අවු­රුදු දින දෙකේ අන­තු­රු­ව­ලින් මරණ තිහක් | සිළුමිණ

අවු­රුදු දින දෙකේ අන­තු­රු­ව­ලින් මරණ තිහක්

ලුත් අවුරුදු දින සහ ඊට පසු දින ශ්‍රී ලංකාවේ රිය අනතුරු බහුලවම සිදුවන දින දෙක ලෙස සැලැකෙන බවත් ඒ අනුව මෙවරද අලුත් අවුරුදු දින සහ ඊට පසු දින සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂ්‍යට ට පත්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

එහිදී 15 වැනිදා පමණක් රිය අනතුරුවලින් පුද්ගලයන් 16 දෙනෙකු මරණයට පත්වී ඇති අතර ඉන් 12 දෙනෙකුම මරණයට පත්වී ඇත්තේ යතුරුපැදි අනතුරුවලිනි. එසේම 14 වැනිදා සහ 15 වැනිදා රිය අනතුරු 150කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති අතර 14 වැනිදා අනතුරු 74ක්ද 15 වැනිදා අනතුරු 80කට ආසන්න සංඛ්‍යාවක්ද සිදුව ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඊට අමතරව මෙවර ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයටද 13, 14 සහ 15 වැනිදා අනතුරුවලට ලක්ව 484 දෙනෙකු ඇතුළත් කළ බවත් එය ගිය වසරට සාපේක්ෂව 41%ක වැඩිවීමක් බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේය. එම අනතුරු අතර මහාමාර්ග අනතුරු 114ක්ද නිවෙසේ අනතුරු 66ක්ද වැටීම් නිසා වූ අනතුරු 114ක්ද හිංසන ක්‍රියා අනතුරු 65ක් සහ ගිනිකෙළි අනතුරු හේතුවෙන් 06 දෙනෙකුද ඇතුළත් කළ බව එම ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවැසුවාය.

Comments