ලෝක­යට ඔබ ආද­රය කළොත් ලෝක­යෙන් ඔබට අසී­මි­තව ආද­රය ලැබේවි | සිළුමිණ

ලෝක­යට ඔබ ආද­රය කළොත් ලෝක­යෙන් ඔබට අසී­මි­තව ආද­රය ලැබේවි

 

 

අනීෂා ජයකොඩි සිංගප්පූරුවෙ ජීවත්වෙමින් සිටින වෘත්තීය මානව සම්පත් කළමනාකාරියක්. එහෙත් රට ඇයව හඳුනා ගන්නේ ධනාත්මක චින්තනය පිළිබඳ දැනුම බෙදා දෙන දේශිකාවක් ලෙස. ඇගේ තවත් විශිෂ්ට භූමිකා කිහිපයක් තිබෙනවා. අනීෂා දක්ෂ ගී පද රචිකාවක්... වික්ටර් රත්නායකයන් සංගීතවත් කර ගයන “පමා වී ආ වසන්තේ“ ගීතය නිර්මාණය වන්නේ ඇය අතින්. එමෙන්ම ඇය නිර්මාණය කළ යොවුන් ගායක අශේන් සේනාරත්න ගයන ‘ඇරඹුමයි ගීතය‘ යූ ටියුබ්වල රැල්ලක් හදපු ගීතයක්.

 

මේ වනවිට ටෙලි නාට්‍ය ගීයක් ඇතුළුව ගීත 23කටත් වඩා නිර්මාණය කරලා තිබෙන, පද්‍ය කෘතියක් නිර්මාණය කරලා තියන, කෙටි කතා කෘතියක්, නවක කතා කෘති දෙකක්, ගවේෂණාත්මක ග්‍රන්ථයක් බිහි කරපු මේ නිර්මාණ ශිල්පිනිය සමඟ මේ කෙටි පිළිසඳර ඒ පැතිරී ගිය ක්ෂේත්‍ර තුළ ඇයගේ දැනුම භාවිතය හරිම විචිත්‍ර නිසා. කලා ශිල්පිනියක ලෙස මතුවන්න අවශ්‍ය විභවයන් විශාල ප්‍රමාණයක් තිබෙද්දි ඇයි ඔබ ධනාත්මක චින්තන ගවේෂිකාවක් වන්නෙ... මුලින්ම ඇයගෙන් අප විමසුවා.

අප ජීවත්වන වටපිටාවෙ යම් පරිහානියක් තියනවා. ඒ පරිහානිය කලාව, දේශපාලනය සමාජ ජීවිතය වගේ හැම දේටම එක හා සමානව බලපානවා. එයින් මිදෙන්න අපට දැවැන්ත ආකල්ප වෙනසක් අවශ්‍යයයි. ඒ වෙනුවෙන් කැපවන්න සමාජ මාධ්‍ය භාවිත කරන්න මා කල්පනා කළා. සමාජ භාවිත කරන්න එක් හේතුවක් තමයි මම විදේශගතව, ඒ කියන්නෙ සිංගප්පූරුවෙ ජීවත් වීම. රටින් පිට ඉන්න කෙනකුට සමාජය ආමන්ත්‍රණය කරන්න පුළුවන් හොඳම මාධ්‍ය සමාජ මාධ්‍යය කියලයි කියන්නෙ. මා මනෝ විද්‍යාව ලංකාවෙ ඉන්නකොට හදාරලා තියෙනවා. එය වෘත්තීමය අවකාශයක් නිර්මාණය කරගන්න උපදේශන මනෝ විද්‍යාව වැඩිදුරටත් හදාරලා තියෙන්නෙ.“

සමාජය යහපත් කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධව ඇය එක්තරා පර්යේෂිකාවක්. ඒ ගැන යමක් විමසිය යුතු යැයි අප කල්පනා කළා.

“සමාජ මාධ්‍යයක උපදේශනය භාවිතය මොන වගේ වේවිද කියලා මුලදි ඇත්තටම පොඩි තිගැස්මක් ඇති වුණා. ඒත් මම ඒ අවදානම සතුටින් බාරගත්තා. ඒ වගේම මගේ දැනුම සහ හැකියාව ගැන මට විශ්වාසයක් තිබ්බා. සමාජ මධ්‍යය තුළ හිතුවාට වැඩිය හොඳ ප්‍රතිචාර මට මුල ඉඳලම ලැබුණා. සමාජ මාධ්‍ය ඔස්සේ ලියැවුණු දේවල් මිනිස්සු වැලඳ ගත්තා. ඉන් පසු රූපවාහිනි නාළිකා, ගුවන්විදුලි නාළිකා බොහොමයකින්ම මට අවස්ථාව ලැබෙන්න පටන් ගත්තා. බොහෝ පුවත්පත්වලින් ලිපි ලියන්න ආරාධනා ලැබුණා.

අද වන විට ජාතික මට්ටමේ පුවත්පත්වල, ජාතික සහ අන්තර්ජාතික සඟරාවල, වගේම රාජ්‍ය වෙබ් අඩවිවල නිරන්තරයෙන් මගේ ලිපි පළවෙනවා. ඒ වගේම වැඩි දෙනකුගේ ඉල්ලීම නිසා ලංකාවේ මිනිස්සුන්ගේ රසවින්දනය උදෙසා. ගීත විචාරය සඳහා යූ ටියුබ් නාළිකාවකුත් කරගෙන යනවා .

වෘත්තීය මානව සම්පත් කළමනාකාරියක්, මනෝ උපදේශිකාවක්, දේශිකාවක්, විචාරකයෙක්, ලේඛිකාවක්, නිර්මාණකාරියක් පමණක් නොව, මවක් සහ බිරියක් ලෙස ඇයගේ ජීවිතය සංකීර්ණ කරගෙන ද?. අප අනීෂාගෙන් ඒ ගැනත් ඇසුවා.

“නෑ... අවශ්‍ය සැලසුමක් විතරයි. මේ ලෝකෙ තියෙන ලොකුම බොරුව වෙලාවක් නැහැ කියන එක. වුවමනාවක් තියනවා නම් ඕන කෙනකුට වෙලාව කියන දේ ප්‍රශ්නයක් නෙමෙයි. මම මානව සම්පත් කළමනාකරිනියක් විදිහට පැය 8 ක රස්සාවක් කරනවා. මවක් බිරියක් විදිහට ගේ දොර වැඩ කටයුතු කරනවා. දිනපතා ලේඛනයෙහි , මනෝ උපදේශනයෙහි යෙදෙනවා, කලට මනාවට වැඩ කරන මිනිස්සුන්ට කාලය අභියෝගයක් නෙමෙයි .“

එහෙත් අනීෂාගේ අත්දැකීම් අපේ සමාජයෙ බොහෝ කාන්තාවන්ට විඳින්න බැහැ. ඔවුන් විවාහය තුළ විශේෂ රාමු හදාගෙන. කාන්තාවක් සමාජශීලී ජීවිතයක් ගත කිරීම ඇගේ විවාහයට අහිතකර බලපෑමක් ඇති කරනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. අනීෂා ඒ ගැන කතා කරන්නේ මනෝ උපදේශිකාවකගේ දෘෂ්ටියෙන්.“

“ විවාහය සිපිරි ගෙයක් නොවිය යුතුයි. විවාහය කියන්නේ තනියම ආපු ගමන දෙන්නෙක් එක්ක යන එක. ඉතින් ඒ ගමන ඉස්සරටත් වඩා ලේසි විය යුතුයි නේද ?. මම බොහෝ දේ පටන් ගත්තේ විවාහ වෙලා දුවත් ඉපදුණාට පස්සේ. මටවත් මගේ මහත්තයටවත් විවාහය බලෙන් කරගහගෙන යන බරක් වෙලා නැහැ . අපි සතුටෙන් සැහැල්ලුවෙන්, ආදරෙන් එකිනෙකා වෙනුවෙන් අසීමිත කැපවීමකින් අපේ ගමන යනවා. මේ හැමදෙයක්ම වෙනුවෙන් ඔහු මටත් වඩා උනන්දුයි. විවාහය කියන මායිම නිසා කාන්තාවට තමන්ව මඟඇරෙනවානම් , තමන්ව නැති වෙනවනම් ඒ තරම් ලොකු අපරාධයක් වගේම සම්පත් නාස්තියක් නෑ. ඒක පෞද්ගලිකව වගේම ජාතිකවත් බලපානවා .

“සමාජ මාධ්‍ය ඔස්සේ ජීවිතය කියාදෙන ඔබ ඉන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ ?අප අනීෂ­ාගෙන ඇහුවා.

“ මම මේ හැම දෙයක්ම කරන්නෙ වටිනා යමක් බලාපොරොත්තුවෙන්. ඒ තමයි ''ආත්ම තෘප්තිය ''. මම රස්සාව කරලා හම්බකරන සල්ලිවලට වඩා , පළවෙනි ලෝකයේ රටක විඳින ජීවිතයට වඩා, වැඩිම ආත්ම තෘප්තියක් ලැබුණේ , මේ සමාජ සේවය නිසා. මේක මට අලුත් දෙයක් නෙමෙයි . ලංකාවේදී මගේ මුල්ම රස්සාව විදිහටත් ඉතා ප්‍රසිද්ධ අන්තර්ජාතික සමාජ සේවා ආයතනයක සම්බන්ධිකරණ නිලධාරිනියක් විදිහට මම වැඩ කළා. නිදහස් අධ්‍යාපනයෙන් , මිනිස්සුන්ගේ බදු මුදලින් ඉගෙන ගත්ත හැමෝටම වගකීමක් තියෙනවා ඒ ලබාගත්ත දේ වෙනුවෙන් රටට සේවයක් කරන්න. ඉතින් මට පුළුවන් විදිහට මැරෙනකම්ම මම ඒ සේවය කරනවා . “

ඊළඟට අප ඇගෙන් ඇහුවේ ඇගෙ අනාගත සැලසුම ගැන.

“ මේ දිනවල ආකල්පවර්ධනය ගැන ජාතික මට්ටමේ ව්‍යාපෘති කිහිපයක් සංවිධානය කරමින් පවතිනවා. කොවිඩ් ඉවරවෙලා එයාපෝර්ට් ඇරියහම ඒ දේවල් ක්‍රියාත්මක වේවි. ඒ වගේම මම ලියපු පොත් කිහිපයක් මේ වසරේ ජනගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නාළිකා කිහිපයකම මානව කුසලතා වර්ධනය ගැන, ව්‍යාපෘති ගණනාවක් නාට්‍ය ආශ්‍රයෙන් එළිදැක්වීමටත් නියමිතයි.“

අවසාන වශයෙන් මෙය අපි අනීෂගෙන් මෙසේ විමසුවා. ලෝකය යහපත් තැනක් කරන්න උත්සාහ කරන ඔබ වගේ අයට දෙන්න පුළුවන් පණිවිවුඩය මොකක් ද? ඇය කල්පනාවෙන් උත්තර දුන්නා.

“මම නිළියෙක්වත් , ගායිකාවක්වත් , දේශපාලනය කරන කෙනෙක්වත් නොවෙයි. ඒත් මම නොදන්නා බොහෝ පිරිසක් අද මාව දන්නවා. මගේ අත්දැකීම අපට තනි තනිව කළ හැකි කොටසක් තියනවා. කොතැනින් හෝ පටන් අරන් එය කිරීම ආරම්භ කළ යුතුයි. එතකොට අපට නොහිතන මාවත් විවර වෙනවා. රට වෙනුවෙන් වැඩ කරන්න බලයවත් සල්ලිවත් අවශ්‍ය නෑ,..

ඔබේ වචනයකින් ඔබේ අකුරකින් , ඔබේ සිතුවිල්ලකින් , ඔබේ සිනහවකින් පවා ඔබ හිතනවට වඩා දෙයක් සමාජය වෙනුවෙන් ඔබට කරන්න පුළුවන්, ඒ සඳහා ඕන වෙන්නේ මනුස්සකම පිරි හදවතක් විතරයි. යහපත් දේ වපුරන මිනිස්සුන්ට ඊට වඩා බොහෝ යහපත් දේවල් නෙළාගන්න ලැබෙනවාමයි. ''ඔබ මේ ලොවට ආදරෙයි නම් මේ ලොවත් ඔබහට ආදරෙයි ''

Comments