බත්ත­ර­මුල්ලෙන් වැල්ල­ව­ත්තට බෝට්ටු සවා­රි­යක් | සිළුමිණ

බත්ත­ර­මුල්ලෙන් වැල්ල­ව­ත්තට බෝට්ටු සවා­රි­යක්

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව සාමාන්‍ය බෝට්ටුවක ගමන් කළ හැකි මඟී ප්‍රමාණය 12 දෙනෙකු වූවත් 16 දෙනෙකුට පහසුවෙන් ම ගමන් කළ හැකිය.

 රුපියල් 100ට විනාඩි 45ක සවාරියක්

 උදෑසන 6.00 සිට විනාඩි 20කට වරක් බෝට්ටු සේවා

 

දියවන්නාවේ දියකඳ දෙබෑ කරමින් කරමින් බත්තරමුල්ල දියත උයන අසලින් වැල්ලවත්ත දක්වා ඇදෙන ඩිංගි බෝට්ටුවකි. දියවන්නාවේ දිය පීරන දියකාවුන් අතරින් ඔබමොබ සරනා සුදු කොක්කු පෙළකි. අප මේ ගමන් කරන්නේ කොළොම්පුරයේ අසිරිය නරඹමින් දියවන්නාව හරහා වැල්ලවත්තට ඇදෙන මඟී ප්‍රවාහන බෝට්ටුවකය.

 

කොළඹ නගරයේ පවතින වාහන තදබදයට විසඳුමක් ලෙසින් මෙම බෝට්ටු සේවාව ඇරඹුණේ පසුගිය වසරේ මාර්තු 11 දිනය. මෙවැනි බෝට්ටු සේවාවක් පිළිබඳ මුලින් ම සංකල්පයක් ඇතිවූයේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන් ආරක්ෂක ලේකම් ධූරය දරන කාලයේදී ය. මුලින් ම බෝට්ටු ගමන් කළේ නාවල දක්වා පමණි. මෙම බෝට්ටු නිර්මාණය කෙරුණේ නාවික හමුදාවේ සැලැස්මකට අනුවය. ඇළ මාර්ගය හරහා වැටී ඇති පාලම් ඉතා පහළින් පවතින විට බෝට්ටුවේ ඉහළ කොටස පාලමේ ගැටීම වළක්වා ගනිමින්, උසට සරිලන ලෙස වහලය අවශ්‍ය පරිදි ඉහළ පහළ කරගත හැකි ලෙස බෝට්ටුව නිර්මාණය කිරීමට පියවර ගැනිණි. මේ නිසා දැඩි හිරු රශ්මියේ හෝ වැසි සමයක පවා බෝට්ටු සංචාරය අපහසු නැත.

මෙවැනි බෝට්ටු සේවා එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ඇමෙරිකාව, ජර්මනිය, ඉන්දියාව ඇතුළු රටවල් 70 පමණ ඇති භාවිත වන අතර වැඩිම ප්‍රමාණයක් ඇත්තේ නෙදර්ලන්තයේය‍.

ඇළේ පළල මීටර් 45 පමණය. දිග නාවික සැතපුම් 7 පමණය. දියත උයන හෙක්ටයාර් 88ක වපසරියකට මායිම්ව අක්කර 50ක භූමි ප්‍රමාණයක් දියවන්නාව ඔයට වෙන්වී ඇත. ජලයේ ගැඹුර මීටර් 4ක් 5ක් පමණ වේ. යොදා ඇති බෝට්ටු ගණන 6 කි. උදේ 6.15 සිට සවස 6.00 දක්වා විනාඩි 20 න් 20 ට බෝට්ටුවක් ධාවනය වන පරිදි කාල සටහන සකසා ඇත. සති අන්තයට කාර්යාලයීය සේවය අඩු වූවත් අනෙකුත් බෝට්ටු සංචාර බොහොමය. එක් වැඩිහිටි මගියකුට රුපියල් 100ක්, ළමයෙකුට රු. 50 ක් අය කරයි. පවුලේ අයට පමණක් බෝට්ටුවක් වෙන් කරවාගෙන ද, සංචාරයේ යෙදිය හැකි ය. බෝට්ටු සංචාරයේ යෙදෙන කාල හෝරාව අනුව ද මිල ගණන් වෙනස්වේ. විනාඩි 45 සංචාරයකට රු. 2500 ක් පැය 2 සංචාරයකට රු. 10,000 ක් අය කෙරේ. එම සංචාරයට මුහුදු ධාවනය ද ඇතුළත්වේ. ගමන් කරන සියල්ලන්ටම රුපියල් ලක්ෂ 10 ක රක්ෂණාවරණයක් ලබාදී තිබීම විශේෂත්වයකි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව සාමාන්‍ය බෝට්ටුවක ගමන් කළ හැකි මඟී ප්‍රමාණය 12 දෙනෙකු වූවත් 16 දෙනෙකුට පහසුවෙන් ම ගමන් කළ හැකිය. දියවන්නාවෙන් ගමන් අරඹන බෝට්ටුව, කෝට්ටේ, නාවල, රාජගිරිය, බත්තරමුල්ල, නුගේගොඩ, වැලිපාක්, හැව්ලොක් සිටි, හරහා බත්තරමුල්ල දක්වා ගමන් කරයි. දියවන්නාව ජැටියෙන් ඇරඹෙන බෝට්ටුවලට නුගේගොඩ වැලිපාක්, නාවල සරසවිය, හැව්ලොක් සිටිවලින් ගොඩවිය හැකි ය. වරකට විසි දෙනෙකුට ගමන් කළ හැකි ලොකු බෝට්ටු ද ඇත. මෙම බෝට්ටුවල සේවය කරන සියලු දෙනාම නාවික හමුදාවේ සේවය කළ බෝට්ටු පැදවීමට හා පිහිනීමට විශේෂ පුහුණුව ලත් පිරිසක් වේ. එසේම බෝට්ටු සංචාරය අතරතුර කිසියම් අවදානම් සහගත තත්ත්වයක් උදා වුවහොත්, ගමන් මාර්ගය ආසන්නයේ තිබෙන නාවික හමුදා කඳවුරු මඟින් සහන සේවය ලබාදෙයි.

 

වමේ සිට - පහ­ත්බිම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථාවේ 
කළ­ම­නා­කාර අධ්‍යක්ෂ විශ්‍රා­මික රියල් අද්මි­රාල් එම්.ආර්. අම­ර­වීර සහ  යාත්‍රා භාර නිල­ධාරි - එස්.එම්.ඩී.එස්. සේනා­රත්න
 

දියවන්නා බෝට්ටු සංචාරයට විදේශීය සංචාරකයන් වඩාත් ප්‍රිය කරන්නේ ඇළ දිගේ මෙන් ම මුහුදේද බෝට්ටු සංචාරයේ යෙදිය හැකි නිසා ය. බෝට්ටු සංචාරයේ යෙදෙන්නන්ට ආරක්ෂිත ජැකට් ලබාදීම අනිවාර්යෙන්ම සිදු කෙරේ.

සැබවින්ම බත්තරමුල්ල - වැල්ලවත්ත බෝට්ටු සංචාරය සිතට සොම්නස දනවන අත්දැකීමකි. ඇළ දෙපස ඇළට බරවුණු කුඹුක්, උණ, කොට්ටන්, ගස්ය. පොල් හා කොස් ගස් ද මැයි මාර බෝගන්විලා ඇතුළු නෙක වර්ණ මල් ගස් ද ඒ අතර වේ‍. ඇළට මායිම් වූ මනරම් උද්‍යාන ග‍ඟේ අසිරිය තව තවත් ඉහළ නංවයි. දියවන්නාවේ එහාට මෙහාට පීනන දියකාවුන්, සුදු කොකුන් හා විවිධ කුරුලු වර්ග, කෑදැත්තන්, ගිරා මලිත්තන්, පරිසර පද්ධතියට එක්කරන්නේ අමුතු සුන්දරත්වයකි.

නිල් දිය රැලි මෑත් කරමින් බෝට්ටුව ඉදිරියට ඇදෙයි. කාගේත් සිත්වල පොපියන සතුට මුහුණින් දෝරෙ ගලති.

“මධුර විතානගේ පාර්ලිමේන්තුවට යන්නේ මේ බෝට්ටුවක. පාර්ලිමේන්තුව පැත්තට තියන අර ඇළ දිගේ.” අප සමඟ බෝට්ටුවේ ගමන් කරන නාවික හමුදාවේ විශ්‍රාමික යාත්‍රා භාර නිලධාරී එස්.එම්.ඩී.එස්. සේනාරත්න පැවසුවේය. “මේ ඇළ මාර්ගය මුලින් අපිරිසිදු මට්ටමක තිබුණේ. ඇළ දෙපස මිනිස්සු ඇළට කුණු දැම්මා. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් පිරිසිදු කළා. දැන් මිනිස්සු තේරුම් අරන් ඉන්නෙ. කුණු දාන්නෙ නැහැ. හැම විටම බෝට්ටුවේ නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙක් ගමන් කරනවා. සමහර අය පවුල් පිටින් පැමිණ උපන් දින සාද පවත්වනවා. බෝට්ටු සංචාරය අතරතුර, මුහුදේ වතුර මට්ටම ඉහළ යද්දී ඇළෙහි ජල මට්ටමත් ඉහළ යනවා. ඉස්සර කිඹුලාවල ඇළෙහි සිට නාවික හමුදාවෙ බෝට්ටු සේවයක් තිබුණා. පාර්ලිමේන්තුව දක්වා ගමන් කළ හැකි ලෙස සැකැසුණු. වැල්ලවත්ත දුම්රියපළෙහි සිට මෙම බෝට්ටු තොටුපළ දක්වා තියෙන්නේ මීටර් 800 දුරක්. ඒ නිසා වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට පහසුවෙන් ඉක්මනින් යන්න පුළුවන්.”

අහස උසට දිවෙන ගොඩනැගිලි, ඈතින් පෙනෙන නෙළුම් කුලුන, හරිත පැහැ ගහකොළවලින් වෙන්වුණ පරිසරය නෙතට ගෙන එන්නේ අපූරු සුන්දරත්වයකි. කොළඹ කොතරම් නම් නාගරික වුවද, වාහන ශබ්දය කනට කරච්චලයක් වුවද ඒ කිසිම දෙයක් මෙම බෝට්ටු සංචාරයේ යෙදෙන අඩ පැයක කාල සීමාවේදී ඔබට අත්විඳීමට සිදු නොවේ. සැබවින්ම මෙය කොළඹ දැයි සිතෙන තරමට වටා පිටාව සොඳුරුය.

පහත්බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ රියල් අද්මිරාල් (විශ්‍රාමික) එම්.ආර්. අමරවීර පැවසුවේ බත්තරමුල්ල, වැල්ලවත්ත බෝට්ටු සංචාරය ඇරඹුවේ කොළඹ නගරයේ රථවාහන තදබදය යම් තරමකට හරි අවම කිරීමට බවයි. ‘‘පාසල් දරුවන් මෙයින් විශාල ප්‍රයෝජනයක් ගන්නවා. හැම කෙනෙකුටම ආරක්ෂිත ඇඳුම් තියන නිසා ගමන ආරක්ෂිතයි. සාමාන්‍ය ජනතාවට අය කරන රු‍. 100 තමයි විදේශිකයන්ගෙනුත් අය කරන්නේ. සති අන්තෙට ඇළ දෙපස වන වදුලේ කුරුල්ලෝ නරඹන්න විදේශ සංචාරකයෝ හුඟාක් ප්‍රිය කරනවා. කොරෝනාවට කලින් ඇරඹුවත් කොරෝනා දිනවල ටික දවසක් බෝට්ටු ගමන් ද අත්හිටුවන්නට සිදු වු‍ණත්, දැන් වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. තවත් ඇළ මාර්ග කිහිපයක් තියනවා පිළිසකර කිරීමට. එහෙම වුණොත් මේ වගේ මඟී ප්‍රවාහන සේවා ගමනාන්ත කිහිපයක් අලුතින් දියත් කරන්නත් පුළුවන් වෙනවා” ඔහු කියයි.

ඔබත් එක්වරක් හෝ බෝට්ටු සංචාරයට එක්වී කොළඹ අසිරිය විඳගන්න.

 

සේයාරූ - ගයාන් පුෂ්පික

Comments