සොහොයුරු පෙමින් සැබෑ ක්‍රීඩකත්වය මතු කළ සය වස් වීරයා | සිළුමිණ

සොහොයුරු පෙමින් සැබෑ ක්‍රීඩකත්වය මතු කළ සය වස් වීරයා

 

BRIDGER walker

ඒ වෙලාවෙ මගෙ නංගි වෙනුවෙන් කවුරු හරි මැරෙන්න හිටියානම් ඒ කවුරුවත් නෙවෙයි මම ම විතරයි.

ක්‍රීඩාව එක්තරා ආකාරයකට අභියෝග ජය ගැනීමකි. ඒ කාරණාව අනුව ගත් කල බ්‍රිජර් වෝකර් යනු සැබෑම ක්‍රීඩකයෙකි. නැතහොත් ක්‍රීඩාවට ආඩම්බරයක්, ගෞරවයක් මුසුකළ චරිතයකි.

බ්‍රිජර් වෝකර් උපන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ව්යෝමිං ප්‍රාන්තයේ චේයේන් පළාතේය. මේ නම ඇසූ සැණින් ඔබ මනසේ ඇඳෙන්නට ඇත්තේ වැඩිහිටි ක්‍රීඩකයෙකි. නමුත් සත්‍යය එය නොවේ. වෘත්තීය ක්‍රීඩකයකුද නොවන ඔහු අවුරුදු 06ක් වයසැති හුරුබුහුටි කොලු පැටියෙකි.

බ්‍රිජර් ට නැඟණියක් සිටියාය. ඇයට වයස අවුරුදු 04ක්. මේ දෙදෙනාගේ සබැඳියාව ගසට පොත්ත මෙනි. දෙදෙනා අවදියෙන් සිටින කොයි වේලේත් සිටියේ, සෙල්ලම් කළේ, විනෝද වූූයේ එකටම ය.

මේ දෙදෙනා සෑමදාම සෙල්ලම් කළේ සිය නිෙවස තුළ ය. නැතහොත් මිදුලේ ය. මේ දෙතැන හැරෙන්නට ඔවුන්ට දුවන්නට, පනින්නට වෙනත් තැනක් තිබුණේ නැත. පුංචි දරුවන් පමණක් නොව වැඩිහිටියන් ද වෙනසකට කැමැත්තෝය. මේ අයියා-නගෝ දෙදෙනාටද වෙනසක් උවමනා වූහ. ඒ නි‍ෙවසින් පිට තැනක දුවන්නට පනින්නට ය.

ඔවුන්ගේ නිවහනට නුදුරින් බ්‍රිජර්ගේ වයසේම දරුවෙක් විය. ඔහු බ්‍රිජර්ගේ ගජ මිතුරෙකි.

“නංගි, අපි එහෙ ගිහින් සෙල්ලම් කරමුද?” බ්‍රිජර් නැඟණියගේ කැමැත්ත අකැමැත්ත දැනගනු රිසියෙන් ඇසුවේය.

“හා... හා... යමු.” ඇය එක පයින්ම ඒ යෝජනාවට කැමැත්ත පළ කළාය.

“ගියාට කමක් නෑ. දෙන්නම පරිස්සමෙන්.” මවගේ අවසරය ලැබිණි.

“හරි අම්මෙ, පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මමත් බේරිලා නංගිවත් හොඳට බලාගන්නම්.” බ්‍රිජර් කීවේ මහා වගකිවයුත්තකු විලසිනි.

ඔවුහු එහිදී ඇති තරම් දුව පැන්නෝය, පන්දු ක්‍රීඩා කළහ, හැංගිමුත්තන් කළහ. ඒ අහිංසක ලෝකය සතුටින්, සිනහවෙන් පිරී ඉතිරී යමින් තිබිණි. කොයි දෙය කළ ද බි්‍රජර්ගේ දෙනෙත් සැම විටකම රැඳී තිබුණේ හය හතර නොතේරෙන පුංචි නැඟණිය වෙත ය.

මේ උකුසු ඇසට කෝපයෙන් ගොරවමින් දිව එන ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයකු දිස්විය. උගේ ඉලක්කය නැඟණිය බව ඔහුට හොඳටම පැහැදිළි ය.

බ්‍රිජර් දිව විත් නැඟණිය පසෙකට කළේය. නමුත් ඌ දිව ගියේ ඇය වෙතටම ය. අවසාන තීරණයට එළඹි බ්‍රිජර් සුනඛයාට පහර දීමට පෙරට පැන්නේය. කෝපයෙන් ඉහ වහා ගොස් සිටි ඌ කෙළින්ම කඩාපැන්නේ බ්‍රිජර්ගේ මුහුණට ය. එසැණින් ඔහු බිම ඇද වැටුණේය. ඌ ඔහුගේ මුහුණ දරුණු ලෙස සපා කෑවේය. එහෙත් සටනට සමුදුන්නේ බ්‍රිජර් නොවේ. ඔහු සුනඛයාට තදින් පහර දී පලවා හැරියේය. නැඟණිය සුරක්ෂිත ය.

ඒ වනවිට බ්‍රිජර්ගේ මුහුණ රුධිරයෙන් වැසී තිබුණේ යග එහෙයින් ඔහු වහා රෝහල්ගත කෙරිණි. ක්ෂණිකව ක්‍රියාත්මක වූ වෛද්‍ය කණ්ඩායම බ්‍රිජර්ව හදිසි සැත්කමකට යොමුකළහ. ඔහුගේ වම් කම්මුල පෙදෙස දැඩි ලෙස ඉරීමකට ලක්ව තිබිණි. ඒ ඉරුණු සියුම් සම එක්කිරීමට මැහුම් 90 ක් යෙදීමට වෛද්‍යවරුන්ට සිදුවිය.

“මට මේ තුවාලවලින් කිසිම වේදනාවක් දැනෙන්නෙ නෑ. මට දැනෙන්නෙ සතුටක් විතරයි. ඒ මට මගේ නංගිව බේරගන්න පුළුවන් වුණ හින්දා. ඒ වෙලාවෙ මගෙ නංගි වෙනුවෙන් කවුරු හරි මැරෙන්න හිටියානම් ඒ කවුරුවත් නෙවෙයි මම ම විතරයි.” ඒ සොයුරු පෙම උතුරා ගිය බ්‍රිජර්ගේ වදන් ය.

බ්‍රිජර්ගේ විකෘති වූ මුහුණ යථා තත්ත්වයට පමුණුවාලීමට මේ වන විට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් තිදෙනෙක් ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වී සිටිති.

බ්‍රිජර් වෝකර් මේ වනවිට අන්තර්ජාතික ක්‍රීඩා තලයේ මාතෘකාවක් බවට පත්වී තිබේ. ඒ, ලෝක බොක්සිං කවුන්සිලය ඔහු පූර්ණකාලීන ලෝක ශූරයකු ලෙස පිළිගෙන ඊට අදාළ ගෞරව පටිය ඔහු වෙත ප්‍රදානය කර ඇති හෙයිනි. එපමණක් නොව ඔහුගේ නමින් නව බොක්සිං බර පන්තියක් නම් කිරීමටද මේ කවුන්සිලය පියවර ගත්තේය.

බොක්සිං ලොවේ කිරුළු පැලඳි මයික් ටයිසන්ගේ අදහස් දැක්වීමකින් බ්‍රිජර් වෝකර් ගැන ලියවුණු මේ සටහන අවසන් කරන්නට කැමතිය.

“ඔබ ශූරයෙක් බවට කිසිම සැකයක් නැහැ. ඒ ශූර බව ඔබේ ලේවලම තිබෙනවා. තමන්ගෙ ජීවිතය ගැන නොතකා තවත් ජීවිතයක් බේරාගැනීම තරම් ශූරකමක් තවත් තිබේද? ඔබ ශූරයෙක් වන්නේ ඔබේ සොහොයුරියට පමණක් නොව මුළු ලෝකයටමයි.”

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Comments