේදී ඒ රූගත කිරීම් පටන් ගනියි.

 

සංජානාට වැඩිපුර ඉන්නේ පිරිමි යහළුවෝ කියලා ආරංචියි?

මම පොඩි කාලේ ඉඳන් හැදුණේ අයියලා එක්ක. ඒ නිසාම දෝ මට වැඩිපුර ඉන්නේ පිරිමි යාළුවෝ.

 

ඒ අතරේ විශේෂ කෙනෙක් නැද්ද ?

නැහැ. හැමෝම මට එක වගේයි.

 

ඒ කියන්නේ තවම ඔබ පෙම්වතියක් නෙවෙයි ?

තව ටික කාලක් මම පෙම්වතියක් නොවී ඉඳියි. මට වෙන අරමුණු තියෙනවා. දැනට ආදරය කියන්නේ මගේ ජීවිතේ ලොකු මාතෘකාවක් නෙමෙයි. ආදර යෝජනා එනවා. තරුණයන්ගේ ප්‍රතිචාරත් ලැබෙනවා. නමුත් මම ඒ එන යෝජනා ගැන හිතලා නැහැ.

Comments