පපුව කීරි­ගැ­හෙන පාළු­වක් දැනෙද්දී දහම ගැන හිතලා හිත හදා­ග­න්නවා | සිළුමිණ

පපුව කීරි­ගැ­හෙන පාළු­වක් දැනෙද්දී දහම ගැන හිතලා හිත හදා­ග­න්නවා

 

දහමට අනුව බැඳීම් මිනිසා සසරට ඇද බැඳ තබයි. සංසාර බන්ධන අතර ප්‍රබලම බන්ධනය මවුපියන් දරුවන් හා බැඳෙන බන්ධනය බවට විවාදයක් නොමැත. දරුවන්ට ඒ බැම්මෙන් යන්තමට හෝ මිදෙන්නට හැකි වුවද මවුපියන් සදාකල්හිම ඒ බැමි පපු කුහරයට තදින් බැඳගනිති. ඒ ආදරණීය බන්ධනයේ සටහනක් සමඟ අද 'හද බැඳි ගීයට' එක් වන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රී නිමල් පද්මකුමාර යි.

 

"ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක්. මම බුදුදහම අනුව ජීවිතය සකස් කරගන්නා කෙනෙක් වුණත් මේ භවය තුළදී සියලු බැඳීම් අවසන් කොට නිවන් අවබෝධ කරගන්න උත්සාහ දැරීම නිෂ්ඵල දෙයක් හැටියටයි දකින්නේ. ගිහි ජීවිතේ ඉන්න කෙනකුට ඒ ගමන දුෂ්කරයි. මටත් කියතෑකි මං සෝවාන් වෙලා, මං සකෘදාගාමි වෙලා කියලා. ඒවා පට්ටපල් බොරු. ගිහි ගෙයි බැඳීම් අතහැර යන කෙනකුට එහෙම පුළුවන් ඇති.

මට නං බෑ. මට ජීවිතේ අවසන් හුස්ම පිටවෙනකන්ම මගෙ දරු පැටවු දෙන්නා ගැන තියෙන බැඳීම, සෙනෙහස, ආදරය අඩු වෙන එකක් නෑ.

මට දරුවො දෙන්නයි. දුව වැඩිමලී. ඇයගේ හතරවෙනි උපන්දිනය දා තමයි පුතා මෙලොවට එන්නෙ. ඒ කියන්නෙ එකම උපන්දිනය. අවුරුදු හතරක පරතරය. කිරි පොවන වයසෙ ඉඳන්ම මායි මගෙ බිරියයි ඔවුන්ව ලොකු මහත් කළේ අපේ ඇඟේම කොටස් විදියට. දවසින් දවස ඒ දෙන්නා ලොකු මහත් වුණා. ඒ දෙන්නටත් අපිව නැතුව බැරි වුණා. අපි දෙන්නගෙන් මං තමයි දරුවන්ට ගොඩක් ළං වුණේ. මං එයාලට ළං වුණේ තාත්තා කෙනකුට වඩා යාළුවෙක් විදියට. පුංචි කාලෙ ඉඳන් දෙන්නගෙ සියලු දේ අපි කතා බහ කළා. තරුණ වයසට ඇවිදිල්ලත් දුවගෙ නම් ජීවිතේ ගෙවෙන හැම අකුරක්ම මට කිව්වා. අවශ්‍ය තැනදි මං අදාළ උපදෙස් දුන්නා. හැබැයි තරුණ වයසට එද්දි පුතා නම් කපටියා. මට හුඟක් දේවල් හැංගුවා. ඒත් ඒකා හැරෙන කොට මට සේරම දැනිලා ඉවරයි. එහෙම හිටිය අපි අද හැතැක්ම දහස් ගාණකින් ඈත් වෙලා.

ඉස්සර මගෙ තුරුල්ලට එන්න අක්කයි, මල්ලියි ඇඳේ රණ්ඩු වෙනවා. අද මං තුරුලුවෙන්න දරුවෙක් නැතුව තනිවෙලා ඉන්නවා. ළමයි දෙන්නෙක් හැදුවා. කොළඹ ඉස්කොලවලට දාලා ඉගැන්නුවා. දෙන්නම විශ්වවිද්‍යාලවලට ගියා. දෙන්නම තනි කැමැත්තෙන් සහකාරයො සහකාරියො හොයා ගත්තා. දෙන්නගෙම ඒ ප්‍රේම කතා සම්පූර්ණ කරලා මං ජයට උත්සව අරන් විවාහ කර දුන්නා. අන්තිමේදි දෙන්නම එතෙර පියෑඹුවා. දැන් දෙන්නම ඕස්ට්‍රෙලියානු පුරවැසියො. හැමදාම කතා කරනවා. ඒත් වයිබර් එකේ පෙනෙන මූණ ඉඹින්න පුළුවන් ද.. තුරුලු කරගන්න පුළුවන්ද ... මගෙ උණුසුම දෙන්න පුළුවන් ද.. මේක ඇත්තටම හරිම වේදනාකාරී ඈත් වීමක් ... ඒක තමයි මේ ගීතය මට හුඟක් ළං වෙන්නෙ.

ගියදා පටන් ඉගිලු කුරුළු කූඩුවෙන් ...

සන්තෝෂයක් නැ හිතේ..

කියන්නෙ ඇත්තටම රෝහණ අයියා නෙවෙයි මං කියලයි මට හිතෙන්නෙ ..

මේ ගීතය සමහර වෙලාවට " රත්තරන් පුතේ ... අපේ රත්තරන් පුතේ .. " කියලා වෙනස් කරලා මං ගයනවා. රත්තරන් දුවේ කිවුවත් .. රත්තරන් පුතේ කිවුවත්, ඉගිළිලා එන්න හදපු කූඩුවත් අරන් ... කියලා කිවුවට එයාලා කොහොමද එන්නෙ. මායි බිරියයි දැන් පස් හය පාරක් එයාලව බලන්න ගියා. එයාලා ඉන්නෙත් ළඟ පාත. එතකොට දෙන්නම අර ඉස්සර වගේ මගෙ තුරුල්ලට පොර කනවා. දැන් දුවගෙන් හම්බවුණු අපේ පුංචි මුනුපුරත් පුරුදු වෙලා මගෙ තුරුල්ලට. එයා ඇවිත් අම්මවයි .. මාමාවයි දෙන්නවම අයින් කරලා එයා රිංගන්න බලනවා. එයාලත් අපිව බලන්න ලංකාවට එනවා. ඒත් අක්කා එනකොට මල්ලි එහෙ. මල්ලි එනකොට අක්කා එහෙ. එයාලා මගෙන් ඈත් වුණු අවුරුදු දොළහටම තාම එක පාරයි දෙන්නම අපේ ගෙදර වහල යට එකට හම්බවුණේ.

නැවත එන්න පියඹලා දුවේ...

ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්

නැවත එන්න පියඹලා දුවේ...

ඇවිත් යන්න එන්න සුදු දුවේ...

කියලා කීවත් එයාලා දෙන්නටම ආයෙත් අපේ කූඩුවට කවදා එන්න ලැබෙයිද මන්දා. දැන් කොරෝනාව හින්දා අපිව තවත් ඈත් කරලා. පහුගිය අවුරුද්දෙ මට ටිකක් අසනීප වුණා. ජයවර්ධනපුර රෝහලෙත් ඉන්න වුණා. ඒ දවස් ටිකේ දරුවො දෙන්නා එහෙ ඉඳන් ඇඬුවා. එයාලා දන්නවා අපි දෙන්නගෙන් කෙනකු වියෝ වුණත් එයාලට දකින්නවත් ලැබෙන්නෙ නෑ කියලා. බලන්න කොච්චර අසරණ තත්ත්වයක්ද කියලා. ඇත්තටම ඔය ගීතය විතරක් නෙවෙයි .. ටී එම් ජයරත්නයන් ගයන 'අම්මා සඳකි' ගීතයත් මට තනියම ඉඳන් අහන්න බෑ. ඇස් තෙමෙනවා. මා අද තෝරාගත් මේ ගීතය මහාචාර්ය කාලෝ ෆොන්සේකා රචනා කරන ලද්දක්. ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කර ඔහු හා ආචාර්ය නන්දා මාලිනිය විසින් ගායනා කරන ලද්දක්. ඒත් මේ ගීතයේ උපරිම වින්දනය , ඒ කියන්නෙ ලේ නහර වලට දැනීම ඇතිවෙන්නෙ දරුවො ගොඩක් ඈතට වෙලා ඉන්නකොට. දරුවො දෙන්නම එක්ක සුවපහසුව ඉන්න හිතාගෙන හදාගත්තු දෙමහල් නිවස ඇතුළෙ මායි බිරියයි තනිවෙලා. දහම ගැන හිතලා හිත හදාගන්නවා. ඒත් හිටි හැටියෙ පපුව කීරිගැහිලා යන පාළුවක් දැනෙනවා. ඒක හැමෝටම දැනෙන එකක් නෑ. දරුවෝ එක්කෙනෙක් එතෙර ගිහින් තවත් දරුවො තමන් ගාව ඉන්න අයට දැනෙන්නෙත් නෑ. ඒක දැනෙන්නෙ තමුන්ගෙ හිටිය දරුවො දෙන්නම හැතැක්ම දහස් ගාණක් ඈත් වෙලා ඉන්න අපි වගේ මවුපියන්ට විතරයි.

Comments