චරි­තාංග නළු­වන්ට පාර කියා දුන් සිරිල් වික්‍ර­මගේ | සිළුමිණ

චරි­තාංග නළු­වන්ට පාර කියා දුන් සිරිල් වික්‍ර­මගේ

ඔහු හැටේ දශකයේ නිර්මාණය කළ විශිෂ්ට සිනමා කෘති කිහිපයක චරිතාංග රඟපෑවේය. “වල්මත්වූවෝ, වෙස් ගත්තෝ, නිම්වළල්ල, බඹරු ඇවිත්, මොකද වුණේ, කරුමක්කාරයෝ, සුද්දිලාගේ කතාව, සිරි මැදුර, පාලම යට, සෙයිලම, පොඩි විජේ ඒ අතර වෙයි. පුදුමය නම් සිරිල්ට මේ අසාමාන්‍ය විශිෂ්ට චරිතාංග සඳහා නිසි ලෙස ඇගැයුමක් සිදු නොවීමය. එය කනගාටුවට කරුණකි.

 

 

සිරිල් වික්‍රමගේ නම් විශිෂ්ට රංගවේදියාගේ ප්‍රථම රංගාවතරණය වූයේ 1965 වසරේ තිරගත වූ කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ “හඳපාන“ චිත්‍රපටයේ ගැහැනු හොරාගේ චරිතයයි. එය ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්ගේ නවකතාවක් ඇසුරින් සිනමාවට නැඟුණු චිත්‍රපටයකි.

“මම හඳපාන චිත්‍රපටයේ රඟපාන කොට මෙරට වේදිකාගත වූ විශිෂ්ට නාට්‍ය වූ “මූදු පුත්තු, දේවතා එළි, කුවේණි, තවත් උදෑසනක්, පබාවතී, කඳා වළලු, එලොව ගිහින් මෙලොව ආවා, නැට්ටුක්කාරි, ලියතඹරා, වෙස් මුහුණු නාට්‍යවල රඟපාල තිබුණා. මට මුලින්ම චිත්‍රපටයක රඟපාන්න කියලා ආරාධනයක් ලැබුණේ මා තේගිරිස්ගේ චරිතය රඟ පෑ “මූදු පුත්තු“ නාට්‍ය බලන්න ආව සිසිර සේනාරත්න හා හර්බට් එම්. සෙනවිරත්න නාට්‍ය අවසනේ මාව හමුවීමෙන්.

“සිරිල්.... උඹ අපි කරන ‘හඳපානේ‘ පොඩි චරිතයක් කරන්න ඕනෙ. ඔන්න බැහැ කියන්න බැහැ...“ සිසිර කීවා.

“මම මීට ඉස්සර රඟපාල නෑ....“ මම අකමැත්තෙන් කීවා.

“මේක පොඩි චරිතයක් වුණාට චිත්‍රපටයේ කැපී පෙනෙන චරිතයක්. සිරිල්ට තියෙන්නේ පොඩි රාලහාමිට රඟපාන පියදාස ගුණසේකර එක්ක ඒ චරිතය රඟපාන්න.“

“මොකක්ද? චරිතෙ. ඉස්සර නං ‘හඳපාන‘ නවකතාව කියවල තිබුණා.“

 

 

බඹරු ඇවිත් චිත්‍රපටයේ මාලනි ෆොන්සේකා සමඟ
 
 
වෙස්ගත්තෝ චිත්‍රපටයේ සෝමසිරි දෙනිපිටිය හා නාමෙල් වීරමුනි සමඟ
 
 
සත්සමුදුර චිත්‍රපට ය දර්ශන තලයේ මහාචාර්ය සිරි ගුණසිංහ හා දෙනවක හාමිනේ සමඟ
 
 

“මේක හරමා කියන, ගෑනියෙක් හොරකම් කර ගෙන යන චරිතයක්. විජිත මල්ලිකාව උස්සගෙන යන්න තියෙන්නෙ. සිරිල් හොඳ ‘බොඩි බිල්ඩර්‘ කෙනෙක්නේ, වැඩේ ලේසියි.“ හර්බට් එල්. සෙනෙවිරත්න කිව්වා.

සිරිල්ගේ දෙවැනි චිත්‍රපටය වූයේ “සත් සමුදුර“ ය. එය ද සිදු වූයේ නාට්‍යයක ඔහු රඟ පෑ නාට්‍යයක් අවසන් වීමෙන් පසු ලැබුණු ආරාධනයකිනි. එදා සිරිල් රඟපෑවේ සරච්චන්ද්‍රයන්ගේ “පබාවතී“ නාට්‍යයේ ඔක්කාක රජු හැටියට ය.

“අපි ගුණසේන ගලප්පත්ති ගේ “මූදු පුත්තු“ නාට්‍යයෙන් චිත්‍රපටයක් හදන්න හිතාගෙන ඉන්නවා. සිරිලුත් ඒකට සම්බන්ධ කර ගන්න අපි කැමතියි.“ දොස්තර ලීනස් දිසානායක කිව්වා.

ගුණසේන ගලප්පත්ති අධ්‍යක්ෂණය කිරීමට සිටි ඒ චිත්‍රපටය අතරමග ඇණ හිටියේ “මූදු පුත්තු“ නාට්‍යයේ පිටපත මහරගම සමන් මුද්‍රණාලයට පවරා එය මුද්‍රණය කිරීමට අවසර දී තිබීම ය. කෙසේ වෙතත් ගලප්පත්ති මේ චිත්‍රපටයේ තිර නාටකය ලිවීමට මිස අධ්‍යක්ෂණය කිරීමට සිරි ගුණසිංහ ගේ නම යෝජනා කර තිබුණු බවත් ඉන්පසු සිරි ගුණසිංහ අලුත් තිර නාටකයක් තම ශිෂ්‍ය වසන්ත ඔබේසේකර සමඟ ලියා සත් සමුදුර නමින් අධ්‍යක්ෂණය කළ බව පැවසේ.

“මම චිත්‍රපටයේ රඟපෑවේ ධීවර ගමක ජීවත් වන මාළු අල්ලන තරුණයෙකු වූ ගුණදාස හැටියට. මගේ යාළුවෝ හැටියට සෝමසිරි දෙනිපිටිය, ජෝර්ජ් සිල්වා, සුමිත් රාජසිංහ, ගබරියෙල්, ස්ටැන්ලි රෝසා රඟපෑවා. මගේ අයියා සිරිසේනට රඟපෑවේ ‘මනමේ‘ වැදි රජු එඩ්මන් විජේසිංහ. අපේ අම්මාට රඟපෑවේ දෙනවක හාමිනේ. අයියාගේ බිරිඳ ලෙස ස්වර්ණා මල්ලවාරච්චිත්, මගේ පෙම්වතී ලෙස ලීනා ප්‍රනාන්දු රඟපෑව. අපි ඔක්කොම අලුත් නළු නිළියෝ. කිසිම දිලිසෙන තරුවක් නැහැ. මේ චිත්‍රපටයේ දර්ශන වලින් 90% රූගත වුණේ මීගමුවේ පිටිපන කියන ගමේ මුහුද අසල මම මේ චිත්‍රපටයේ අවසාන දර්ශනයේ තනිව ජීවත් වූ අම්මාටත් මටත් තිබූ අගහිඟකම් නිසා හිතුවක්කාර ලෙස වාරකන් කාලයේ මුහුදු යන දර්ශනය මට කිසිදා අමතක වන්නේ නෑ. කොටින්ම මම ඇත්තටම මැරෙන්න ගියා.“ සිරිල් කීවේය.

මේ දර්ශනය රූගත වන අවස්ථාවේ සිටි අධ්‍යක්ෂක ආචාර්ය සිරිත්, කැමරා ශිල්පී නිහාල්සිංහත්, නිෂ්පාදක දොස්තර ලීනස් අද ජීවතුන් අතර නැත. චිත්‍රපටයේ නිෂ්පාදකගේ පුත්‍ර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, සංස්කරණ ශිල්පී ලාල් දිසානායක එදා පාසල් සිසුවකු ලෙස දුටු සිරිල් මැරෙන්නම ගිය අවස්ථාව අපට විස්තර කළේ මෙසේය.

“එදා ඒ දර්ශනය රූපගත කළේ ත්‍රිකුණාමලයට ඈතින් තිබූ නිලාවැලි, කුච්චවේලි මුහුදේ. එදා තිබුණේ ධාරාණිපාත වරුසාවක් සහිත දර්ශනයක් ගන්න. කෝකටත් අපි ගිනි නිවන හමුදාවේ තියෙන විශාල වතුර පොම්පයක් ගෙනල්ලා සූදානමින් හිටියෙ. උදේ 8 ට පමණ රූගත කිරීම ආරම්භ කරල අවසන් වුණේ අඳුරත් ඇවිදින් මුහුදෙ තරමක ඈත බෝට්ටුවකට වෙලා හුළං පහරට ගොදුරුවන සිරිල්ගේ දර්ශනයක්. තව පැත්තකින් හුළං පහරට ගොදුරු වෙන සිරිල් ගිනි නිවන හමුදාව මැවූ කෘත්‍රිම වැස්සට තෙමිලා හෙම්බත් වෙලා. නිහාල්සිංහ මේ දර්ශනය ගත්තේ කලින් සූදානම් කර තිබූ මියගිය විශාල කොප්පරා මාළුවෙක් සිරිල්ගේ ඇඟට වේගයෙන් වීසි කරන්න. මාළුවා සිරිල්ගේ ඇඟට වීසි කරද්දී උගේ හොට එල්ල වුණේ ඇඟට. මාළුවා කෙළින්ම වැදුණා නම් අද අපිට සිරිල් වික්‍රමගේ කෙනෙක් නෑ.“

සිරිල් කියන්නේ මේ කතාවය.

 

සත්සමුදුර චිත්‍රපටයෙන්

 

“එදා මගේ ඇඟට දාපු ලොකු කොප්පරා මාළුවා එක්ක සටන් කරන අවස්ථාව මට ජීවිතේට අමතක වෙන්නේ නෑ. ගිනි නිවන හමුදාවේ පොම්පෙන් ඝන සැරේට මැවූ කෘත්‍රිම වැස්සෙන් එක පැත්තකින් හෙම්බත් වෙලා. ආපහු එන්නත් බෑ. මුහුද යකා නටනවා. හුළං පාරට මාව වැනෙනවා. මගේ කාය ශක්තිය නිසා සමබරතාව තියා ගන්න පුළුවන් වුණා. තව පොඩ්ඩෙන් මුහුදේ මැදම මැරෙනවා. මාළුවගේ හොට වැදිලා හොට ඇනිලා පපුව තුවාල වෙලා. මම දන්න ශිල්ප දාලා මාළුවාගේ හොට අනිත් පැත්තට හැරෙව්වා. චිත්‍රපටයේ මේ අන්තිම දර්ශනය තිරයෙන් දැක්කම සතුටක් වගෙම ලොකු බයකුත් ඇති වුණා. ඒ දර්ශන තුළ තිබූ ත්‍රාසය, භීතිය, කුතුහලය මතු වුණේ සෝමදාස ඇල්විටිගලගේ සංගීත සංධ්වනියක් වැනි පසුබිම් සංගීතයෙනුත්, නිහාල්සිංහගේ කැමරාවෙනුත් තීව්‍ර වුණා. දර්ශනය ඉවර වුණාම මාව ගැහෙන්න පටන් ගත්තා. ඩොක්ටර් ලීනස් මාව තම මෝටර් රථයේ නංවාගෙන තමාට අයත් මීගමුවේ පුද්ගලික රෝහලේ සාත්තු නිවාසයට ගෙන ගිහින් ප්‍රථමාධාර දුන්නා.“ සිරිල් ඒ මොහොත අපට විස්තර කළේය.

සිරිල් වික්‍රමගේ යනු සිංහල සිනමාවේ චරිතාංග නළුවන්ට පාර කියා දුන් තරු සංකල්පනයෙන් බැහැර වූ රංගන ශිල්පියෙකි. ‘සාරවිට‘ චිත්‍රපටයෙන් ජෝ අබේවික්‍රමගෙන් ඇරඹි ඒ චරිතාංග රංගනය හැටේ දශකයේ සිට ඉදිරියට ගෙන ගියේ සිරිල්ය.

1932 ජනවාරි 26 වෙනිදා කුරුණෑගල කොහිලගෙදර ගමේ උපන් සිරිල් වික්‍රමගේ තම පියාගෙන් කලා ආභාසය ලැබීය.

“මගේ තාත්තා චාල්ස් වික්‍රමගේ ගොවියෙක්. රැකියාව ගොවිකම. අම්මගේ නම ලීඩියා. වෙල් විදාන කෙනෙකුගේ දුවක්. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ අට දෙනයි. මම පස්වැනියා. අද ජීවතුන් අතර ඉන්නේ අක්කයි මල්ලි කෙනෙකු විතරයි. අපේ ගමට වාහනයක් එන්න පාරක් තිබුණේ නෑ. මම මුලින්ම ඉගෙන ගන්න සැතැප්ම 9ක් පයින් ගියේ ගැලවීමේ හමුදාවේ ආධාර ලබන පාසලකට. ඒ කාලේ ලෝක යුද්ධය තදේට තිබුණ කාලයක්. මට පුංචි කාලේ මතකයි කාපිරි සොල්දාදුවෝ අපේ ගමේ සැරිසරනවා. තාත්තාට කලාව පිහිටලා තිබුණා. දක්ෂ නැටුම් ශිල්පියකු වූ තාත්තාට බෙර ගහන්නත් දක්ෂතාවයක් තිබුණා. තාත්තා මේව කාගෙන් ඉගෙන ගත්තා ද කියලා කිව්වේ නැහැ. ගමේ නාඩගම් මඬුවේ තාත්තා ‘බැලසන්ත‘ නාඩගමේ අපූරුවට රඟ පෑ හැටි වැඩිහිටියන් කියන කතාවලින් මට දැනගන්න ලැබුණා.

“සිරිල් උඹලගේ තාත්තා ගොවිතැන් බත් කරනනියම කලාකාරයෙක්. ඒ වගේ නටන්න, බෙර ගහන්න, නාඩගම් නටන්න කෙනෙක් වයඹ පළාතේම හිටියේ නෑ.“ වැඩිහිටියෙක් මට කිව්වේ කුඹුරු වැඩවලට පැමිණ ඇඹුල කන අතරවාරේ. ඒත් තාත්තා දරුවන්ට කිව්වේ මෙහෙම.

“හැබැයි පුතෝ, මම වගේ බෙර ගහනවා නටනවා නෙවෙයි උඹලා. හොඳට ඉගෙන ගන්න ඕනෑ. මේව මම ගොවිතැන් කරලා නිකං ඉන්න බැරිවට කරන ඒවා.“

“අපේ ගමට ඇවිත් “අම්මා“, “සීදේවී“ කියන විමලවීර මාස්ටර්ගේ ටීටර් පෙන්නපු දවසේ එඩී ජුනියර් හා පර්ල් වාසුදේවි රඟපානව දැකලා මට රඟපාන්න හිතුණා. ඊට පස්සේ කුරුණෑගල රොක්සි සිනමාහලේ “කඩවුණු පොරොන්දුව“ චිත්‍රපටය පෙන්වන විට මම බලන් හිටියේ තිරය රූප වැටෙන්නේ කොහොමද කියලා. මට මේක මැජික් එකක්.“

සිරිල් අපට කී ආකාරයට, තමා වයලීන් හා තබ්ලා වාදනයට දක්ෂයෙක්ව සිටි බව ය. ගමේ මඟුල්වල ‘බජව් පාටි‘ වල සින්දුත් කියලා වාදනයත් කළාලු. ඒ කතා සිරිල් කියන විට අපට එකවරම මතකයට ආවේ “සත් සමුදුරේ‘ ඔහු මිතුරන් සමඟ එක්වී ගැයූ “දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරි“ ගීතය මැන්ඩලීනයක් වයමින් ගැයූ දර්ශනයයි. (චිත්‍රපටයේ පසුබිම් ගායනය එම්.ඩී. චන්ද්‍රපාලගෙනි.) සිරිල්ට උපතින්ම හිමි වූ අර ලස්සන හිනාව, ජවය, තාරුණ්‍යය කැටි කළ දර්ශනයකි මේ. මහනුවර සිරිල් පෙරේරා කලායතනයේ අධිපතිගෙන් (ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා ගේ පියා) වයලීන වාදනය ඉගෙන ගත් සිරිල් ගාන්ධර්ව විභාගයෙන් සමත්ව කොළඹ ගොස් සංගීතඥ සදානන්ද පට්ටිආරච්චිගෙන් ද වැඩි දුර සංගීතය ඉගෙන ගත්තේය.

“මම ගමේ පාසලින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වී පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලබා විද්‍යෙදය විශ්වවිද්‍යාලයෙන් (අද ජ‘පුර) උපාධිය ලැබූ මගේ මුල්ම ගුරු පත්වීම මට ලැබුණේ රත්මලාන අඳ, ගොළු, බිහිරි විද්‍යාලයට. අහිංසක දරුවන් සමඟ ගත කළ ඒ කාලය මගේ ඉදිරි රංගන ජීවිතයට අත්පොතක් වුණා. එතැනින් කොළඹ වෙස්ලි විද්‍යාලයේ ගුරුවරයෙක් වීමෙන් මගේ කලා ලෝකයට දොරටුව විවෘත වුණා. එහි ම ගුරුවරයකුව සිටි ෆීලික්ස් ප්‍රේමවර්ධන ගේ “මිනිස් ගතිය“ නම් වේදිකා නාට්‍යයේ රඟපෑමෙන් මම ප්‍රසිද්ධ වේදිකාවට ආව. විද්‍යාලයේ නැටුම් ගුරුවරයා වූ ශ්‍රී ජයනා ගේ “රණතිසර“ නාට්‍යයේ මම රඟන විටයි සුප්‍රකට ගායක, ගීත රචක ආනන්ද සමරකෝන් මාව ඔහුගේ “රන් එතනා“ නාට්‍යයට තෝරා ගත්තේ. ඒ නාට්‍ය යේ රඟ පෑ ධම්ම ජාගොඩ සහ ෂෙල්ටන් සිල්වා හඳුනා ගැනීමෙන් මගේ කලා ජීවිතයට රුකුලක් ලැබුණා.“ සිරිල් තම අතීත කතාවක් සිහිපත් කළේය.

මේ කාලයේ සිරිල් නවාතැන් ගෙන සිටියේ බොරැල්ලේ “ඩි රොයි“ රෙස්ට්ටුරන්ට් එකේ උඩු මහලේ කාමරයකය. ධම්ම හා සමරකෝන් එහි නවාතැන් ගත්හ. මේ අතර ධම්ම හා කාය වර්ධනය ව්‍යායාම් කළේ. මිතුරෝ ඔවුන්ට කීවේ “හොඳ බොඩි බිල්ඩර්ස්ලා“ කියාය. හැටේ දශකයේ නිර්මාණය කළ හොඳම විශිෂ්ට සිනමා කෘති කිහිපයක චරිතාංග රඟ පෑවේය. “වල්මත්වූවෝ, වෙස් ගත්තෝ, නිම්වළල්ල, බඹරු ඇවිත්, මොකද වුණේ, කරුමක්කාරයෝ, සුද්දිලාගේ කතාව, සිරි මැදුර, පාලම යට, සෙයිලම, පොඩි විජේ ඒ අතර වෙයි. පුදුමය නම් සිරිල්ට මේ අසාමාන්‍ය විශිෂ්ට චරිතාංග සඳහා නිසි ලෙස ඇගැයුමක් සිදු නොවීමය. එය කනගාටුවට කරුණකි.

සිරිල්ගේ සිනමා ජීවිතයේ අමතක නොවන අවස්ථා දෙකක් විස්තර කළේය.

“මම හාපුරා කියලා අධ්‍යක්ෂණය කළ “සිහින ලොවක්“ චිත්‍රපටයට ගීතයක් ලියා ගන්න මහගම සේකරව සොයාගෙන ගම්පහ ඔහුගේ ගෙදරට ගියා.

“සේකර, මචං මට සින්දුවක් ඕනෑ. ඉක්මනට ඕනෑ.“

“කලබලේ සින්දුවක් ලියන්න බැහැ. උඹට හදිසි නම් මගේ මේ දිනපොතේ මම කුරුටු ගාපු ගීත කීපයක් ඇති. චිත්‍රපටයට ගැළපෙන ගීතයක් උඹ තෝරා ගනින්.“

මම දිනපොත පෙරළලා බැලුවම ගැළපෙනම ගීතය හමුවුණා. “මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි.“ ලියපු කඩදාසිය කඩා ගත්තා.

“මේ තියෙන්නේ මට ඕනෑ සින්දුව“ මම කෑගහල සේකරට කිව්වා.

මම සින්දුවත් අරං සංගීත අධ්‍යක්ෂ සෝමදාස ඇල්විටිගල සොයා ගෙන ගිහින් දුන්නා.

“මේකට මම හොඳ තනුවක් දාන්නම්. අපි අමරේ ලවා රහට මේක කියවමු.“ ඇල්විටිගල අමරදේවගේ නම යෝජනා කළා.

අද සේකරත්, අමරදේවත්, ඇල්විටිගලත් ජීවතුන් අතර නැහැ. ඒත්, “මේ ලොව යම් කිසිවකු මා හට පෙම් කළ බව එතකොට ඒ ගී රාවය හීන් හඬින්“ මට තවමත් ඇහෙනවා.

සිරිල් වික්‍රමගේ නම් මේ විශිෂ්ට රංගවේදියා 89 වැනි විය පසු කරමින් ගල්කිස්සේ ටෙම්පලර් පාරේ කලාපුර නිවාසයේ පදිංචිව සිටී. සිරිල්ගේ බිරිඳ විනිෆ්‍රීඩා පෙරේරාය. ඇය සංගීත අධ්‍යක්ෂ, චිත්‍රපට නළු වින්සන්ට් ප්‍රේමසිරිගේ සහෝදරියකි. චන්දන, වත්සලා, දිසාලා, ලක්ෂිත ඔවුන්ගේ දූ දරුවන්ය.

 

Comments