හුණුවටයේ කතාවේ කෝප්‍රල් එදා මෙදා ආ දුර ඩග්ලස් රණ­සිංහ | සිළුමිණ

හුණුවටයේ කතාවේ කෝප්‍රල් එදා මෙදා ආ දුර ඩග්ලස් රණ­සිංහ

හෙන්රි ජයසේන විසින් 1967 මාර්තු 08 වේදිකාගත කළ “හුණුවටයේ කතාව“ මුල්ම දර්ශනයේ කෝප්‍රරල්ගේ චරිතය රඟ පෑ කඩවසම්, පෞරුෂත්වයෙන් හෙබි තරුණය නළුවා කාටත් මතකය. එදවස ඒ චරිතය රඟපෑවේ ඩග්ලස් රණසිංහ නම් නවක නළුවා ය. මෝඩ හේවායා ලෙස රඟපෑවේ යූ. ආරියවිමල්ය.

මීට වසර 55කට පෙර සිය කලා ජීවිතය ඇරඹූ ඩග්ලස් පසුව සම්මානනීය සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය රංගවේදියකු ලෙස ද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ද ප්‍රතිභාව දැක්විය.

ඩග්ලස් 1966 වසරේ කුරුණෑගල සිට කොළඹට පැමිණෙන්නේ තම සමීපතම ඥාතියකු වූ පීටර් අමරසිංහ සමඟ එකල ලංගම ඔරුගොඩවත්ත කාර්යාලයේ ලිපිකරුවකු ලෙස කටයුතු කළ නාට්‍යවේදි සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් හමුවීමටය. මීතොටමුල්ල ලංගම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ අමරසිංහ සතිස්චන්ද්‍රට රාජකාරිය සඳහා උපදෙස් දුන් උසස් නිලධාරියෙකි. ඒ මහතා එදා පැමිණියේ තම ඥාතියා වූ ඩග්ලස්ට පොලිස් සේවා සම්මුඛ පරීක්ෂණයකට යාමට චරිත සහතියක් ලබා ගැනීමට උපකාරයක් ලබා ගන්නටය. සතිස්චන්ද්‍ර නොපමාව එවකට රාජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්ව සිටි තම වැඩිමහල් සොහොයුරා ලවා එම කාර්යය ඉටුකර දුන්නේය. ඩග්ලස් සමඟ කතා කළ සතිස්චන්ද්‍රට ඔහුගේ පෞරුෂය, ගැඹුරු කටහඬ වේදිකා නාට්‍ය නළුවකුට උචිත බව පෙනී ගියේය.

“කැමති නැද්ද රැකියාවක් ලැබෙනකන් වේදිකාවේ රඟපාන්න?“ සතිස්චන්ද්‍ර ඇසීය.

“මම කැමතියි, පාසලේදීත් මම රඟපාල තියෙනවා.“ ඩග්ලස් කීය.

“මට හෙන්රි ජයසේන අලුතින් කරන “හුණුවටයේ කතාව“ නාට්‍යයේ රඟපාන්න කියලා පිටපතක් එවල තියෙනවා. ඒත් ඊට ඉස්සර වෙනත් නාට්‍යයක රඟපාන්න පොරොන්දු වෙලා තියෙන නිසා හෙන්රිගෙ නාට්‍යයේ මට තියෙන චරිතය ඔයාට දෙන්න කියලා රෙකමදාරු කරන්නම්.“ සතිස්චන්ද්‍ර ලිපියක් ද, නාට්‍ය පිටපත ද ඩග්ලස්ට දුන්නේය.

සතිස්චන්ද්‍ර විසින් එවූ රෙකමදාරු ලිපිය කියවූ හෙන්රි, දෙබස් ඛණ්ඩයක් රඟපාන්න යයි කියා සෑහීමට පත්ව, ඩග්ලස්ගේ අංග ලක්ෂණ, කඩවසම්කම, උඩ සිට පහතට බලා කෝප්‍රල් චරිතයට තෝරා ගත්තේ දෙවතාවත් නොසිතාය.

මොරතැන්නගේ ඩග්ලස් රණසිංහ 1942 මැයි 27 වෙනිදා කුරුණෑගල විල්ලි පත්තුවේ තිස් ගම් දහේ තිරගම් කෝරලයේ තෝරවතුර ග්‍රාමයේ උපත ලැබීය. ඔහුගේ පියා වූ ජේම්ස් රණසිංහ ඉඩම් හිමි වැවිලිකරුවෙකි. ගම් ප්‍රධානියකු, ගම්කාර්ය පාලන ලේකම්වරයකු ලෙස රාජකාරි කළ ඔහු ගමේ කාගේත් ආදරයට පාත්‍රව සිටියේය. මව වූ සීලවතී වලිමුනි රණසිංහ බොහෝ සිසු පරපුරකගේ නැණස පෑදු ගුරුමාතාවකි. රණසිංහ යුවළට දරුවන් හත් දෙනෙක් වූහ. පවුලේ වැඩිමලා මල්කාන්ති ගුණරත්නය. ලේඛිකාවක් ද වූ ඇය විවාහ වූයේ මරදානේ රත්න පොත් ප්‍රකාශන ආයතනය හිමි එල්. ගුණරත්න සමඟය. දෙවැන්නා රූපා කේමරත්න ඉංග්‍රීසි ගුරුවරියකි. තෙවැන්නී ප්‍රේමා ශ්‍රීමතී ඉහළගම ගුරු අභ්‍යාස නිවාස අධිකාරිනියක් ලෙස කටයුතු කළාය. (ඇය ජීවතුන් අතර නැත) හතරවැන්නා ඩග්ලස් ය. වැවිලිකරුවකු වූ ලයනල් රණසිංහ පස්වැන්නාය. හයවැන්නී වරාය අධිකාරියේ සේවය කළ චන්ද්‍රා සිරිවර්ධනය. බඩපිස්සී ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා තිලකා රණසිංහ හත්වැනීය. (ජනප්‍රිය ටෙලිනාට්‍ය නළු සාරංග දිසාසේකර ඇගේ පුතා ය.)

කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඩග්ලස් රණසිංහ විද්‍යාලයීය සිංහල හා ඉංග්‍රීසි විවාද කණ්ඩායමේ චතුර කථිකයකු ලෙස ද, බොක්සිං ක්‍රීඩකයකු, ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ද මලල ක්‍රීඩකයකු ලෙස ද කැපී පෙනී ඇත. ඔහු දුර දිවීමේ දක්ෂයකු ලෙස මීටර් 200 යෙන් මුල්තැන් ගත් අතර කෙටිකතා රචකයකු ද විය. තම පියා මෙන්ම ඩග්ලස් විද්‍යාලයේ දී ශේක්ස්පියර් නාට්‍යවල ද රඟ පෑවේය. පියා අඩි 6ක් උස කඩවසම් තරුණයකු වූ අතර ඔහු ඉගෙනුම ලැබූ යාපනේ මිෂනාරි පාසැලේදී ෂේක්ස්පියර් නාට්‍යවල රඟ පෑ අවස්ථාවේ ගත් පින්තූරයක් තවමත් මහගෙදර එල්ලා තිබුණි.

“හුණුවටයේ කතාවේ“ ඩග්ලස්ගේ රඟපෑම ප්‍රේක්ෂක, විචාරක ප්‍රශංසාවට ලක් වූ අතර හෙන්රි ජයසේනගේ ආන්දෝලනාත්මක නාට්‍යය වූ “අපට පුතේ මඟක් නැතේ“ නාට්‍යයේ විශ්විද්‍යාලයීය ශිෂ්‍යයා ලෙස ප්‍රධාන - චරිතය රඟපෑමට ඔහුට ලොකු අභියෝගයක් විය. මේ නාට්‍යයේ ඔහුගේ මව වූ (ගල් කඩමින් තම පුතුට ඉගැන්වූ) රංමැණිකා ලෙස රඟ පෑවේ අයිරාංගනී සේරසිංහය.

“මගේ රඟපෑම ගැන හරි තක්සේරුවක් කළේ හෙන්රි ජයසේන. ඔහු විසින් ලියූ “නිම්නැති කතාවක්“ කෘතියේ පවසා ඇති අන්දමට “ඩග්ලස් පුතු ලෙසත්, අයිරාංගනී මව ලෙසත්, එකිනෙකා නො ඉක්මවා, එකිනෙකාට ශක්තිය දෙමින් වේදිකාවේ රඟපෑහ. මා වන් වේදිකා පුත්‍රයකුට නම් එය බලා සිටීම ඇත්ත වශයෙන් ම ගත සිත සම වද්දන අත්දැකීමක් විය.“ මීට වඩා වෙන සහතිකයක් මට කුමටද?“

මම මේ නාට්‍යයේ රඟපෑවේ විශ්වවිද්‍යාලයට ඇතුළත්, ප්‍රථම විභාගය අසමර්ථ වූ ශිෂ්‍ය දීමනාව අහිමි වීම නිසාම පමණක් නොව ජීවිතයේ නොයෙක් අසාධාරණකම් වලින් වරෙක කෝපවන, වරෙක කම්පා වන, වරෙක කරබාගෙන ඒ සියල්ල උසුලන, ඒත් බැරිම තැන කටුක තීරණයකට එළැඹෙන, එළැඹී, සිය දිවි නසාගන්නා තරුණ සරසවි ශිෂ්‍යයාගේ චරිතය. හෙන්රි කියා තිබුණේ මම ඉතා ප්‍රබල චරිත නිරූපණයක යෙදුණු බවය.

විවාදයට ලක්වූ මේ නාට්‍ය බලන්න ආ එකල අධ්‍යාපන ඇමති ඊරියගොල්ලයන් උපේක්ෂාවෙන් මගේ චරිත නිරූපණය බලා සිටියේ ඔහුගේ දරුවන් දෙදෙනෙක් සරසවි සිසුන් වීම නිසාද කියා මට අද හිතෙනවා. “හුණුවටයේ“ අසංවර, නොසරුප් කාමුක කෝප්‍රල්්ගේ චරිතය රඟ පෑ මා “අපට පුතේ“ නාට්‍යයේ මහත් සංයමයෙන්, සංවේදී බවින් මෙන්ම උත්සන්න බවින් යුතුව හොඳින් පූරණය කරන ලද රඟපෑමක් කළ බව හෙන්රි ජයසේන සූරින් මා වැලඳ ගෙන කීවා පමණක් නොව ඔහු විසින් ලියූ ඉහත කී කෘතියේ පුන පුනා අගය කර තිබුණා. අයිරාංගනී නම් විශිෂ්ට රංගවේදිනිය සමඟ රඟපෑමට ලැබීම මට භාග්‍යයක් නොවේද?

ඩග්ලස්ගේ සිනමාවතරණය ආරම්භ වන්නේ “අක්කර පහ“ චිත්‍රපටයෙනි.

“හුණුවටය බලන්න විශේෂ ආරාධිතයා ලෙස වරක් ලෙස්ටර් ජේම්ස් පීරිස් ආවා. මගේ රඟපෑම බලලා පැහැදුණ ඔහු මට මෙහෙම කියලා තිබුණා.

"I had great difficulty in saving my hero from Douglas"

ඒ කියමන නිසා ලෙස්ටර් මාව “අක්කර පහ“ චිත්‍රපටයේ සමරසේන නම් පාසල් ශිෂ්‍යයාගේ චරිතයට තෝරා ගත්තා. එ් 1968 වසරේ. ඒ කාලේ ඉතාමත් හිරිමල්වියේ සිටිය සේන ලෙස රඟ පෑ මිල්ටන් ජයවර්ධනත්, තවත් සිසුවෙකු වූ අමරසිරි කලංසූරියත් සමඟ මම රඟපෑවා. මට මගේ ප්‍රථම රංගනය කළේ මිතුරන් දෙදෙනා සමඟ පාසල් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරන පාපන්දු ක්‍රීඩකයන් හැටියට. මේ අතර ජී.ඩී.එල්. පෙරේරා “රෝමියෝ ජුලියට් කතාවක්“ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පෑමට තෝරා ගත්තා. මගේ පෙම්වතියට රඟපෑවේ නවක නිළි මෝනා මංගලා සමඟ. ඇය මීට වසර කිහිපකට ඉහත එංගලන්තයේදී මිය ගියා. පසුව මට ආරංචි වුණා ඇයගේ අවසාන කැමැත්ත වූයේ තමා මුලින්ම රඟ පෑ මේ චිත්‍රපටය නැවත බැලීමට ආසාවෙන් සිටියාලු. නමුත් එය ඉටු වුණේ නෑ.“

ඩග්ලස්ගේ මුලින්ම තිරගත වූයේ “රෝමියෝ ජුලියට් කතාවක්“ චිත්‍රපටයයි. “අපට පුතේ මඟක් නැතේ“ නාට්‍ය දුටු ජී.ඩී.එල්. පෙරේරා විසින් ඩග්ලස් රෝමියෝගේ චරිතයට තෝරා ගත්තේය.

“මම ශාන්ත ආනා විද්‍යාලයේ සිටියදී ෂේක්ස්පියර්ගේ ‘වෙනිසියේ වෙළෙන්දා‘ නාට්‍යයේ රඟපෑවා. පුදුමය නම් 1980 වසරේ බන්දුල විතානගේ නිෂ්පාදනය කළ ‘වෙනිසියේ වෙළෙන්දා‘ නාට්‍යයේ එම චරිතය රඟපෑම. මම චිත්‍රපටයේ රඟ පෑ රෝමියෝ සාමාන්‍ය තරුණයෙක්. ඔහු වීරයෙක් නොවෙයි. සෑම තරුණයකුටම සමාන චරිතයක් ඔහු. ඒත් ඔහු නිදහස්ව සිටීමට වෑයම් කරන්නෙක්.“ ඩග්ලස් මේ අදහස් පැවසුවේය.

ඩග්ලස් “රෝමියෝ ජුලියට් කතාවේ“ ඉංග්‍රීසි ගීතයක් ගයන දර්ශනයක් රඟපෑවේය. මේ ගීතය සිංහල චිත්‍රපටයකට ඇතුළත් මුල්ම ඉංග්‍රීසී ගීතයයි. පසුබිම් ගායනය සුනිල් සාන්තය. ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතය නිර්මාණය කළ මේ චිත්‍රපටයේ රචනය මර්සලීන් ජයකොඩි පියතුමාය.

My Dreams are roses for my love

I drop them down for her feet

walk on them softly my love

your feet will make them more sweet

“ජුලියට් ගේ නිවසේ පැවති භෝජන සංග්‍රහයකට එන රෝමියෝ ගයන මේ ගීතයෙන් පසු ඇයව මුණ ගැසෙනවා.

ගීතයෙන් පසුව ඇතිවන දෙබස් ඛණ්ඩ මට හොඳට මතකයි. මේ චිත්‍රපටය සදාකාලිකව මතකයේ තියෙනවා.“ ඩග්ලස් කීවේය.

ඩග්ලස් රණසිංහ යනු දශක භාගයකට වැඩි කලක් පුරා නළුවකු වශයෙන් දිගු ගමනක නියැළෙන විශිෂ්ට රංගවේදියෙකි. ඔහු එදා මෙන්ම අදත් ප්‍රේක්ෂකයන් දකින්නේ රුවින් එතරම් වියපත් නොවූ “හැම යුගයකම නළුවා“ වූ Man for All seasons රංග ශිල්පියකු ලෙසිනි. භාරතයේ දේව් ආනන්ද්, දිලිප් කුමාර්, ධර්මේන්ද්‍ර මෙන් ඩග්ලස් ද වියපත් නොවූ නළුවෙකි. ඔහු මේ කාලය තුළ වේදිකාව, සිනමාව, පුංචි තිරය තුළින් විවිධ චරිත නිරූපණය කළේය. ඩුංඩු බෙරේ - හොට බරි යුද්දේ - ජනේලය - කුවේණි, The wedding, Taming of the sorrow, කුස පබාවතී, අහස් මාළිගා, වෙනිසියේ වෙළෙන්දා යන වේදිකා නාට්‍යවලින්, අවසඳ, මට මහලු වයසේ, රන්මසු උයන, කළු හංසයෝ ටෙලි නාට්‍යවලින් ද ප්‍රතිභාව ප්‍රකට කළ ඩග්ලස් සරංගා (සුරේෂ්), තණගිරවි (පාල), කැලෑමල් (තිස්ස) යුගාන්තය (අරවින්ද) විරාගය (සිරිදාස), යුවතිපති (ජිනරාජ), අමාන්තය, කුලගෙය, අස්වැසුම සිනමා කෘතිවලින් ද තම ප්‍රතිභාව විදහා පෑවේය. ඔහු රන්මසු උයන ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ද වෙයි.

ලන්ඩනයේ International Film School හි තුන් වසරක පාඨමාලාවක් හැදෑරූ ඔහු එහිදී Dancing Devils චිත්‍රපට තිර රචනය කළේය. ජනාධිපති, සරසවිය, ස්වර්ණ සංඛ, OCIC සම්මාන ලැබූ ඔහු කලකට ඉහත ගුවන් විදුලියේ සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ “ගුවන් විදුලි රඟ මඬල“ හා “කෙටිකතා“ යන වැඩසටහන්වල හඬ නළුවකු ලෙස කළ තමාටම ආවේණික රංගනය ගැන ශ්‍රාවකයෝ අදත් ඉහළින් කතා කරති.

ගුවන් විදුලියේ ශබ්ද පරිපාලකවරයකු ලෙස උසස් නාට්‍ය, විශේෂාංග, සංගීත වැඩසටහන් පටිගත කළේ ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය සනිටුහන් කරමින් යු. ආරියවිමල්, දයා තෙන්නකෝන්, ග්‍රේස් ද සිල්වා, ගුණදාස කපුගේ, ඩබ්ලිව් ජයසිරි ආදි ශබ්ද පරිපාලකයන් සමඟය.

පසුගියදා ඩග්ලස් සුමති සම්මාන උලෙළේදී ජීවිතයේ එකවරක් කලාකරුවකුට පිරිනැමෙන යු. ඩබ්. සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබීය.

ඔහුගේ ආදරණීය බිරිය සන්ධ්‍යා කුමාරි ය. එකම පුතු ශ්‍රී බෝධි රණසිංහය.

ඔවුන් පිටකෝට්ටේ එපිටමුල්ල නිවසේ පදිංචිව සිටිති.

ඩග්ලස් සිනමා කලාව, නාට්‍ය කලාව, ගුවන් විදුලි කලාව ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති නළුවෙකි. සංයමය, කැපවීම, ශික්ෂණය ඔහුගේ රංගනයේ කැපී පෙනෙන ලක්ෂණයයි.

 

Comments