වේදනාවට එරෙහි ව නිර්මාණකරණයෙන් කැරලි ගසන කරුණා පෙරේරා | සිළුමිණ

වේදනාවට එරෙහි ව නිර්මාණකරණයෙන් කැරලි ගසන කරුණා පෙරේරා

සාහිත්‍ය නිර්මාණය කියන්නෙ ම එක්තරා කැරැල්ලක ප්‍රතිඵලයකි. ඒ ගැටුම, කලහකාරීත්වය ගැන බොහෝ නිර්මාණකරුවන් දන්නේ නැත. තමන් සතු කැරලිකාරීත්වය හෝ එහි පරිමාව බොහෝ නිර්මාණකරුවන් සිය ජීවිත කාලය පුරා හෝ අවබෝධ කරගන්නේ ද නැත. තමන් සතු ඒ කැරලිකාර මූල හඳුනා ගන්නේ නම් නිර්මාණකරුවාට තමන් ගේ ක්‍රමය, බලය හඳුනාගත හැකියි.

 

නිර්මාණකරුවකුට තමන් ජීවත්වන පරිසරය පුපුරවා හරින්නට හැකිය. සාමකාමී කැරැල්ලෙන් නිර්මාණකරුවන්ට කොතෙක් නම් දෑ කළ හැකිද? නිර්මාණකරුවාගේ ප්‍රබන්ධ ජීවිතය සැබෑ ජීවිතය හා ඝට්ටනය කරන අවස්ථාවක් උදා කරගත හැකි නම් නිර්මාණයේ උච්චතම තලය වන්නේ එය ය. දාර්ශනිකයකු හෝ චින්තකයකු නොවුණ ද ලේඛකයා ද නව සිතුවිලි උපද්දන්නෙකි. උපකල්පන, පරිකල්පන සඳහා ඉඩහසර පෑදෙන්නේ පවතින තත්ත්වයනට අනුගත නොවී තමාගේ ම චින්තනයක් අවදි කරගත හැකි වූ විට ය. එකී චින්තනය නිකම්ම බිහි නොවේ. එය තමා විඳි, විඳ වූ පරිසරයෙන් බිහිවන්නකි. මේ සැබෑව සියලු නිර්මාණකරුවන්ට පොදු කරුණකි. මිනිස් ජීවිතයේ විවිධ අවස්ථා, ඔහුගේ ජීවන ගැටලු, රැකියාව, විවාහය, මරණය, සංයෝගය, වියෝගය ආදිය නවකතාකරුවාට වස්තුබීජ සපයන බව සැබෑ ය. ඒ වස්තුබීජ තවකකුගේ ජීවන සුබ සිද්ධිය වෙනුවෙන් පරිකල්පනයේ දවටා ලබා දිය හැකි නම් නිර්මාණකරුවකුගේ විශේෂත්වය එය ය.

කරුණා පෙරේරා අප ජ්‍යෙෂ්ඨ නිර්මාණවේදිනිය සිය නිර්මාණ පෙරනිමිති ගැන කතා කරන්නට අප හා එක් වන්නේ එවන් වූ පසුබිමක සිට ය. ඇය දශක හතරකට වැඩි කලක් පුවත්පත් කලාවේදිනියක ලෙස සේවය කළ ප්‍රවීණ ලේඛිකාවකි. ඇය මුලින් ම ග්‍රන්ථකරණයට පිවිසෙන්නේ ‘අඳුරට එළියක්‘ කෙටිකතා සංග්‍රහයෙනි. ඒ කෘතියට 1971 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි විය. කෙටිකතා පොත් 9 ක්ද, නවකතා පොත් 11 ක්ද, පළකර ඇති ඇය, සිය නිර්මාණ දිවිය සඳහා පාදක කරගන්නේ තමා ජීවිතයේ විඳි විඳ වූ දෑ ය. ඒවා ඇගේ චින්තනයේ පරිකල්පනීය මායාවෙන් ඔපවත්ව අප වෙත තිළිණ වෙන්නේ ය.

ජීවිතයේ විඳවීම් වින්දනයක් ව දාර්ශනික චින්තනයක දවටා අප වෙත තිළිණ කළ ද ඇය ඒ විඳවීම්හි තවමත් කිදා බසින්නේ මිනිස් සන්තානයේ පවතින අනේක විධ දුක්ඛ දෝමනස්සයන් ගැන පශ්චාත් වෙමිනි. ‘අඳුරට එළියක්‘ කෙටිකතා සංග්‍රහයේ එන ‘ශිෂ්‍ය නායිකාව‘ නම් කෙටිකතාවට පාදක අත්දැකීම ගැන කියන විට තවමත් ඇගේ ඇස අඟ කඳුළු බිඳුවක් වැටී නොවැටී බර වෙයි. දඩයමට ගොදුරු නොවී සිටීමට ඇය මේ ලෝකයේ තිබෙන අති අහිංසකම ක්‍රමවේදය තෝරා ගනියි. ඒ සිය විඳවීම පෑන් තුඩට ගෙන එය ජීවන තක්සලාවක් කිරීමයි.

‘මේ සියල්ල ජීවිතයේ මා විඳි දේ ම යි. 60 - 70 දශකවල මේ තත්ත්වය තවත් දරුණුයි. මහ තෝරු මෝරු වගේ පොහොසත් ළමයි අතරෙ මම පුංචි දුප්පත් ගෑනු ළමයෙක් විතරයි. මගේ දුප්පත්කමට ඒ පොහොසත් ගෑනු ළමයි හරියට අපහාස කළා. ඒ විතරක් නොවෙයි ඔවුන් මා නොතකා හැරියා. පුංචි හිත් වුණාට ඒව ඒ පුංචි කාලෙ ම නපුරුකමට හුරු වෙලා හිටියා. එක අතකට එයාලා වුණත් දන්නෙ තමන්ගේ ගෙදර දෙමවුපියන් කරන කියන දේනෙ; ඒ නිසා ඒ ළමයින්ට වැරැද්දක් කියන්න බෑ. මම සාහිත්‍ය සංගමේට ගියත් කොහේ මොන දේ කළත් එයාලා මං දිහා බැලුවෙ උපහාසයෙන්; සමච්චලයෙන්. මම මේ සියල්ලම දරාගෙන සිටියා. නොතැලෙන හිත් නෑ; තැලුණා; ඒත් ඉවසුවා. මේ දේවල් තමයි පස්සෙ නිර්මාණ බවට පත්වුණේ.

නිර්මාණකරුවාට තමා අවට ඇති හැම දෙයක් ම වස්තුබීජ ය. නිර්මාණකරුවා සාමාන්‍ය අපෙන් වෙනස්වෙන්නේ එකී විශේෂත්වය නිසා ය. නිර්මාණකරුවාට පාදක වන නිර්මාණ වස්තුබීජ කාලයක් තිස්සේ සිතේ කොනිති ගසමින් තිබී යම් අවස්ථාවකදී නිර්මාණයක් ව එළියට එයි. ඒ විඳවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

සාම්ප්‍රදායික අම්මාගේ දුක - සතුට - කඳුළ පිළිබඳ හැඟීමක් නූතන පරපුරේ ඇතැමුන්ට නැත. ඇගේ කැපවීම හා දරාගැනීම පිළිබඳ ඇගැයීමක් ද නූතන සමාජයට නැත. මෙය එක්තරා සමාජ ඛේදවාචකයෙකි. කරුණා පෙරේරාගේ ‘පාටක් නැති පාටක්‘ නවකතාවට පාදක වෙන්නේ පරම්පරා තුනක බරපතළ සමාජ ඛේදවාචකයකි. මව, දියණිය හා මිනිබිරිය ලෙස මේ පරම්පරා ත්‍රිත්වයේ කතාව දිව යයි.

‘ මම මුහුණු දුන්නු අත්දැකීම් තමයි විවිධ වේශයෙන් මට ලියැවෙන්නේ. සම්ප්‍රදාය කඩන්න අමාරුයි; ඒත් ඒ සම්ප්‍රදාය ඇතුළෙ හිරවෙද්දි දැනෙන පීඩාව මට අඩුම තරමේ නිර්මාණයක් ඔස්සේ හරි මඟ හැර ගන්න ඕන වුණා.

තාත්තා හා දුව සාකච්ඡා කොට තීරණ ගන්නවා. ඒ අනුව සැලැසුම් ක්‍රියාත්මක කරනවා. මේවා පිළිබඳ මව දැනුම්වත් කිරීමක් සිදු වෙන්නේ නෑ.

ස්වාමියා වගේම දුවත් ලිලී අවතක්සේරුවට ලක් කරනවා. ඇය නූතන දැනුම නැති ගැහැනියක සේ සලකනවා. මධ්‍යම පාන්තික පවුල් තුළ රැකියාවක නිරත නො වන ගෘහනියකගේ සැබෑ තත්ත්වයයි මේ.

අපි බහුතරයක් ගැහැනු මේ වගේ නේද? මේවා අපේ වැනි රටවල දකින්න ලැබෙන තත්ත්වයක්. ඇගේ වේදනාව වචන වී දෝරේ ගලයි. ඒ වචන පරම්පරා ගණනක දුක වෙනුවෙන් ඉපැදුණකි. ඒ දුක පරම්පරා ගණනක වේදනාව නිවන්නට ඈ නිර්මාණයක්ව පාඨක අපට තිළිණ කරයි. නිර්මාණකරුවාගේ විශේෂත්වය එයයි.

අම්මා බුද්ධත්වයෙන් පතනා සමාජයක ඛේදවාචකය ඈ නිරූපණය කරන්නේ ස්වකීය විඳවීම නොකියා කියා ය. පන්තිය, කුලය කෙතරම් කාන්තාව පීඩාවට පත් කරන්නේද යන්නත්; ඒ පීඩාව පීඩිතයන්ට කෙතරම් ජීවන පරිඥානයක් ලබා දෙන්නේ ද යන්නත් මේ නිර්මාණයන්හි අන්තර්ගත ය. “අනේ මන්දා හැමදාම එක වගේ එක දිගට කරන ගෙදර වැඩවලින් හෙම්බත් වෙන්නෙ නැති ගෑනු කොයි ලෝකෙ කොයි මුල්ලෙ ඉන්නවද කියල‍...” මතවාදීමය වශයෙන් වුව ඔහු එල්ලෙන්නට පිදුරු ගස් සොයන්නකු නොවේ. ලේඛකයා, කලාකරුවා, කවියා බිහිවන්නේ විරල ලෙස යැයි එදා පිළිගැනුණ මුත් මෙදා නම් එවැනි පිළිගැනීමකට ඉඩ ඇති බවක් නොපෙනෙයි. ‘මඳ දැනුමක්, පෑනක්, කොළ‍ෙගාඩක් තිබූ පමණින් ලේඛකයකු වීමට සිතීම නපුරු ය’ යනුවෙන් මීට වසර 70කට පමණ පෙර ලියා තැබුවේ සාහිත්‍යධර යතිවර කොටහේනේ ප්‍රඥාකීර්ති හිමිපාණෝ ය. එය අඩංගුව ඇත්තේ ‘සාහිත්‍යය හා සමාජය’ නම් වූ විචාර ග්‍රන්ථයෙහි ය.

පරම්පරා ගණනාවක් මුළුල්ලේ අප සියලු දෙනාට ම බෙහෙවින් බලපෑම් කර ඇත්තේත්, බලපෑම් කරමින් පවතින්නේත් අපට, අප වීමට හැකි නොවීමේ ප්‍රශ්නයයි. අපගේ ප්‍රශ්න විදාරණය කිරීමට ඇති නොහැකියාවයි. මේ සියල්ල නිසා කාන්තාවන් පීඩනයට පත්වීම සර්වකාලීන දෙයක් වී ඇත. කරුණා පෙරේරා මේ ගසන්නේ කැරැල්ලකි. ඇය තනි පුද්ගල කැරැල්ලක් ගසයි. ඒ කැරැල්ල සමාජාවබෝධය හා වින්දනය හා ආනන්දය උදෙසා ම ය. ඇය ඇගේ පරිකල්පනීය ඉසව්වේ සරන්නේ වේදනාවෙන් පුපුරු ගසන සිත තද කර අල්ලා ගනිමිනි. ඒ ගැහෙන ළයේ වේදනාව විසින් ඇය විමුක්තියක් සොයන්නී; වඩාත් ආනන්දජනක ඉසව්වෙනි. එනම් නිර්මාණකරණයෙනි.

ඇයට සිය වේදනාව විසින් තෝරා ගන්නට බලකරන පහසු ම පලි ගැනීමේ හා නපුරුකමේ මාවත වෙනුවට ඇය ඒ වේදනාව දියකර හරින්නේ ප්‍රඥාවන්තම මාර්ගයේ ඇවිදිමිනි. ඒ වේදනාබරිත බොහොමයකගේ අත ආදරයෙන් අල්ලා ගනිමිනි. වේදනාවට ආදරණීය, ප්‍රඥාවන්ත ම මාර්ගය ඈ ඒ වේදනාබරිත හදවත්වලට පෙන්වා දෙන්නේ ය. වත්මන් කාන්තාව රෝස මල් මෙන් හුරුබුහුටි හෝ සුන්දර හෝ ලස්සන නැත. ඇය කටුක පොළොවේ වැවෙන පතොක් ගසක් වැනි ය. වේදනාව නිර්මාණයක් වෙද්දී ඒ පසුපස ඇති ශක්තිය පරදවන්නට සමතෙක් නැත. ඒ වේදනාව විසින් ඈ බොහෝ කාන්තාවන් හා පුරුෂයන් ඉදිරියේ සුරදූතිකාවක වී ඇත. රළු පරළු මාවතේ සුමුදුවට ඇවිදින්නට බොහෝ කාන්තාවන්ට මඟ පෙන්වූ ඇය, ඇගේ ඒ සුපහන් බව නිසා ම අපට ද බොහෝ මාවත් විවර කර දෙන්නී ය.

 

Comments