සජිත්ගෙන් පාඨලීට අනතුරු ඇඟවීමක් | සිළුමිණ

සජිත්ගෙන් පාඨලීට අනතුරු ඇඟවීමක්

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වසංගතයෙහි 3 වැනි රැල්ල කෙසේ හෝ පරාජය කිරීමේ අභියෝගය ජයගැන්ම සඳහා මේ වනවිට රටම මුහුණ දී සිටී. අසල්වැසි ඉන්දියාවේ පවතින ඛේදවාචකය දකින ඕනෑම කෙනෙකුට අනේ අපොයි කියවෙන්නේ කොරෝනා මාරයා අල්ලපු ගෙදරටම පැමිණ ඇති බව සිහිපත් වන නිසාය. කොරෝනා පළමු රැල්ල සහ දෙවන රැල්ල සාර්ථකව ජයගත් ආකාරයෙන් කොරෝනා තෙවැනි රැල්ල ද කෙසේ හෝ ජයගත යුතුව තිබේ. පක්ෂ පාට භේදයකින් තොරව දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු වූයේ මෙම කොරෝනා තෙවැනි රැල්ල කෙරෙහිය.

- අපේ ජනපතිගෙන් ඉන්දීය අගමැතිට වැදගත් පණිවුඩයක්
- තානාපතිවරු හමුවී සජිත් කරන්න හදන වැඩේ?

නමුත් අවාසනාවකට ඇතැම් දේශපාලන පක්ෂ කොරෝනාවත් දේශපාලන ගරානාවකට යොමු කරවමින් සිටීම කනගාටුදායකය තත්ත්වයකි. 

තම අසල්වැසි රාජ්‍ය පත්ව තිබෙන තත්ත්වය ගැන දැඩි කම්පාවට පත්වන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලිපියක් මඟින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දැනුම් දුන්නේය.

ඉන්දියාවට පත්ව ඇති ඛේදවාචකයෙන් ඉක්මණින්ම මිදීමට හැකිවේවායි කියා සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව ප්‍රාර්ථනා කරන බවත් ඒ වෙනුවෙන් මහා සංඝරත්නය රතන සූත්‍රය දේශනා කරන බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන ලදි.

මේ අතර පසුගිය 28 වැනිදා මෙරටට නිල සංචාරයක් සඳහා පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රි හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් (Wei Fenghe) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මුණගැසීම ද දේශීය මෙන්ම විදේශීය දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ අවධානයට ලක්විය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂි සෙන්හොන් (Qi Zhenhong), චීන මහජන හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලුතිනන් ජෙනරාල් ෂාඕ යැන්ග්මින් (Lt. Gen. Shao Yuanming), මේජර් ජනරාල් සි ග්ව්ඕවෙයි (Ci Guowei) සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ද්වි පාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ. (චීන ඇමතිවරයාගේ සංචාරය පිළිබඳ වැඩි විස්තර සඳහා 18 පිටුවේ විශේෂ ලිපිය බලන්න.)

මේ අතර චීන ආරක්ෂක අමාත්‍යවරයා සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අතර හමුව සිදුවුණේ අරලියගහ මන්දිරයේදීය. මෙම අවස්ථාවට හිටපු කථානායක මෙන්ම වර්තමාන වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ද සහභාගි වූයේය.

කොරෝනා වැඩිවීම ගැන ජනපතිගේ අවධානය

අලුත් අවුරුද්ද නිමාවීමත් සමඟ රටපුරා කොරෝනා ආසාදිතයන් වැඩිවීමක් සිදුවිනි. මේ සම්බන්ධයෙන් වහාම ගත යුතු පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අදාළ අංශ ඒ වන විටත් සාකච්ඡා පවත්වා තිබිණි.

කොවිඩ් කමිටුව සමඟ ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනතුරුව දිස්ත්‍රික්ක ලේකම්වරුන් සමඟද සාකච්ඡා පැවැත්විය. ඊට අමතරව ඇමැතිවරු සමඟ දුරකතන මාර්ගය ඔස්සේ සම්බන්ධ වෙමින් ඒ ඒ ප්‍රදේශවල පළාත්වල ගත යුතු පියවර සම්බන්ධයෙන් ද පෞද්ගලිකව සාකච්ඡා කිරීමට පවා ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබිණි.

මේ අතර ඉකුත් 20 වැනි දා අමාත්‍ය මණ්ඩලය හමුව කොළඹදී පැවැත්විණි. නැවත හිස ඔසවන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජයක් වශයෙන් මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළේය.

“මේ වෙනකොට ලංකාවේ ගොඩක් පළාත්වලින් කොවිඩ් රෝගීන් වාර්තා වෙනවා. කලින් දෙවතාවට වඩා මෙවර කොවිඩ් රෝගය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. මේ වන විට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වලට අදාළ උපදෙස් ලබා දීලා තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරු පවා දැනුම්වත් කළා. කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා ගත හැකි සියලු පියවර රජයක් වශයෙන් අපි ගනිමින් සිටිනවා.

ජනතාව මේ සම්බන්ධයෙන් දැනුම්වත් විය යුතුයි. සෞඛ්‍ය අංශය දැඩිව අවධාරණය කරන්නේ රජය මොන දේ කළත් ජනතාව ප්‍රවේශම් විය යුතු බවයි.

ජනතාවට සීමා පනවමින් රෝගය පාලනය කිරීම සඳහා ගත යුතු පියවර රජය ගන්නවා. ඒ වගේම ඔබ, ඔබ නියෝජනය කරන දිස්ත්‍රික්කවල කටයුතුවලට මැදිහත් වෙමින් පහසුකම සම්බන්ධීකරණය කිරීමේ කාර්යයේ වගකීම බාරගන්න ඕනෙ“ ජනාධිපතිවරයා එහිදී වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එලෙස දීර්ඝ පැහැදිලි කිරීමක නිරත විය.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත් රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ සූදානම් කර තිබෙන බවයි.

“ඔව්. අමතර ප්‍රතිකාර මධ්‍යස්ථාන අවශ්‍ය ඕනෑම වේලාවක අලුතෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන ගොඩනගන්න සහාය දෙන බව මේ වෙනකොට ආරක්ෂක අංශ දැනුම් දීලා තිබෙනවා“ ජනාධිපතිවරයා පැවසීය.

“මේ වෙනකොට බස්නාහිර හා වයඹ පළාත් පාසල් වසා දමන්න අපි පියවර අරන් තියෙනවා“ අධ්‍යාපන ඇමැති ජී.එල්. පීරිස් එහිදී සඳහන් කළේය.

බොහෝ අමාත්‍යවරු පෙන්වා දුන්නේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් හැකි ඉක්මණින් තීරණයක් ගන්නා ලෙස දෙමවුපියන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙන බවයි.

“දරුවෝ සෑහෙන කාලෙකින් අධ්‍යාපන කටයුතු ආරම්භ කළා විතරයි. ඒ වුණත් අපි ඒ දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. ඒ නිසා අප්‍රේල් මස තිස් වැනිදා වන තෙක් ලංකාවේ සියලුම පාසල් වසා දමන්න පියවර ගමු“ අමාත්‍යවරුන්ගේ ඉල්ලීමට සාවධානව ඇහුම්කන් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සඳහන් කළේය.

ජනතාවගේ ආරක්ෂාවට වගේම රටේ ආර්ථිකයට බලපෑමක් නොවන ආකාරයෙන් ඉතිරි තීන්දු තීරණ ගත යුතු බව එහිදී ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරමින් පැවසීය.

මේ අතර පසුගිය බදාදා ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් රැස් විය. ඒ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදියි. ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් මෙහිදී දැනට පවතින අඩුපාඩු සම්බන්ධයෙන් පැහැදිලි කළේය.

“ඇමතිතුමා, මේ වෙනකෙට ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් වැඩි වෙමින් පවතිනවා. ඒක නිසා අපි ඉක්මනින් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ“

“අපි ඉක්මනින්ම ගන්න ඕන මොනවගේ පියවර ද කියලා ඔබතුමාම කියන්න“ අමාත්‍යවරයා විමසීය.

“අමතර ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනක් අපි ඉක්මනින්ම හදාගන්න ඕනේ.“

“ප්‍රතිකාර මධ්‍යස්ථාන හදන්න ඕනේ කියලා ඕගොල්ලෝ හිතන්නෙ මොන වගේ ප්‍රදේශවල ද“

“අපි මේ වෙනකොට වැරැල්ලවත්ත කටුනායක හා මීරිගම අලුතින් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනක් හදන්න හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි කොවිඩ් කමිටුවටත් දැන්නුවා.“

“කාටද ඒ ස්ථාන අයිති“

“ඇමතිතුමා ඕක කරගන්න පුළුවන් වෙන්නේ ආයෝජන ප්‍රවර්ධන කාර්යාලයෙන්“

BOI ගොඩනැඟිලි නිරෝධායන මධ්‍යස්ථාන කිරීමට ප්‍රසන්න මැදිහත් වෙයි

ඒ අවස්ථාවේම ආයෝජන ප්‍රවර්ධන කාර්යාලයේ නිලධාරියෙක් දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත් අමාත්‍යවරයා “වැරැල්ලවත්ත කටුනායක මීරිගම BOI එකට අයිති ගොඩනැඟිලි තියෙනවා. මේ වෙනකොට ඒවායින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන විදිහට ඒ තැන් මේ අවස්ථාවේ ප්‍රයෝජනය ගන්නට පුළුවන් නම් හොඳයි“ කීය

ඒ අවස්ථාවේ දුරකතනයට සම්බන්ධ වූ නිලධාරියා, අමාත්‍යවරයා සමඟ එකඟතාවකට පැමිණ එම ගොඩනැඟිලිවල නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා ලබා දීමට එකඟ විය.

මේ අතර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ආණ්ඩු පක්ෂයේ සියලුම ජනතා නියෝජිතයන්ට සහ සියලුම පළාත් පාලන ආයතන නියෝජිතයන්ට දැනුම් දී තිබෙන්නේ කොරෝනා පාලන කටයුතු සඳහා අදාළ අංශ වෙත හැකි උපරිම සහයෝගය ලබාදෙන ලෙසයි.

විපක්ෂ නායක සජිත් කිරින්ද ‘සත්කාරය‘ සේවාව අතරේ පසුගියදා වනලා ගැසුවේය.

“යහපාලන කාලෙ මගේ කකුලෙන් ඇද්දා. මෛත්‍රීගෙ අඩුපාඩු තිබුණත් මට උදව් කළා. දැන් මම ඇමති සජිත් නොව රට ගොඩගැනීමට වෙරදරන විකල්ප නායකයායි. මගේ කකුලෙන් අදින්න කාටවත් ඉඩදෙන්න බෑ. වෙන වැඩ පිළිවෙළවල් තිබේ නම් එළියට ගිහින් ඒවා කරන්න“ සජිත් කීය. ඔහු වක්‍රාකාරයෙන් පහරක් එල්ල කළේ පාඨලී ට බව බොහෝ දෙනෙකුගේ මතය වේ.

“43 සේනාංකය යනු පක්ෂයක් නොව සමාජ ව්‍යාපාරයක්. අපට පැහැදිලි දේශපාලන අරමුණුත් තියෙනවා“ පාඨලී නුවරඑළියේ දී කියා තිබුණේ එවැන්නකි.

පෝදා බණ දෙසුම විපක්ෂ නායක කාර්යාලයේදී මෙන්ම හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස 28 සැමරුම් බණ දෙසුම සුචරිතයේදී පැවතියේ සජිත් - ජලනි හා හේමා ප්‍රේමදාස මෙන්ම දුලාංජලී ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

සජිත් ගේ උපදෙස් මත කිරිඇල්ලගේ ප්‍රදානත්වයෙන් පාඨලී හර්ෂ හා ඉරාන් ඇතුළු පිරිස කතෝලික පූජකයන් හා කන්‍යා සොයුරියන් හමුවී පාස්කු ප්‍රහාරය හා අදාළ පසුබිම ගැන සංවාදයක් පැවැත්වීය.

“මෙතන කතා කළ කරුණු අගරදගුරු මඬුල්ලට ඉදිරිපත් කරන්න“ කිරිඇල්ලගේ ඉල්ලීමට ඔවුහු එකඟ වූහ.

ගලෙන්බිඳුණු වැව පලුගොල්ලෑගම ගම්මානයේ ජීවත්වන දෑස් නොපෙනෙන 13 වියැති ජීවන්ත රත්නායක දරුවා ඇසක් ඉල්ලා නඟන හඬ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ නෙත ගැටෙන්නේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේය.

ඇසක් ඉල්ලන මෙම දරුවාට ලොව දැකීමට වාසනාව උදාකිරීමට ඇත්නම් යැයි කල්පනා කළ අගමැති ආර්යාව ශිරන්ති රාජපක්ෂ, ජීවන්ත රත්නායක දරුවා කොළඹට ගෙන්වා ගත්තාය. ඒ මෙරට සිටින දක්ෂතම මෙන්ම ප්‍රසිද්ධ විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කිරීමේ අටියෙනි. (මේ පිළිබඳ වැඩි විස්තර සඳහා 16 වැනි පිටුවේ පළවන විශේෂ ලිපිය බලන්න.)

හරීන්ට පරීක්ෂණ දෙකක්

හරීන් මන්ත්‍රීවරයා මේ දිනවල සිටින්නේ රෝහල්ගතවය. ඔහුට කරන ලද වෛද්‍ය පරීක්ෂණ කිහිපයකම ප්‍රතිඵල නිකුත් වූ අතර එකක් angiogram පරීක්ෂණයක් වූ අතර අනෙක MRI පරීක්ෂණයක් විය.

පරීක්ෂණ දෙකෙහිම වාර්තා හිතූ තරම් යහපත් වුණේ නැත. එනිසාම බදාදා ඔහුට හදිසි සැත්කමක් කළ යුතුව තිබිණි.

හම්බන්තොට පැවැති ජංගම සේවයකට ගොස් සිටි සජිත් සඳුදා පෙරළා පැමිණි වහාම හරීන්ගේ සුවදුක් බලන්නට ගියේය.

අඟහරුවාදා රාත්‍රී ද සජිත් හරීන් බලන්නට ගිය අතර ඔහු සමඟ තලතා අතුකෝරාල ද එම ගමනට එක්විය.

“තානාපතිවරු කීපදෙකේම මාව මුණගැහෙන්න එපොයිමන්ට් ඉල්ලුවා. හෙට උදෙයි හවසයි අපි මුණගැහෙනවා. මේ දේශපාලන පළිගැනීම් ගැන අපි කතා කරනවා“

සජිත් හරීන්ට කීවේය.

බදාදා පක්ෂ නායක හමුවේදී සම්පූර්ණයෙන්ම කතා කළේ ආණ්ඩුවේ මර්දනය සහ හරීන්ට එල්ලවී ඇති තර්ජනය ය. “මේක බරපතළ තත්ත්වයක්. හරීන්ට මනූෂට වගේම පොදුවේ විපක්ෂයට එල්ල වෙන අනතුර සුළුපටු නෑ. හරින්ලා මනූෂලා කතා කළේ අපි හැමෝගෙම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.“ සජිත් කීවේය. පක්ෂ නායකයෝ ද එම අදහස අනුමත කළහ. අනතුරුව සජිත් රටවල් ගණනාවක විදෙස් තානාපතිවරුන් හමු විය. ඔස්ට්‍රේලියව, නෝර්වේ, රොමේනියව වැනි රටවල් වල විදෙස් තානාපතිවරුන් ඒ අතර වූහ. “මේ කොරෝනා ව්‍යසනයෙන් ගොඩ එන්න උදව් කරන්න කියලා ලෝකයෙන් ඉල්ලන්න බෑ. මොකද ලෝකෙම මේ ප්‍රශ්නය එක්ක ඉන්නේ අමාරුවෙන්. ඒත් මේ වෙනකොට ලංකාවේ අවධානම වැඩියි. ඒ නිසා කොරෝනා කළමනාකරණයට අවශ්‍ය සහය දෙන්න.“ සජිත් ඔවුන්ට කීවේය.

ජනතාවාදී විපක්ෂයක් ලෙස සමගි ජනබලවේගයේ වැඩපිළිවෙළ ඉතා පැහැදිලි ලෙස තානාපතිවරු හමුවේ තැබූ සජිත් විපක්ෂයට එරෙහිව ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙළ ගැන ද අවධානය යොමු කළේය.

රනිල්ගේ නිවසේ ලොකු කතාබහක්

එක්සත් ජාතික පක්ෂ නායකයා ඔහු යොදාගෙන තිබුණු සියලු හමුවීම් ඉකුත් සතියේ අවලංගු කරනු ලැබුවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම දහසේ සීමාව ඉක්මවූ බැවිනි. සෑම අඟහරුවාදාවකම සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුව ද ඔහු පවතින තත්ත්වය හමුවේ අවලංගු කළේය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරයකු වූ හරීන් ප්‍රනාන්දු මේ වන විට රෝගීව රෝහල් ගතව සිටින බැවින් සුව දුක් විමසීමට නායකයා කොළඹ පෞද්ගලික රෝහලකට ගියේ ඉකුත් අඟහරුවාදා ය. පැයක පමණ කාලයක් දෙදෙනා කතා බහ කරමින් සිටි අතර කතා කළ බොහෝ දේ දෙදෙනාට පමණක් සීමා වූහ.

“ඔබට ඉක්මන් සුවය පතනවා. මට කරන්න පුළුවන් සීමාවේ තිබෙන දේ මම කරන්නම්. උදව්වක් අවශ්‍ය නම් කියන්න.“ නායකයා පිටත්වීමට පෙර හරීන්ට කීවේය.

කොරෝනා වයිරසයේ තුන්වනි රැල්ල ඇතිවීමට ප්‍රධානතම හේතුව ආණ්ඩුවේ නොසැලකිල්ල බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවති රැස්වීමකට සහභාගි වෙමිනි.

විමල් සහ පොල්තෙල්

පොල්තෙල් සම්බන්ධයෙන් පැන නැගි ඇති ගැටලුකාරී තත්ත්වයන් යටතේ දේශීය පොල්තෙල් සන්නාමය ආරක්ෂා කළ යුතු බවත් ඒ වෙනුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන් ආරක්ෂා කළ යුතු බවත් කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

“පොල්තෙල් කලවම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ පසුගිය යහපාලන ආණ්ඩුවටයි. 2016 / 10 / 07 වැනි දින 1987/51 දරන ගැසට් පත්‍රය නිකුත් කරමින් යහපාලන ආණ්ඩුව පොල්තෙල් කලවම් කිරීමට අවසර ලබා දුන්නා. එතකොට විෂය භාර ඇමතිවරයා වූයේ රිෂාඩ් බදියුදීන්. එම ගැසට් නිවේදනය අවලංගු කරන්න කියලා මම අදාළ අංශ වෙත දැනුම් දුන්නා.“ යනුවෙන් විමල් වීරවංශ ප්‍රකාශ කළේ කර්මාන්ත අමාත්‍යාංශයේදී දේශීය කර්මාන්තකරුවන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

Comments