වැටෙද්දී බේරා ගන්නා බළඇණි­යක් | සිළුමිණ

වැටෙද්දී බේරා ගන්නා බළඇණි­යක්

අනතුරක් සිදුවූ ස්ථානයට ළඟා වූ කණ්ඩායම
අනතුරක් සිදුවූ ස්ථානයට ළඟා වූ කණ්ඩායම

මුළු රටම කම්පා කරමින් 14 දෙනකුට මරු කැඳවා 31 දෙනකු තුවාල ලැබූ පස්සර බස් අනතුර සිදු වී තවම මාසයක් ගත වූයේ නැත. මෙම බස් අනතුර සිදු වූයේ පසුගිය මාර්තු 20 වැනිදා ය. ලුණුගල සිට කොළඹ බලා ගමන් ගත් බස් රථය අනතුරට පත්වීමෙන් පසුව තුවාලකරුවන් සහ මළසිරුරු ගැනීම දුෂ්කර කාර්යයක් වූයේ එය අඩි 250ක ප්‍රපාතයකට පෙරළුණු බැවිනි. ගම්වාසින් එකිනෙකා අත්වැල් අල්ලාගෙන දම්වැලක් සේ සම්බන්ධ වී ප්‍රපාතයේ සිර වී සිටි තුවාලකරුවන් සහ මළසිරුරු එකිනෙක ගොඩට රැගෙන ආවේ ඉතා දුෂ්කර ආකාරයටය. රෝගින් ගොඩට ගන්නා අතරවාරයේදී ගලක් පෙරළීමෙන් සහායට පැමිණි පුද්ගලකු තුවාල ලබා රෝහල් ගත කිරීමට ද සිදු විය.

අනතුරට පත් අයෙකු රැගෙන ඒමට සූදානම් වන අවස්ථාවක්

“පස්සර අනතුර ගැන අපිට ආරංචිය ලැබුණේ අනතුර සිදුවෙලා පැය 1 1/2කට විතර පස්සේ. අනතුර සිද්ධවෙලා පැය 1/2 කින් වගේ අපිට දැනුම් දුන්නා නම් අපිට තවත් ජීවිත බේරාගන්න තිබුණා. අපි ප්‍රමාද වෙලා ගිය නිසා අපිට ජීවිත බේරා ගැනීම සඳහා දායක වෙන්න ලැබුණේ අවසාන භාගයේදී.” යනුවෙන් සඳහන් කළේ අනුර කුමාර ද සිල්වා ය.

ඔහු එසේ පැවසුවේ දශක 3ක් පුරා ගිනි නිවීම් සහ ජීවිත බේරා ගැනීමේ භටයකු වශයෙන් ඔහු කටයුතු කරන නිසාය. ඔහුට මේ සඳහා මූලික පදනම වැටෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙනි. 1987 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු අනුර කුමාර ද සිල්වාව යොමු කෙරුණේ ගිනි නිවීම සහ ජීවිත බේරා ගැනීමේ අංශයටය. සේවා පුහුණුවෙන් පසු ගිනි නිවන සහ ජීවිත බේරා ගැනීමේ සෙබළකු වශයෙන් ලංකාවේ දස දෙස සේවය කළ ඔහු 1989 - 1993 කාල වකවානුවේ සේවය කළේ පලාලි ගුවන් හමුදා කඳවුරේය. උතුරේ ඇවිළුණු ගිනිදැල් අතරින් රිංගා ජීවිත බේරා ගැනීමට කටයුතු කළ අනුර කුමාර ද සිල්වා, සුනාමි ව්‍යසනය, නාය යෑම් වැනි ජාතික ආපදාවලදී ද පෙරමුණ ගෙන කටයුතු කළේය. 2009 වසරේදී ඔහු විශ්‍රාම යන්නේ වසර 11ක් පුරා ගිනි නිවීම සහ ජීවිත බේරා ගැනීමේ උපදේශකවරයකු ලෙස කළ රාජකාරියට සමු දෙමිනි.

ඉන් අනතුරුව ඔහු බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන හමුදාවේ ප්‍රධානියා ලෙස රැකියාවට සම්බන්ධ විය. එහිදී ගිනි නිවීම සහ ජීවිත බේරා ගැනීම සඳහා සිවිල් සමාජය තුළ ඇති ඉඩප්‍රස්ථා ගැන ඔහුට අවබෝධයක් ලැබුණේ ප්‍රථම වතාවටය. ගුවන් හමුදාවේ සේවය කළ බැවින් සිවිල් සමාජයේ ගිනි නිවන හා ජීවිත බේරා ගැනීමේ අවස්ථා ගැන අවබෝධයක් ඔහුට නොලැබී තිබීම ඊට හේතුව විය. සිවිල් සමාජයට යම් මෙහෙවරක් කිරීමේ අදහස ඔහුගේ සිත තුළ පැලපදියම් වූයේ ඉන්පසුවය. වසරක සේවා කාලයකින් පසුව බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන අංශයේ රැකියාවෙන් ඉවත් වූ අනුර ද සිල්වා High Tech Fire And Rescue System ආයතනය 2010 වසරේ ආරම්භ කළේ මහජනතාවට පුළුල් සේවාවක් ලබා දීමේ අරමුණෙනි.

“මම ඉස්සෙල්ලාම පටන් ගත්තේ ආයතනවල ගිනි නිවන උපකරණ සවි කිරීම, අලුත්වැඩියා කිරීම, ජීවිත බේරා ගැනීමේ වැඩසටහන් පුහුණු කිරීම වගේ කටයුතු. ඊටපස්සේ අවුරුදු 2ක් විතර ගිහිල්ලා ජීවිත බේරා ගැනීමේ උපකරණ අරගෙන ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය භටයන් කීපදෙනෙකුත් බඳවාගෙන මගේ ආයතනයේ සේවා කටයුතු පුළුල් කළා. එතනදී මට අවශ්‍ය වුණේ කැලෑවල කඳවුරුගත කිරීම් සහ ත්‍රාසජනක ක්‍රීඩා කිරීම වගේ දේවල්වලට යොමු වෙන්න. ඒ වෙනුවෙන් මම වෙනම ආයතනයක් පටන් ගත්තා. එය High tech Adventure ලෙස නම් කළා. සාමාන්‍යයෙන් කඳු තරණයට වගේ ම කඳවුරු සාදාගෙන ඉන්න ගොඩාක් දෙනා ඇල්ල ප්‍රදේශයට යනවා. ඒ නිසා මමත් ඒ පැත්තේ යනවා. මේ අතරවාරයේදී දවසක් ඇල්ල ප්‍රදේශයේ හෙළකට වාහනයක් පෙරළිලා කට්ටිය වාහනය ගන්න උත්සාහ කරන බව මට දැනගන්න ලැබුණා. ඒ වෙලාවේ මමත් ඇල්ලෙ හිටියේ. මම මගේ කණ්ඩායම එක්ක එතැනට ගියා. මා ළඟ ජීවිත බේරා ගැනීමේ උපකරණ, කඹ හැම දෙයක්ම තිබුණා. කඳු නඟින්න ගන්න උපකරණ තමයි ප්‍රපාතයකට බහින්නත් පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි කට්ටිය හෙළට බැහැලා වාහනය ගොඩට ගත්තා. ඒ 2013 අවුරුද්දේ. එදා මම අහම්බෙන් කරපු දෙයින් ගොඩාක් අය මාව හඳුනා ගත්තා. ඊටපස්සේ වාහන ප්‍රපාතවලට පෙරළුණාම, දියඇලිවලින් ළමයි වැටුණාම මට කතා කරන්න පටන් ගත්තා.” යනුවෙන් විස්තර කළේ අනුර කුමාර ද සිල්වා ය.

අනුර කුමාර ද සිල්වාගේ නිජබිම වන්නේ පස්සර ප්‍රදේශයයි. ඔහුගේ High Tech Fire And Rescue System ආයතනය පිහිටා තිබෙන්නේ බදුල්ල බණ්ඩාරවෙල පාරේ වන බැවින් ඔහු ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා සම්බන්ධ වන්නේ බදුල්ලේ සිට කිලෝමීටර් 35ක් වැනි දුර සීමාවක පමණි.

“අපිට ඉක්මනින් ළඟා විය හැකි දුර ප්‍රමාණයක් තියෙනවානේ. බදුල්ල මැදි කරගෙන පස්සර, ඇල්ල, බණ්ඩාරවෙල, මීගහකිවුල වගේ ප්‍රදේශවල අනතුරක් සිදු වුණාම අපිට ඉක්මනට යන්න පුළුවන්. මේ ප්‍රදේශවල අනතුරු සිද්ධ වෙනවා වැඩියි. ඒ නිසා අනතුරක් සිද්ධ වුණාම ජීවිත බේරා ගැනීම සඳහා පිහිටට එන ආයතනයක් මේ ප්‍රදේශයට අත්‍යවශ්‍යයි. ඒත් මේ පැත්තටම එහෙම පුද්ගලික ආයතනයක් තියෙන්නේ මගේ ආයතනය විතරයි. මේ වගේ අවස්ථාවල සාමාන්‍යයෙන් ක්‍රියා කරන්නේ ගුවන් හමුදාව, යුද හමුදාව පමණයි.” යනුවෙන් අනුර ද සිල්වා සඳහන් කළේය.

අනුර ද සිල්වා සහ ඔහුගේ කණ්ඩායම පිහිටට පැමිණෙන්නේ කිසිදු මුදලක් ලබා නොගෙන ස්වෙච්ඡා සේවකයන් වශයෙනි. ඔහු තවදුරටත් පැවසුවේ ජීවිතයක් බේරා ගැනීමෙන් පසුව ඔවුන්ගෙන් ලැබෙන ස්තුති පූර්වක වදන්, රුපියල් සතවලට වඩා වටිනා බවය.

“මිනිස් ජීවිතයකට මිලක් නියම කරන්න බැහැ. මිනිස් ජීවිතයක් බේරාගන්න නම් මෙච්චර ගණනක් ඕනෑ කියලා කියන්න බැහැ. අපි මේ කාර්යය කරන්නේ මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙනයි. මනුස්සයකුගේ ජීවිතයක් දේපළක් බේරලා දුන්නාම ඒ කෙනාට දැනෙන සතුට ගොඩාක් වටිනවා. ඒ සතුට තමයි අපෙත් සතුට වෙන්නේ.” යනුවෙන් ඔහු තවදුරටත් විස්තර කළේය.

බේරාගැනීමේ කටයුතු අවසන් කළ මොහොතක්

ඔහුගේ ආයතනයේ සේවය කරන පිරිස 23කි. එයින් 6දෙනෙක් අනුර ද සිල්වාගේ පුහුණුව ලබා සේවයට බඳවා ගත් අය වෙති. ඊට අනුර ද සිල්වාගේ පුත්‍රයා ද අයත්ය. සෙසු පිරිස ගුවන් හමුදාවේ ගිනි නිවන සහ ජීවිත බේරා ගැනීමේ නිරත වී විශ්‍රාම ලැබූ පළපුරුදු අය වෙති. මේ දිනවල තවත් නවකයන් 9 දෙනකු පුහුණු කරවන්නේ හදිසි අනතුරකදී සහායට පැමිණෙන ස්වෙච්චා කණ්ඩායමක් සකස් කර ගැනීමටය. අනුර ද සිල්වාගේ High Tech Fire And Rescue System ආයතනයට මුදල් ලැබෙන්නේ ගිනි නිවන උපකරණ සැපයීම, ගිනි නිවන සේවා සැපයීම සහ ගිනි නිවන උපකරණ අලුත්වැඩියා කිරීම යන සේවාවන් මඟිනි. උමාඔය ව්‍යාපෘතියේ ජීවිත බේරා ගැනීම සහ ගිනි නිවීමේ කටයුතු භාරව සිටින්නේ අනුර ද සිල්වාටය. සේවකයන් 23 දෙනාට වැටුප් ගෙවීමටත් ආයතනය පවත්වා ගැනීමටත් අවශ්‍ය මුදල් ලැබෙන්නේ එවැනි සේවා සැපයීම මඟිනි. එහෙත් හදිසි අනතුරකදී අනුර ද සිල්වා ඇතුළු කණ්ඩායම පිහිටට දිව එන්නේ හුදු සමාජ සත්කාරයක් යන උදාර පරමාර්ථයෙන් බව අප අමතක නොකළ යුතුය.

“මේ වන විට අපි ප්‍රපාතවලට පෙරළීමේ අනතුරු නවයකට දහයකට වගේ ගිහින් තියෙනවා. දියඇලිවලින් වැටුණු අයව බේරාගෙන තියෙනවා. වරක් ඇල්ල රොක් ප්‍රදේශයේ පිරිමි ළමයෙකුව වැටිලා කියලා අපිට පණිවිඩය ආවා. හරියටම පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දවසෙ. ඒ ළමයා හිරවෙලා තිබුණේ අඩි 500ක ප්‍රපාතයක. එතැනට උඩ ඉඳලා පහළට යන්නත් බැහැ. පහළ ඉඳලා උඩට යන්නත් බැහැ. අපි ළඟ තිබෙන උපකරණ දාලා බොහෝම අමාරුවෙන් එතැනට ගිහින් ළමයාව උඩට අරං ආවා. ඒත් ඒ වෙනකොට ඒ ළමයා මිය ගිහින් තිබුණා. ඒ සිද්ධිය මගේ හිතට ලොකු වේදනාවක් ‍ඇති කළා. තරුණ ජීවිතය බේරා ගන්න තිබුණා නම් කියලා හිතුණා. බදුලු ඔයට වැටුණු අයව රාවණා ඇල්ලෙන් වැටුණු අයව අපි බේරාගෙන තිබෙනවා.” යනුවෙන් පැවසුවේ අනුර ද සිල්වා ය.

අනුර කුමාර ද සිල්වා ගමන් කරන වාහනයේ ගිනි නිවන උපකරණ ඇතුළු ආම්පන්න දමාගෙන යෑම ඔහුගේ සාමාන්‍ය සිරිතය. එය හදිසි අවස්ථාවලදී පිහිටට පැමිණි වාර ගණන සුළුපටු නැත. වරක් ඔහු කොළඹ බලා පිටත් වී යන අතරමඟදී වාහනයක් ගිනි ගනිමින් තිබිණි. වහාම ඔහු ඉදිරිපත් වී ගින්න නිවා දමා දේපළ බේරා ගත්තේය.

දැන් ඔහුගේ වෑයම දෙවැනි පෙළක් සූදානම් කිරීමයි. ඒ සඳහා නවකයන් තෝරාගෙන පුහුණුවීම් කරනු ලබන්නේ ඔහු ගුවන් හමුදාවේ උපදේශකවරයකු ලෙස ලැබූ අත්දැකීම් සම්භාරයද ප්‍රයෝජනයට ගනිමිනි. එහෙත් මෙවැනි කටයුතු සඳහා නවකයන්ගේ සහභාගිත්වය අඩු බව ඔහු පැවසීය.

“බදුල්ල, පස්සර, බණ්ඩාරවෙල, ඇල්ල වගේ මේ පැත්තේ තිබෙන පාරවල් හුඟක් පටුයි. ඒ නිසා වේගයෙන් වාහන පදවන්න බැහැ. ඒත් මේ ප්‍රදේශයේ වාහන පදවන රියදුරන් මාර්ගය ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සමහරු ජංගම දුරකතනය කනේ තියාගෙන වාහන පදවනවා. ඒවායින් තමයි අනතුරු සිද්ධ වෙන්නේ. මේ පාරවල්වල ධාවනය කළ හැකි ගියර් එකෙන් වාහනය ගෙනියන්න ඕනෑ. ඒත් සමහරුන් ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. අනතුරක් සිද්ධ වුණාම විශේෂයෙන් ප්‍රපාතයකට පෙරළුණාම සාමාන්‍ය මිනිසුන්ට බහින්න අමාරුයි. ළඟදි සිද්ධ වුණු පස්සර අනතුර හොඳම උදාහරණය. සාමාන්‍ය මිනිසුන්ට තුවාලකරුවන් ගැනීම ගැන අවබෝධයක් නැහැ. ඒවගේ වෙලාවට අපි තමයි අපේ තාක්ෂණික උපකරණ පාවිච්චි කරලා ප්‍රපාතවලට බැහැලා තුවාලකරුවන් අරගන්නේ.” යනුවෙන් සඳහන් කළ අනුර කුමාර ද සිල්වා ජීවිත බේරාගැනීමේ පුහුණුවක වැදගත්ම ද පෙන්වා දුන්නේය.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයන් ජීවිත බේරා ගැනීමේ සත් කාර්යය පුහුණු වීමට කැමත්තක් දක්වන්නේ නම් අනුර කුමාර ද සිල්වා සම්බන්ධ කර ගැනීම වටින්නේ බදුල්ල ප්‍රදේශයේ වංගු සහිත පටු මාර්ගවල පස්සර අනතුර වැනි අනතුරු ඉදිරියේදීත් සිදු විය හැකි බැවිනි. එමෙන්ම බදුල්ල පළාතේ සිදු වන හදිසි අනතුරකදී ජීවිත බේරා ගැනීමේ සහාය ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම මොහොතක 071 4440544 ඇමතීමෙන් සහාය ලබා ගත හැකිය.

 

Comments