‘කොව්ඩ්ව­ලට ඔරොත්තු දෙන ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟිය යුතුයි’ | සිළුමිණ

‘කොව්ඩ්ව­ලට ඔරොත්තු දෙන ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟිය යුතුයි’

මෙරට පළමු කොවිඩ් 19 රැල්ල ඇතිවූයේ 2019 මාර්තු මාසයේ වන අතර එය සැලකිය යුතු ප්‍රමාණයට පාලනය කර ගැනීමට හැකිවිය. දෙවැනි රැල්ල 2019 වසරේ මැද භාගයේදී ඇති වූ අතර එය පාලනය කර ගැනීම සෑහෙන තරමක් දුෂ්කර කාර්යයක් විය. එසේම ඉදිරි මාස ගණනාවද කොවිඩ් සමඟ ජීවත් වීමට අපට සිදුවිය හැකියි.

මෙවැනි තත්ත්වයන් රටක ආර්ථිකය කෙරෙහි බලපානු ලැබීම සාමාන්‍ය තත්ත්වයකි. එහිදි නිෂ්පාදනය කඩා වැටීම, නිෂ්පාදනය ඇන හිටීම ආදායම් හා පරිභෝජන මට්ටම් පහත වැටීම වැනි ප්‍රතිවිපාක ඇතිවෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථීකය 2019 දී ඍණ වේගයකින් වර්ධනය වීම කොවිඩ් 19 වසංගතය මඟින් පමණක් විග්‍රහ කිරීමට නොහැකි අතර එය න්‍යායාත්මකව බැලිය යුතු කරුණකි. මක්නිසාද යත් 2019 කොවිඩ් රැල්ල ඒමට පෙර සිටම ශ්‍රී ලංකාවේ ආර්ථිකය පහතට ඇඳ වැටීම ආරම්භ වී තිබුණු නිසාවෙනි. වඩාත් නිවැරදිව සඳහන් කරන්නේ නම් ‌ෙකාවිඩ් රැල්ල ඇතිවන විටත් මෙරට ආර්ථිකය දුර්වල වෙමින් කඩා වැටෙමින් තිබිණි.

මේ ආර්ථික වෘද්ධි වේගය කඩාවැටීම කොවිඩ් හරහා උත්සන්න වීමක් දක්නට ලැබුණු අතර; ලෝකයේ අනෙක් රටවල් මෙන් ලංකාවේද සෘණ ආර්ථීක වෘද්ධි වේගයක් ඇති වීමට හේතු විය. 2021 වන විට කොවිඩ් 19 රැල්ල යම් ප්‍රමාණයකට අඩුවේතැයි සිතිය හැකියි. විශේෂයෙන්ම එන්නත් කිරීම් ඇරැඹීමත් සාමාන්‍ය සෞඛ්‍ය පුරුදු ජන සමාජයෙන් පැවැතීම නිසාත් 2021 වසරේදි කොවිඩ්වල බලපෑම් කිසියම් ප්‍රමාණයකින් අඩු වෙතැයි විස්වාස කළ හැකියි. නමුත් ඉදිරි කාලය තුළ අපිට ඉදිරි දිශානතිය පිළිබඳව නිෂ්චිත වශයෙන් කිව නොහැකිවෙයි. ලංකාවේ මහා බැංකුව බලාපොරොත්තු වන්නේ 2020 දී පැවැති සෘණ ආර්ථික වෘද්ධි වේගයෙන් ගොඩ ඒම සඳහා 5% පමණ ධන ආර්ථික වෘද්ධි වේගයක් ඇතිවිය යුතු බවයි.

ලෝක බැංකුව විසින් ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන වාර්තාවට අනුව 2021 දී ලංකාවේ ආර්ථික වෘද්ධි වේගය යම් ප්‍රමාණයකට වැඩි වෙයි. 3.5 % ප්‍රමාණයක වෘද්ධි වේගයක් වනු ඇති බව ද පුරෝකතනය කරයි. කෙසේ වුවත් 2021 වසරේදි ධන ආර්ථික වෘද්ධි වේගයක් ඇති වෙතැයි විශ්වාස කළ ද එහි මට්ටම කුමක්ද, යන්න නිසියාකාරව කිව නොහැකිය. පසුගිය වසර හතර පහක කාලයේ ආර්ථිකය කඩා වැටීමේ වේගයට හේතු වූ ප්‍රශ්න ගණනාවක් කොවිඩ් ඇතුළු 2021 දිත් කිසියම් ප්‍රමාණයකට පැවැතීමට ඉඩක් තිබේ යැයි විස්වාස කළ හැකිය. ඒ අනුව එතරම් ලොකු ආර්ථීක පිම්මක් 2021 දී ශ්‍රි ලංකාවට පැනීමට හැකි වෙතැයි සිතීම සාධාරණ නොවෙයි. ඒ නිසා ආර්ථික වර්ධන වේගය ධන අගයක් වෙයි. නමුත් එයට එතරම් කැපී පෙනෙන ඉඩකඩ බොහෝ දුරට අඩු වෙයි. මක්නිසාද යත් ව්‍යුහාත්මක සාධක එසේම පවතින හෙයිනි.

‘මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා තිරසාර සංවර්ධන ආර්ථික වෘද්ධී වේගයකට යවමින්, ඊට අවශ්‍ය පදනම ශ්‍රී ලංකාව දමමින් සිටීද යන්න ඉතා වැදගත් වෙයි. ශ්‍රී ලංකාව නව සංවර්ධන මාවතක් කරා ගෙන යෑම යන කාරණාව මෙහිදි අපිට ඉතා වැදගත් වෙයි. එම ක්‍රියාමාර්ග 2021 කට සීමා නොකර 2025 දක්වා ගත යුතුයි. අප ගත් සංවර්ධන වෑයම පසුගිය කාලයේ ව්‍යුහාත්මකව දුර්වල වීමට සාධක ගණනාවක් බලපෑවේය. පැරණි ආර්ථීක ප්‍රතිපත්ති කට්ටලයෙන් කිසියම් ප්‍රමාණයකට විඳීමක් මේ වසර ගණනාව තුළ දක්නට ලැබිණි. එය ප්‍රමාණවත් ද, ඒ බිඳීමෙන් ඇති කරගත් දෙමුහුන් ආර්ථික ප්‍රතිපත්තිය සාධාරණද, එය කාර්යය සාධනය සඳහා වැදගත්ද යන කරුණු පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි.

එහිදි උදාහරණයක් ලෙස ආයාත සීමා කිරීම ගත හැකිය. ආයාත සීමා කිරීම සහ එම සීමා කළ ආයාත සඳහා ආදේශන නිෂ්පාදන ලංකාව තුළ තිබේද යන කරුණ වැදගත් වෙයි.’

නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියකි ඇතුළු කිරීමක් වුවත්, මේ සීමා කළ ආයාත කර්මාන්ත අංශවලට යොදවා තිබේ ද, ඒ ආර්ථීක ප්‍රතිපත්තිය කෙසේ යොමුකර තිබේද යන ප්‍රශ්නය අපි සාකච්ජා කළ යුතුයි. ලංකාවේ ආහාර අවශ්‍යතාවන් සපුරා ගැනීමට තවමත් ඩොලර් බිලියනයක් පමණ වැය කිරීමට සිදු වෙයි. එයින් ආයාත සීමා කිරීම යම් ප්‍රමාණයකට පැනවුවත්, ලංකාවේ නිෂ්පාදන ක්‍රියාදාමය නියම දිශානතියකට ගමන් ගැනීමක් නොපෙනෙයි. අද ආයාත ආයෝජනය ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයටත් වඩා, විදෙස් විනිම ප්‍රශ්නය එනම් වෙළෙඳ ශේෂ හිඟය යම් ප්‍රමාණයකට අඩු කරගැනීම අරමුණ කරගනිමින් සිදු කරනු ලැබීමයි.

2021 න් පසුව තිරසර සංවර්ධනයක් කරා යෑමට නම් එසේ ප්‍රතිපත්තිමය වෙනසක් ප්‍රමාණවත් නොවන අතර ආයාත සීමා කිරීමද අවශ්‍යය. නමුත් ඒ ආයාත කළ භාණ්ඩය, එම භාණ්ඩ නිෂ්පාදනය කළ දිශානතියකට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්ති කට්ටලයක් ලංකාවේ ආණ්ඩුව අනුගමනය කරයි ද යන්න අපිට පැහැදිලිව නොපෙනෙයි. උදාහරණ ලෙස ගත් විට ලංකාවේ පොලී අනුපාතිකය පහත දැමීමෙන් ලංකාවේ ආයෝජනය විශාල වශයෙන් ඉහළ යතැයි රජය හා මධ්‍යම බැංකුව විශ්වාස කරනු ලැබු බව පෙනෙයි. ඒ නිසා පසුගිය ආණ්ඩු කාලයේ පැවැති ඉලක්කම් දෙකේ පොලි අනුපාතිකය ඉලක්කම් එක දක්වා පහළ දැමීම පමණක් නොව, එම පොලි අනුපාතිකය වසර ගනනාවක් තිස්සේ ස්ථාවරව පවත්වා ගෙන යන්නේය යන ස්ථාවර පොරොන්දුවක ආණ්ඩුව සිටියි.

මේ ප්‍රතිපත්තියේ වැරදි දෙකකි. අනුගමනය කරන‍ මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ සාපල්‍යතාවේ කරුණු දෙකක් වෙයි. එනම් පොලී ප්‍රමාණය පහත දැමීම හේතු කොටගෙන ආයෝජන වැඩි වේතැයි යන සම්බන්ධතාව, පොලිය සහ ආයෝජනය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් පවතින්නේය, එමෙන්ම එම සම්බන්ධතාව ශක්තිමත් එකක්ය, පොලි අනුපාතය පහත දැමීමෙන් ආයෝජනය වැඩි වන්නේය යන තර්කය සැබෑ ලෝකයේ ක්‍රියාත්මක වන්නක් නොවෙයි.

පසුගිය මාස කිහිපයක කාලය තුළ පොලී අනුපාතය පහත වැටී තිබුණත් විශාල වශයෙන් ආයෝජන සඳහා ණය ලබා ගැනීමක් සිදුවී නැත. ඒ නිසා අපිට පෙනි යන්නේ මේ ක්‍රියාදාමය එතරම් ශක්තිමත් නොවන බවයි. ආර්ථික වර්ධනය සඳහා තිරණාත්මක ලෙස බලපාන අංශවල පොලි අනුපාතිකය අඩු කිරීම නොව ලාබ අනුපාතිකය වැඩි කිරීම කෙසේ කළ හැකිද යන කරුණ සම්බන්ධ කළේ නම් එය මීට වඩා සාපල්‍ය ආර්ථික කට්ටලයක් ලෙස යොදා ගත හැකියි. ඒ නිසා පොලි අනුපාතිකය ඉලක්ක කරගැනීම වෙනුවට ලාබ අනුපාතිකය ඉලක්ක කර ගැනීම, එම ලාබ එම අනුපාතිකය නිෂ්පාදන අංශවලට, අයථා අාදේශවලට වැදගත් වන ලෙසත් කිසියම් විශේෂිකරණ වැඩ පිළිවෙළක් ලෙස මීට වඩා සාපල්‍ය ලෙස මෙය යොදා ගැනීමට හැකි වෙතැයි විස්වාස කළ හැකියි. මේනිසා ඉතුරුම් අඩුවීම හේතු කරගෙන ණය අරමුදල් අඩුවීම නිසා නැවත වතාවක් පොලි අනුපාතයන් ඉහළ යෑමට හැකි වෙයි.

එමෙන්ම ප්‍රාග්ධනය නිෂ්පාදන සාධකයක් ලෙස සැලකීමේදි එම ප්‍රාග්ධනය ආර්ථික සංවර්ධනයට ගැළපෙන ආකාරයට අවශ්‍ය මාර්ග කරාගමන් කරවීමේ ක්‍රියාදාමයක් සවිඥානිකව ක්‍රියාත්මක වෙයි. බොහෝ විට ඈත අතීතයේ සිට ලෝක ආර්ථික සංවර්ධන ඉතිහාසය පිළිබඳව පිරික්සිමේදි එය ඉතා පැහැදිලි වෙයි. ප්‍රාග්ධනය වැදගත් අංශවලට ගමන් කිරිමේදී නිසි පරිදි පාලනයකට නතු කිරීම සිදු කළ යුතුයි. මේ සඳහා බොහෝ රටවල් අනුගමනය කරන ලද ක්‍රමවේදයක් නම් රාජ්‍ය මැදිහත් වන්නා වූ විශාල සංවර්ධන බැංකු ඇති කිරීමයි. මෙවැනි ජාතික සංවර්ධන බැංකු පිහිටුවීම නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් තුළ වුවද ක්‍රියාවට නැංවීම නිසි ලෙස කළ යුුතුය. සංවර්ධන බැංකුවක් පිහිටුවන්නේ නම් සියලු ආකාර සංවර්ධන බැංකු පිහිටුවා මේ බැංකුව විශාල ප්‍රාග්ධන බැංකුවක් ලෙස ගොඩනැඟීම කළ යුුතුය. කර්මාන්ත හෝ කෘෂි කර්මාන්ත යන ආකාරයට බෙදිය හැකියි.

මෙවැන්නක් කළ හැකි වන්නේ සංවර්ධන බැංකු යළිත් රාජය යටතට ගැනීමෙන් සහ වෙනත් සංවර්ධන බැංකු එකතු කරගනිමින් ඇති කරන සංවර්ධන බැංකුවකින් පමණයි මෙවැන්නක් කළ හැකි වන්නේ. මෙය ඉතා ම හොඳ සංවර්ධන ක්‍රියාදාමකි. නමුත් එය වැරදි ලෙස ක්‍රියාවට නැංවීමක් දක්නට ලැබෙයි.

2015 සිට 2019 දක්වා අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිවලින් යම් කඩනයක් පෙන්නුම් කළත්, එම කඩනය ප්‍රමාණවත් පරිදි ඉදිරියට ගෙනයාමක් ‍ෙහා් නිවැරදි ඉලක්ක කර ගැනීමක් දක්නට අසීරුය. මේ නිසා කොවිඩ් 19 පාලනය කළත් ආර්ථිකය කඩා වැටීම හේතු වූ ව්‍යුහාත්මක සාධක නිසි පරිදි ආමන්ත්‍රණය කිරීමක් මේ දැක්ම ආර්ථික ප්‍රතිපත්ති තලයෙහි දක්නට නොලැබෙයි. පැරණි ආර්ථික ප්‍රතිපත්ති කැඩීම වෙනස් කිරීම වැදගත් වන අතර ඒ කැඩීම වෙනස් කිරිම ඒවායේ තීරණාත්මක ප්‍රතිපත්තීන් අනුව ගෙන නොයන්නේ නම් දෙමුහුන් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් ආර්ථිකයේ ව්‍යුහාත්මක සාධකයන්ගෙන් ඇති කරන ලද පීඩනය වළක්වා ගැනීමට නොහැකි වෙයි.

කොවිඩ් සමඟ ඇතිවූ තවත් ගැටලුවක් නම් ඇතැම් ක්ෂේත්‍රවලින් ලැබුණ ආදායම අඩු වීමයි. ඒ මෙන්ම නිර්යාත ආදායම අඩුවීම සංචාරක ව්‍යාපාරය නිර්යාත ආදායම, විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම අඩුවී යන මෙවැනි තත්ත්වයක් මත ආර්ථිකය ගොඩනැඟීමට නම් කොවිඩ් වලට ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. ලෝක ආර්ථික අර්බුදයක් ඇති වී තිබීම නිසා විශාල වශයෙන් අපේ නිර්යාත ඉහළ යාම ද සංචාරකයන් පැමිණිම ද, ශ්‍රමිකයන් පිටරට යෑමේ හැකියාව ද අඩුවී ඇත. මෙවැනි තත්ත්වයක් තුළ වුවද සංවර්ධනය කළ හැකි අංශවලට අපි යොමු විය යුතුයි.

මේ අනුව ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇති කර ගැනීම සඳහා මේ අවස්ථාවේ අපට අනුගමනය කළ හැකි වැදගත් ප්‍රතිපත්තිය නම් මේ රටේ කෘෂි කර්මාන්තයේ ව්‍යුහාත්මක දුර්වලතාවන් නැති කර කෘෂිකර්මය ශක්තිමත් ආර්ථික අංශයක් බවට පත් කරලීමයි. මෙසේ කිරීමට නම් පැරණි කෘෂි කාර්මික නිෂ්පාදන මාදිලිය සහමුලින්ම වෙනස් කළ යුතුයි.

පවතින සහල් මිල එයට හොඳ උදාහරණයකි. මොල් හිමියන්ගේ ගැටලුව මෙන්ම නිෂ්පාදන වියදමද මේවන විට ඉහළ ගොස් ඇත. ඒ නිසා අපි යායුතු වන්නේ නිෂ්පාදන වියදම අඩුවන නිෂ්පාදන ක්‍රියාවලියකටය. හන්තානයේ රජයට අයත් රජයේ මූලික අධ්‍යයනය ආයතනයේ විශේෂඥයන් දෙදෙනකු විසින් කළ පර්යේෂණ අනුව ලංකාවේ නිෂ්පාදන මාදිලිය වෙනස්කළ හොත් රුපියල් 75ක මිලකට සහල් ලබා දීමට හැකියාව ලැබෙන බව ඔවුන් සඳහන් කර ඇත. එහෙත් ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කතා කරන කිසිවෙක් මේ පිළිබඳව සැලකිලිමත් වී නැත. මෙයින් පෙනී යන කරුණක් නම් ආර්ථික සංවර්ධනය සඳහා තීරණාත්මකව කටයුතු කළ අංශ පිළිබඳව ලංකා ආණ්ඩුව දරන උත්සාහය ප්‍රමාණවත් නැති බවය. තිරසර සංවර්ධනයන් තෝරා ගෙන කෘෂිකාර්මික නිෂ්පාදන අංශ දියුණු කළ යුතුය. 2021 පසු ආර්ථිකයේ ව්‍යූහාත්මක ප්‍රශ්නවලට නිසියාකාරව ආමන්ත්‍රණය කරමින් ආර්ථිකය නිවැරදි මාවතකයකට ගමන් කිරීමට එය ඉතා වැදගත් වෙයි.

Comments