වෙඩිසිංහගෙන් පසු බිහි වූ තෙවැනි පරපුරේ විශිෂ්ටතම යතුරුපැදි ශූරයා තවමත් ගිලන් ඇඳේ | සිළුමිණ

වෙඩිසිංහගෙන් පසු බිහි වූ තෙවැනි පරපුරේ විශිෂ්ටතම යතුරුපැදි ශූරයා තවමත් ගිලන් ඇඳේ

 

‘ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩාවේ තෙවැනි පරම්පරාවේ විශිෂ්ටතම යතුරුපැදි ධාවකයා කවුරුන්දැයි ඇසුවහොත් ඒ බුද්ධික කසුන් සිල්වා යැයි කීමට අපහසු නැත. යතුරු පැදි ක්‍රීඩාවේ ඔහු ප්‍රකට කළ දක්ෂතා ඊට ඉවහල් කර ගත හැකි ය. එහෙත් පසුගියදා ඔහු අවාසනාවන්ත ලෙස මහ මඟ දී රිය අනතුරකට ලක්ව මේ වන විට සිටින්නේ ගිලන් ඇඳක ය. බුද්ධික කසුන් සිල්වා ට සිදුවූයේ කුමක් ද? දැන් ඔහුගේ තත්ත්වය කෙසේ ද? මේ ලිපිය ඒ සම්බන්ධයෙන් ය.’

ඔහු යතුරුපැදියට ගොඩ වන විට වයස අවුරුදු පහකි. ඒ සිය පියා වන කීර්තිරත්න සිල්වා ගේ අඩිපාරේ ගිය සොහොයුරා වන යොහාන් රජිත සිල්වා අනුව යමිනි. එය දසක දෙකක් පුරා රට තුළ දක්ෂ යතුරුපැදි ධාවකයෙකු ලෙස සිය නම සනිටුහන් කරගැනීමට ඔහුට උපස්ථම්භක වූයේ ය. ඒ ශූරතා රැසක් හිමි කර ගනිමින් ජාතික ශූරයා බවට ද පත්වෙමිණි.

එහෙයින් ඔහු අදටත් සැලකෙනුයේ මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ යතුරු පැදි ක්‍රීඩා අංශයේ තෙවැනි පරපුරේ විශිෂ්ටතමයා ලෙසය. ඔහුට පෙර ආනන්ද වෙඩිසිංහ හා ගයාන් සඳරුවන් විසින් එහි මුල් පරම්පරා දෙක වර්ණවත් කළ ක්‍රීඩකයෝ ය.

බුද්ධිකගේ දිගු පිම්ම මෙන්ම, හෙලිකොප්ටරයකට ඉහළින් යතුරුපැදි පිම්මක් පනිමින් ඔහු තැබූ ලෝක වාර්තාව ද අමතක කිරීමට නොහැකි ය. එහෙත් ඒ විශිෂ්ටත්වය මතකයක් කරමින් ඔහු අද දිවි ගෙවනුයේ යුද හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ගිලන් ඇඳක ය.

කරාපිටියේ රෝහලෙන් ජීවත් වීමට පමණක් නැවත පුනර්ජීවය ලබන බුද්ධික කසුන් මේ වන විට සිටිනුයේ සියලු මතකයන් අමතකව ගිය හා සිරුරේ දකුණු අර්ධය අප්‍රාණික කෝමා රෝගියකු ලෙසය.

2016 වසරේ සිට මේ දක්වා පිට පිට තෙවසරක් ජාතික ශූරයා ලෙස යතුරුපැදි ක්‍රීඩාවේ ජයකෙහෙළි නැංවූ ඔහුට මෙවන් අනතුරක් සිදුවූයේ කෙසේ ද?

පසුගිය පෙබරවාරි 4 වැනි දා උඩවලව ධාවන පථයේ පුහුණු වීම් නිමවා නැවත යුද හමුදා සංඥා බළකා හමුදා කඳවුරට පැමිණෙමින් සිටිය දී ජාතික වන උද්‍යානයට ඇතුළු වන දොරටුව ඉදිරිපිට දී සිදුවූ මාරාන්තික අනතුර ඊට හේතු වී තිබේ. ඒ ඔහු නැඟී ගිය යතුරුපැදියේ පිටුපසින් පැමිණ ගැටුණු ජීප් රථයක් සිදු කළ අනපේක්ෂිත අන-තුරක් හේතුවෙනි.

වේගයෙන් පැමිණ එකි-නෙකා පසු කර යෑමට උත්සාහ කළ කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් හා ටොයෝටා ලැන්ඩ් කෘෘෂර් වී.8 ජීප් රථයක් එම අනතුර සිදු කර තිබුණේය.

උඩවලව මාර්ගයේ තණමල්විල සිට උඩවලව දෙසට ධාවනය වූ කේ.ඩී.එච්. වෑන් රථය පසුකර ඉදිරියට පැමිණි ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වී.8 ජිප් රථය බුද්ධික පැමිණ ඇති යතුරුපැදියේ ගැටී මෙම බරපතළ අනතුර සිදුව තිබේ.

එහෙත් ජීප් රථයේ රියැදුරා පලාගොස් තිබිණි. අවසානයේ අනතුර සිදු කළ රථය හඳුනාගෙන ඇත්තේ එහි ගැලවී ගිය අංක තහඩුව ගම් වැසියන් විසින් පොලිසිට ලබාදුන් පසුය. මිනිත්තු 45 ක් පමණ ජීවිතයත් මරණයත් අතර සටන් කර තිබූ බුද්ධික හා ඔහුගේ මිතුරා ඇඹිලිපිටිය රෝහල වෙත රැගෙන ගොස් ජීවිත අවදානමෙන් මුදාගෙන තිබුණේය.

2016 වසරේ සිට මේ දක්වා පිට පිට තෙවසරක් ජාතික ශූරයා ලෙස යතුරුපැදි ක්‍රීඩාවේ ජයකෙහෙළි නැංවූ ඔහු 2018 වසරේ දී ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය “ස්ලාඩා” සංවිධානය කළ “හච්” සුපර් සීරීස් තරගාවලියේදී වසරේ දක්ෂතම යතුරුපැදි ධාවකයා විය. එය සුවිශේෂි වන්නේ මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ වසර 90 ක ලිඛිත ඉතිහාසය තුළ තරගාවලියක දී ප්‍රදානය කළ ඉහළම ත්‍යාගය වන නවීන පන්නයේ මෝටර් රථයක් දිනාගත් යතුරුපැදි ධාවකයා වන්නේ ද ඔහු වීමය. ඔහු විසි වසරකට ආසන්න කාලයක් නරිය කන්ද, ගජබා, ගනර්ස්, කටුකුරුන්ද, කැල්වරී, සීගිරිය, ඌව කුඩාඔය කමාන්ඩෝ, විජයබා, එළිය කන්ද, ඇඹිලිපිටිය 4 4, මහගස්තොට හා වලව, යතුරු පැදි ධාවන පථ දිග්විජය කළේය.

බුද්ධික කසුන් යතුරු පැදි ක්‍රීඩාවට එක්ව යුද හමුදාව හා සම්බන්ධ වූයේ වයස අවුරුදු 18 සම්පූර්ණ වීමටත් ප්‍රථම ය. ඔහු අවසන් වරට 2019 වසරේ දී ෆෝක්ස්හීල් සුපර් ක්‍රොස් තරගාවලියට එක්ව එය ජය ගනු ලබන්නේ රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වැයකොට යුද හමුදාව විසින් ලබා දුන් යතුරුපැදිය උපයෝගී කර ගනිමිනි.

යතුරුපැදි ක්‍රීඩාව තුළ ඇති අනාරක්ෂිත බව පසක් කරමින් ඔහු මීට පෙරද ඌව කුඩා ඔය කමාන්ඩෝ ධාවන පථයේදී ද අනතුරකට ලක් වූයේ ය. ඒ 2019 වසරේ දී ය. එවර ඔහුට යුද හමුදා මෝටර් රථ හා යතුරුපැදි සංගමයේ සහය ඇතිව එකී අනතුරෙන් ජීවිත තර්ජනයක් ඇති කර නොගනිමින් සුවතාවය ගොඩනඟා ගැනීමට හැකිවුණේ ය. එහෙත් එකී අනතුරින් ඔහුට සිදු කළ අලාභ හානි යළි දරුණු ලෙස සිදුවූයේ පසුගිය දා ය.

 

----------------------------------

 

හමුදා රෝහලේ ප්‍රකාශය

කසුන් බුද්ධික සම්බන්ධයෙන් යුද හමුදා රෝහල් ප්‍රකාශකයකුගෙන් අප කළ විමසීමක දී ඔහු පැව සූයේ මෙවැන්නකි.

'අපි බුද්ධිකව තවත් සැත්කමකට භාජනය කළ යුතුයි. ඔහු දැනට ඉන්නේ කෝමා තත්ත්වයෙන්. ඒ වගේම ශරීරයේ එක අර්ධයක් අකර්මණ්‍යයි. ශරීර ශක්තිය ලැබුණාට පස්සේ තමයි ඒ සැත්කම කළ හැක්කේ.' යනුවෙනි. ඒ කෙසේ වෙතත් අපේ කාලයේ දීප්තිමත් යතුපැදි ශූරයා අද සිටිනුයේ අවදානම් අඩියක ය. වෛද්‍යවරුන්ගේ හැකියාව, සොබාදහමේ වාසනාව සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබීමත් හැර දැන් අපට අන් යමක් කළ නොහැක. කෙසේ නමුත් කසුන් බුද්ධික මෙරට යතුරුපැදි ධාවන පථයේ පෑ පෙළහර කිසිදා අපට අමතක කළ නොහැකි ය. එහෙයින් දැන් අපට සිදු කළ හැක්කේ ඔහුට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කිරීමය.

ගීෂා මුණසිංහ

Comments