අපේ ජන­ප්‍රි­ය­ත්ව­යෙන් නව­ක­යන් ජන­ප්‍රිය කරන ට්‍රෙන්ඩ් එක මම අනු­මත කරන්නෙ නැහැ | සිළුමිණ

අපේ ජන­ප්‍රි­ය­ත්ව­යෙන් නව­ක­යන් ජන­ප්‍රිය කරන ට්‍රෙන්ඩ් එක මම අනු­මත කරන්නෙ නැහැ

- උපේක්ෂා ස්වර්ණ­මාලි

දේශපාලනය නිසා මේ සමාජයෙන් මාව එක පැත්තකට තල්ලු වෙනවා. මම එක රාමුවකට කොටු වෙනවා කියලත් හිතෙනවා.

ජනප්‍රිය වුණු චරිත තෝරා ගෙන ඔවුන්ට වැඩිහිටි චරිත නිරූපණය කරන්න දීම දැන් ලංකාවේ රැල්ලක් වෙලා

 

 

අදටත් ඇය ප්‍රේක්ෂක හදවත් තුළ ළැගුම් ගෙන ඇත්තේ උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා ‘පබා‘ නමිනි. කලක් නර්තන වේදිකාවේද, ගායන වේදිකාවේද තවත් කලක් වෙනස් ම මඟක යෙදෙමින් දේශපාලන වේදිකාවේ ද ජනප්‍රිය චරිතයක් වූ ඇය අදටත් ජනප්‍රියත්වයේ අඩුවක් නැති දක්ෂ රංගන ශිල්පිනියක් සේම නර්තන ශිල්පිනියක්. කලෙකට පසු නැවත රංගනයෙන් කාර්යබහුලව සිටින ඇය මේ දිනවල ....... රංගනයෙන් ඔබේ ආලින්දයට පැමිණෙනවා.

 

උපේක්ෂා කොහොමද මේ දවස්වල ජීවිතේ?

සාමාන්‍ය පරිදි වැඩ ටික කරගෙන යනවා. හැමදෙයක්ම සමබරව සැහැල්ලුවෙන් ජීවිතය ගත වෙනවා.

කාලෙකට පසුවයි වෙනස්ම ටෙලිනාට්‍යකින් දකින්න ලැබෙන්නේ ?

මීට පෙරත් අධ්‍යක්ෂවරයා නිර්මාණ කිහිපයකටම මට ආරධානා කර තිබුණත් මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. පසුව ඔහුගේ ‘මිණිගංදෑල‘, ‘මහරජ ගැමුණු‘ වැනි නිර්මාණ නරඹද්දි ඔහු ගේ කලා කටයුතු ගැන මට පැහැදීමක් ඇති වුණා. මේ නිර්මාණයට ආරාධනා ලැබුණාම මෙය මම බාර ගන්න තීරණය කළේ ඒ තිබුණු පැහැදීමත් එක්ක.

කොහොමද ඔබ මේ චරිතය හා බැදුණේ ?

මට ලැබෙන ඕනෑම චරිතයක් මම සාධාරණව කරනවා. නමුත් තෝරගත් යම් යම් චරිත පිළිබඳ කලකිරීමකුත් තිබෙනවා. සමහර චරිත තාත්වික නැහැ. එවැනි චරිත මට ගැළපෙන්නෙ නැහැ කියලයි හිතෙන්නේ. ජනප්‍රිය වුණු චරිත තෝරා ගෙන ඔවුන්ට වැඩිහිටි චරිත නිරූපණය කරන්න දීම මම දකින විදිහට දැන් ලංකාවේ රැල්ලක් වෙලා. මම දන්නෙ නැහැ ඒක කොහෙන් ආපු ට්‍රෙන්ඩ් එකක්ද කියලා. අපේ ජනප්‍රියත්වය පාවිච්චි කරලා නවකයන්ව ජනප්‍රිය කරන ට්‍රෙන්ඩ් එක මම අනුමත කරන්නෙ නැහැ.

උපේක්ෂා පසුගිය කාලෙදී වැඩි පුර දකින්න නොලැබුණේ ඇයි?

‘ආගන්තුකයා‘, ‘ඔබ නිසා‘ ටෙලිනාට්‍යවල වැඩ කටයුතු කළා. මේ දවස්වල ‘අහස් මාළිගා‘ විකාශනය වෙනවා. ඉදිරියේදිත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දේශපාලනය නිසා මේ සමාජයෙන් මාව එක පැත්තකට තල්ලු වෙනවා. මාව එක රාමුවකට කොටු වෙනවා කියලත් හිතෙනවා. නමුත් මම මට හොඳ චරිත භාර ගන්නවා.

රංගනයේදී ඔබ ඔබට පනවා ගත් වාරණ තිබෙනවාද?

රංගනය තුළ මම වාරණ පනවගෙන නැහැ. නමුත් ඇඳුම් පැළඳුම්වලදි මට මමම පනව ගත් වාරණ තියෙනවා.

පහු ගිය කාලේ දකින්න නොලැබුණු නර්තන ශිල්පිනියත් යළි කරළියට ඇවිත් නේද?

මම දැන් රියැලිටි නර්තන වැඩසටහනකට සහභාගි වෙනවා. ප්‍රසිද්ධ නැති වුණත් මම පුංචි පුංචි නර්ථන වැඩසටහන්වලට පහු ගිය කාලෙත් සහභාගී වුණා. ඉස්සර තරම් නර්තනයේ යෙදෙන්න පුළුවන් යැයි හිතුවට දැන් නර්තනයේ යෙදෙන්න ටිකක් අමාරුයි කියලත් වෙලාවකට හිතෙනවා. මිනිස්සු එක්ක තියෙන ගනුදෙනුව වුණත් ඉස්සරට වඩා තරමක් අසීරුයි. නමුත් හැමදේම සමබරව දකිමින් විඳිමින් ජීවත් වෙන්නයි මම උත්සාහ කරන්නේ.

මුල් කාලීනව නිරූපණය කළ චරිත හා වර්තමානයේ ලැබෙන චරිත ගැන වෙනසක් දකිනවාද ?

ටෙලි නාට්‍යවල ආධිපත්‍ය දැන් වැඩිපුර තියෙන්නේ නාළිකාවල. ඔවුන්ට කැමති විදියට තමා ඩ්‍රාමා එක ඉදිරියට යන්නෙ. ඒ දේවල් එක්ක නිර්මාණකරුවෝ අපහසුතාවට පත් වෙනවා. මුදල් මුල්කරගෙන දවස් හතර පහක වැඩ එකම දවසේ දාගෙන ෂූටින් කරනවා. නමුත් කලාකරුවන්ට ලැබෙන වැටුප අඩුයි. අන්තිමේදී නිර්මාණකරුවන් මාකටින්වලට භාවිත වෙලා පමණයි. ආර්ථිකය නිසා නිර්මාණවල අවිනිශ්චිත බවක් තමයි දැන් තියෙන්නෙ.

මවක් විදියට දැන් ගෙවන ජීවිතේ කොහොමද?

දුවට දැන් අවුරුදු හතරක්. ටිකක් ලොකු නිසා ඉස්සරට වඩා දැන් වැඩ ටිකක් පහසුයි. දරුවෙක් ඉන්නවා කියන්නෙම අනිවාර්යයෙන් අපි ජීවිතේට වග කිව යුතුයි. ඒ නිසාමයි අපි හුරු පුරුදු වුණු ජීවිතය දරුවෙක් ලැබුණු පසු වෙනස්ම ජීවිතයක් වෙන්නේ. මවු පදවියක් ලැබුවට මදි අපි ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න වෙනවා. දරුවා අපිට ගොඩක් ආදරෙයි අපි දරුවට ගොඩක් ආදරෙයි. ඒ හැඟීම වචනවලට පෙරළන්න බැරි තරම් සුන්දරයි.

දුවත් කලාවෙන් ඉදිරියටම යනවට ඔබ කැමතියිද?

දුවගේ වෘත්තීය මම තවම තීරණය කර නැහැ. රංගනයේ නියැළෙන්න බලාපොරොත්තු වෙනව නම් ඒ ගැන අනිවාර්යයෙන් හැදැරීමක් අවශ්‍යයි. හරි මඟ පෙන්වීමක් තියෙන්න ඕනේ. මගෙ දුවව සමාජය ගැන අවබෝධයක් ඇතිව සහ ස්වාධීන පුද්ගලයෙක් විදියට හදන්නයි මට අවශ්‍ය. මගේ දරුවා විච්චූරණ ලෝකෙකට ගියොත් මම එතනින් අනිවාර්යයෙන් ඇයව අයින් කරනවා.

Comments