මට ඕනෑ ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව වෙන්නයි | සිළුමිණ

මට ඕනෑ ලෝකයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව වෙන්නයි

 

දශක 4ක කාලයක් පුරාවට මෙරට දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අගැයීමට ලක් කළ සන්ඩේ ඔබ්සර්වර් එස්.එල්.ටී. මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානයේදී ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇගයීම ආරම්භ කළේ මීට වසර 3 ක සිටය.

මෙවර සම්මාන උලෙළේදී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබුවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩක-ක්‍රීඩිකා යුගලකි.

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් දිනුශ්‍රී පරණවිතාන සම්මාන ලබද්දී රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ඩබ්ලිව්. කවීෂා දිල්හාරි වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

බොහෝ දුක්ගැහැට මධ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙමින් තම පාසලට ඉමහත් කීර්තියක් අත් කර දුන් ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් පිලේ සාමාජිකාවක් වන කවීෂා ලැබූ ජයග්‍රහණය ඇයට පමණක් නොව සමස්ත දේවපතිරාජ ප්‍රජාවට ද, ගාල්ල දිස්ත්‍රික්කයට ද දකුණු පළාතට ද බෙහෙවින්ම සුවිශේෂි විය. මේ ඈ සමඟ 'ක්‍රීඩා' පැවැත්වූ සුහද සංවාදයයි.

කවීෂා කෙහොමද ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවුණේ ?

පාසලේදී මම පළමුවෙන් ක්‍රීඩා කළේ දැල්පන්දු. ඒ කාලය වන විට අපේ පාසලේ බාලිකා ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරලා තිබුණේ. දැල්පන්දු ක්‍රීඩා කරද්දි ක්‍රිකට්වලටත් කැමැත්තක් තිබුණා. 8 ශ්‍රේණියේදී නිශාන්ත කුමාර සර් තමයි මාව ක්‍රිකට්වලට තෝරාගත්තෙ. මගේ පුහුණුකරු වුණේ මහේෂ් සඳරුවන් සර්. එහෙම තමයි මම ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තේ. හැබැයි මම ක්‍රිකට් ගහනවාට අම්මා කැමැති වුණේ නෑ. තාත්තා තමයි වැඩියෙන්ම කැමැති වුණේ.

ඔබ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබූ ජයග්‍රහණ?

මම ආරම්භයේ සිටම කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වුණා. 2017/18 තරගාවලියේදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව ලකුණු 353 ක් රැස් කළා. ඒ තමයි මම රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව. 2014 පාසල් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව, 2015 වසරේ 17න් පහළ දක්ෂතම පිතිකාරිනිය, 2018/19 19න් පහළ දක්ෂතම පන්දු යවන්නිය, 2019ර/20 19න් පහළ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව, 2018 සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් ක්‍රිකට් සම්මාන උලෙළේදී දක්ෂතම පිතිකාරිනිය වශයෙන් ජයග්‍රහණ ලැබුවා.

ගමේ,ගෙදර තොරුතුරු ?

මම ඉන්නේ රත්ගම. මම තමයි පවුලේ බාලයා. අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි ඉන්නේ අපේ පවුලේ. මට ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය සහය ගෙදර හැමෝගෙන්ම ලැබුණා. ගෙදර හැමෝම මගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා.

පාසල සම්බන්ධව කිව්වොත්?

මම හයේ පන්තියට තමයි දේවපතිරාජ විද්‍යාලයට ඇතුළු වුණේ. මම මගේ තාත්තා දක්ෂ මලල ක්‍රීඩකයෙක්. ඔහුත් දේවපතිරාජ විද්‍යාලයට ක්‍රීඩා කළා. මම දැල්පන්දු ක්‍රීඩාවේ යෙදී සිටිද්දි තමයි ක්‍රිකට් පටන් ගත්තේ. පාසලේ ගුරුවරු හැමෝම අපිට උදව් කළා. පාසලේ ක්‍රිකට් පුහුණුවීම්වලදී වගේම තරගාවලිවල දී ත් පාසලෙන් සහය ලැබුණා.

ජාතික කණ්ඩායමට එක්වීමට ලැබීම සම්බන්ධයෙන්?

මම පාසල් ක්‍රිකට් තරගාවලිවලදී දැක්වූ දස්කම් නිසා මට පළාත් කණ්ඩායමටත්, සීනිගම ලේඩීස් කණ්ඩායමටත් ක්‍රීඩා කරන්න ලැබුණා. ශ්‍රී ලංකා කාන්තා සංවර්ධන සංචිතයට මාව තෝරාගත්තා. 2018 දී තමයි මාව ජාතික කණ්ඩායමට තෝරා ගත්තේ. පාසල් ක්‍රීඩිකාවක් සමයේදීම ජාතික කාන්තා ක්‍රිකට් පිලට එක්වීමට ලැබීම ගැන විශාල ආඩම්බරයක් දැනෙනවා. මම නිතරම උත්සාහ ගන්නවා කණ්ඩායමට අවශ්‍ය උපරිමය කරන්න. චමරි අක්කා, ශෂිකලා අක්කා ඇතුළු ජාතික කාන්තා පිලේ හැමෝම මට උදවු කරනවා.

සංචාරය කළ රටවල් සම්බන්ධයෙන් කතා කළොත්?

මම ජාතික සංවර්ධන සංචිතය නියෝජනය කරමින් තායිලන්තයේ තරග සංචාරයක නිරත වුණා. ජාතික කණ්ඩායමට එක්වුණාට පසුව බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාවේ සංචාරය කරන්න ලැබුණා.

මේ ගමන එන්න උදවු කළ අය ගැනත් කතා කරමු?

දේවපතිරාජ විද්‍යාලයේ වත්මන් විදුහල්පති කේ.ඩබ්ලිව්.එස්.ජේ. ද සිල්වා සර්, හිටපු විදුහල්පති අල්විස් සර්, නිශාන්ත කුමාර සර්, චමිලා මිස්, දිනූෂා මිස්, පුහුණුකරු මහේෂ් සඳරුවන් සර්, ක්‍රිකට් පුහුණුකරු රංජන් ලසන්ත සර් ඇතුළු පාසලේ ගුරුවරුන් සියලුු දෙනා, ගුණ ජය සතුට පදනම, එහි සභාපති කුෂිල් ගුණසේකර සර්, දිස්ත්‍රික්, පළාත් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්, කළමණාකාරිනියන් ඇතුළු ගොඩක් අය උදවු කළා. ඒ අයගේ සහය නොලැබෙන්න මේ වගේ තැනකට එන්න ලැබෙන්නේ නෑ.

අනාගත බලාපොරොත්තු මොනවද?

හැකිතාක් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළිලා ජාතික ක්‍රිකට් පිලට දායකත්වය ලබා දෙන්න අපේක්ෂා කරනවා. ඒ වගේම කාන්තා ලෝක කුසලානය මව්බිමට දිනාදීමට දායකත්වයක් ලබාදීම මගේ එක් බලාපොරොත්තුවක්. ලෝකයේ ඉන්න දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව වෙන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.

ඡායාරූප - ජගත් ඉරෝෂණ

ඉෂානි යද්දෙහි

 

 

Comments