ප්‍රේක්ෂක ආදරය ලෙල්ලමක් වී මතුවන ක්‍රීඩාවේ අනතුරු | සිළුමිණ

ප්‍රේක්ෂක ආදරය ලෙල්ලමක් වී මතුවන ක්‍රීඩාවේ අනතුරු

 

වසරකට මරණ හතළිහක් පමණ වාර්තා වෙයි

ප්‍රේක්ෂකයන්ට ප්‍රීති වෙන්න උගන්වන්න වෙයි ද?

සංවිධායකයනි, තරග සැලසුම් කිරීමේදී සැලකිලිමත් වන්න

ක්‍රීඩාවේ දී විශේෂයෙන් මාර්ග ආශ්‍රිතව පවත්වන විධිමත් නීති මාලාවක් අනුගත කර නොගන්නා තරග බොහෝ විට රට පුරා පැවැත්වෙයි. එය වැඩිවශයෙන් දැකිය හැක්කේ පාසල් හා අලුත් අවුරුදු උත්සව හෝ ග්‍රාමීය වශයෙන් සංවිධානය කරනු ලබන තරගාවලියන්හිදීය. උදාහරණයකට පාපැදි තරගයක උද්වේගකර අවස්ථාවක අපූර්වත්වයට සජීවී ප්‍රේක්ෂකයා සංග්‍රහ කරමින් සිය සතුට සමරන්නේ විශාල වතුර භාජනයකින් ඉදිරියෙන්ම පැමිණෙන පාපැදි ක්‍රීඩක පොකුර නාවමිනි.

‘එහෙම කළාම වෙහෙස අඩුවෙනවා. තවත් හයියෙන් පදින්න පුලුවන් වෙනවා.’ යැයි වැඩිහිටියන් හෝ වැඩිමහලු තරුණයන් දක්වන අදහස් අනුව යමින් බාල, මහලු සියළුදෙනා ශබ්දවාහිනී යන්ත්‍රයකින් මාර්ග ධාවන තරගයක් හෝ පාපැදි තරගයක් තමන්ගේ නිවෙස ඉදිරිපිටින් තවත් සුළු මොහොතකින් පිටත්ව යන බව සවනත වැකුණු සැණින් කරන්නේ වතුර භාජනයක් සමඟ මාවත අසල රැස්කෑමය. ඇතැමුන් ඒ වෙනුවෙන් පොලිතීන් මලු සූදානම් කර ගෙන සිටින්නේ කෑම පාර්සල් ලබාදෙන්නාක් මෙන් පාපැදි ක්‍රීඩකයන්ට ඒවායින් සංග්‍රහ කරන්නටය. සාමාන්‍යයෙන් මැරතන් ක්‍රීඩකයන්ට නම් ඔවුන් පසු-පස දිව ගොස් වතුරෙන් නැහැවීමට ඇතැමුන් කටයුතු කරන හෙයින් ඇතැම් විට පාපැදි ක්‍රීඩකයන්ට තරම් ප්‍රතිවිරෝධයකට මැරතන් ක්‍රීඩකයන්ට මුහුණ දීමට සිදුවන්නේ නැත. මෙවැනි සංසිද්ධීන් ක්‍රීඩකයාට බලපාන ආකාරය කෙසේ ද? විශේෂයෙන් විද්‍යාත්මක වශයෙන් එමඟින් ගොඩනැඟෙන තත්ත්වය කුමක් ද? මේ ගැන 'ක්‍රීඩා' විමසුවේ ස්කොට්ලන්ත රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසංග විජේරත්න මහතාගෙනි. ඊට ආසන්නතම හේතුව සැපයූවේ පසුගිය දිනක අපේ සහෝදර ඡායාරූප ශිල්පියකු වන සුලෝචන ගමගේ විසින් රැගෙන ආ අපූරු ඡායාරූප පෙළකි. එහිදී පාපැදි තරගකරුවන් පිරිසකට වතුර සංග්‍රහයක නිරතවන ප්‍රේක්ෂකයකු සිය උද්යෝගය ඉහළ යෑම නිසා දමා ගසන්නේ වතුර පමණක් නොව වතුර සහිත භාජනයෙන්මය. ඉන් සිදුවූයේ පාපැදිකරුවා ඇතුළු ඒ පාපැදි පොකුර ඇදවැටී අනතුරකට ලක්වීමයි. මෙහි දැක්වෙන්නේ එකී ඡායාරූප පෙළය.

'සාමාන්‍යයෙන් ක්‍රීඩාව තුළ සිදුවන විවිධ උත්සවවල ක්‍රීඩා අනතුරු හේතුවෙන් එසැණින් හෝ පසු-කලීනව වසරකට ක්‍රීඩකයන් හතළිහක් පමණ මිය යන බවට විශ්වාස කරනවා. විශේෂයෙන් ඒ තත්ත්වය ඇතිවෙන්නේ සංවිධාකයන්ගේ පවතින දුර්වලතා හේතුවෙන් බව පැවසිය යුතුයි. සාමාන්‍යයෙන් තරගාවලියක් සංවිධානය කරද්දී ඔවුන් නිසි වෛද්‍ය උපදෙස් පිළිපදිමින් එවැනි තරගාවලියක් සංවිධානය කළ යුතුයි. නමුත් බොහෝ විට විධිමත් සංවිධානයක් නොවන ආයතනයක් හෝ කණ්ඩායමක් සංවිධානය කරන තරගාවලියකදී නිසි වෛද්‍ය උපදෙස් පිළිපදින්නේ නෑ. මේ තත්ත්වය විශේෂයෙන් අපට දකින්න ලැබෙන්නෙත් දකුණු ආසියානු කලාපයේ රටවල් තුළයි.

පිළිගත් ක්‍රමවේදය

නමුත් පිළිගත් ක්‍රමවේදයන්ට අනුව නම් දුර ධාවන තරගාවලියක් සංවිධානය කරද්දී ක්‍රීඩකයන්ගේ ජල අවශ්‍යතාව සපුරා ගන්න උවමනා කරන ජල බඳුන් තැනින් තැන තැබිය යුතුයි. උදාහරණයකට මැරතන් තරගයක එහෙමත් නැත්නම් මීටර් 2000 ට වඩා දුර දිවීමේ තරගවල සෑම කිලෝ මීටරයක දුරකින්ම මිලි ලීටර් 250 වතුර කෝප්ප තබන්නේ ඒ නිසයි. එය එසේ තබා ඇත්තේ ක්‍රීඩකයන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන්. ඒ තබා ඇති වතුර භාජන ක්‍රීඩකයන්ට අවශ්‍ය නම් පානය කරන්නත්, උවමනාම නම් හිසට වත් කර ගන්නත් පිළිවන්. ඒකත් සුළු ප්‍රමාණයකින් පමණක් වීම මතක තබාගත යුතු දෙයක්. එහෙම නැතිව වැසිකිළි ගෙනියන බාල්දියේ සිට, ළිඳේ පනිට්ටුව දක්වා රැගෙන විත් ක්‍රීඩකයන් නාන්න හෝ ක්‍රීඩකයන්ට නාගන්න තබා නෑ.

සාමාන්‍යයෙන් හෘද ස්පන්-ධන වේගය ඉහළ යද්දී, කෙනෙකුගේ නාඩි වැටීම වැඩි වද්දී එය පහළ දමා ගැනීම පිණිස ජලය යොදාගන්නවා. ඒ් කියන්නේ විවේකී අවස්ථාවල හදවතේ ස්පන්ධනයට ආසන්න මට්ටමකට එය රැගෙන එන්න තමයි එසේ ජලය යොදාගන්නෙ. සාමාන්‍යයෙන් හෘද ස්පන්ධනය පහළොස් වාරයකින් ඉහළ යන විට අපි ජලය යොදාගෙන එය අඩු කරනවා. ඒ්ත් එතැනදී අපිට අයිස් වතුර භාවිත කරන්න බෑ කියන එක මතක තබා ගත යුතුයි. ඔබ දන්නවා උණුසුම් වී සිටින විට එකවර සිසිල් නොකළ යුතුයි කියා. එවිට් 'හීට් ෂොක්' තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ් වගේ තත්ත්වයක් පසුකාලීනව බලපෑම් කළ හැකියි. උදාහරණයකට පද්ධති ආශ්‍රිත ගැටලු සඳහා මෙය ඉවහල් වන්නට හැකියාවක් තිබෙනවා. උදාහරණයකට පෙණහලු සම්බන්ධ, කාඩියෝලොජි ගැටලු නිර්මාණය වන්නට ඇති ඉඩකඩ වැඩි වෙතැයි කිව හැකියි.

නමුත් දියුණු රටවල ක්‍රීඩකයන් දිව යද්දී කුඩා වතුර මල් වැනි ප්‍රදේශ පසුකර යෑමට අවශ්‍ය පසුබිම සංවිධාකයකින් විසින් සලසා දී තිබෙන්නේ විජලන තත්ත්වයන් හා යම් ප්‍රමාණයකට උණුසුම්වී ඇති සිරුර යම් ප්‍රමාණයකට සිසිල් කරවීම පිණිසයි. එය සිදුකරන්නේ විද්‍යාත්මක වශයෙන් විශාල බලපෑමක් ඇතිනොවන ආකාරයටයි.

සුදු පාටට, ක්‍රීම් පාට හුරු ඇඳුම් අඳිනවා. නමුත් අපි දකින්නේ අපේ රටේ තද පාට ඇඳුම් අඳින්නේ. නමුත් පිට රටවල නම් ලියාපදිංචි ක්‍රීඩකයන්ට පමණයි මැරතන් තරග සඳහා තරග වදින්න අවස්ථාව දෙන්නේ. සාමාන්‍යයෙන් කි‌ලෝ මීටර් 10 වැනි තරගවලට සහභාගි වෙන්න අවස්ථාව දෙනවා. නමුත් ඒසේ නොමැතිව පුණ්‍යාධාර වෙනුවෙන් පමණයි සාමාන්‍ය පුද්ගලයන්ට එවැනි මැරතන් තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කරන්න දෙන්නේ. ඒ්ත් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට පසුවයි. ක්‍රීඩාව වෙනුවෙන් එක්වන්නට පෙර හෘද ස්පන්ධනය මිනිත්තුවකට වාර අසූවට වඩා අඩු නම් පමණයි දුර ධාවන තරගයකට ඉදිරිපත් වන්නට අවස්ථාව හිමි වන්නේ. ඒ් වගේම වතුර මිලි ලීටර් 250කට වඩා වතුර ලබාගත යුතු නෑ. අනෙක් අතට ක්‍රීඩකයාට හානි සිදුවන ආකාරයෙන් දියෙන් නැහැවීමක් කිසිසේත්ම සිදුවන්නේ නෑ. ඒ් වගේම සීනි වැඩි බීම වර්ග ලබාදෙන්නේ නෑ. නමුත් ලවණ මිශ්‍රිත බීම වර්ග මිලි ලීටර් 250 ක් යොදාගන්න පිළිවන් වෙනවා. ඒ වෙන දෙයක් නිසා නොවෙයි ධාවනයේ නියැ‍ෙළද්දී දහදිය මඟිින් වතුර හා සිරුරේ ලවණ ගතිය වේගයෙන් ඉවතට යා හැකි නිසා. එවිට කෙණ්ඩ පෙරළීම වගේ තත්ත්වයන් අපේක්ෂා කරන්න සිදුවෙනවා.

ඒ් වගේම ක්‍රීඩාව නිරන්තරයෙන් නොකරන දරුවෙකු නම් කිලෝ මීටර් 3 ක් පමණ උපරිම ධාවනය යෙදුණාට පස්සේ ඔහු හෝ ඇයගේ හිස පොළොවට සමාන්තරව තබා රුධිර ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත්කරන්න කටයුතු කරන්න හැකිවෙනවා. එවිට ක්ලාන්තය හැදීම ආදිය නතර වෙනවා. සුළු ආහාරයක් ගත්තාට කමක් නෑ. විශේෂයෙන් පලතුරු වගේ දෙයක් එතැනදී ලබාගත හැකියි.

ඒ් නිසා අපි කියන්නේ මේ කොවිඩ් සමයේ දරුවන් වැඩි වශයෙන්ම ස්වායු ව්‍යායාම කරලා නැති නිසා සංකූලතා ඇතිවීමේ ගැටලු හා ජීවිත අවදානම වැඩි විය හැකියි. ඒ් නිසා මේ සමයේ ක්‍රීඩා තරග සංවිධානය කරද්දී මේ පිළිබඳ නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා.'

 

කසුන්

ඡායාරූප - සුලෝචන ගමගේ

 

Comments