විඳීමක්, හැදෑරීමක් හා අධ්‍යයනයක් | සිළුමිණ

විඳීමක්, හැදෑරීමක් හා අධ්‍යයනයක්

 

කෘතිය- මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය

පිළිබඳ අධ්‍යයනයකි

කර්තෘ - මහාචාර්ය ආරිය රාජකරුණා

සරසවි ප්‍රකාශනයකි

මිල - රු 250

 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914 -1996) සිංහබාහු නාටකය 1961 සැප්තැම්බරයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එළිමහන් රංග පීඨයේ දි ප්‍රථම වරට රඟ දැක්විණි. මෙම නාට්‍යයට පාදක වු මුලාශ්‍ර පුවත මුල්වරට හමු වන්නේ ක්‍රි. ව. සියවසේ දී පාලි බසින් රචිිත මහාවංශයේ ය.

දීර්ඝ කතා පුවතක් ලෙසින් එය එහි 6 වන පරිච්චේදයේ දී හමු වේ. ඒ ඇසුරින් සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කළා වු සිංහබාහු නාට්‍යය මෙහිලා විමසීමට ලක්වේ.

ඒ හැරුණු කළ මහාසාර නාට්‍යයත්, පෙමතො ජායති සෝකෝ නම් ගීත නාටකයත් සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත නාට්‍යයට පදනම වැටුණු ආකාරයත් සම්බන්ධයෙන් සිදු කෙරුණා වු අධ්‍යයනයක් ලෙස ද මහාචාර්ය ආරිය රාජකරුණාගේ මෙම ප්‍රයත්නය හඳුන්වා දිය හැක.

ඒ අනුව මුලින්ම සිංහබාහු නාටකය සම්බන්ධයෙන් සිය අදහස් පළ කරන කතුවරයා මෙස් පෙන්වා දෙයි.

“මහාවංශයට ඇතුළත්, සිංහබාහු පිළිබඳ දීර්ඝ කාලයක් තුළ සිදුවන පුවතින් සිංහබාහු නාට්‍යය සඳහා උපයෝගි කොටගෙන ඇත්තේ සුළු කොටසක් පමණි. ඊට වස්තු වනුයේ සිංහබාහුගේ ජීවිතයේ කෙටිි කාල වකවානුවකි.

නාට්‍යයේ පළමුවන අංකයේ දී ම සිංහබාහු නිරූපණය කොට ඇත්තේ ගිරි ලෙන් වාසය ගැන කලකිරුණ තරුණයෙකු ලෙසිනි.”

අධ්‍යයනයක් වශයෙන් ගෙන ඇති නිසා ම මහාචාර්ය රාජකරුණා සිංහබාහු උපන් මූලාශ්‍රය ගැන කරන වැඩිදුර කරුණු සෙවීමකට ද ගොස් ඇති බවක් පෙනෙයි.

“මහාවංශයට ඇතුළත් සිංහබාහු පිළිබඳ තොරතුරු පාදක කොටගෙන මෑත යුගයේ පළමු කොට රචනා කරන ලද සාහිත්‍ය කෘතිය කිරම ධම්මානන්ද හිමියන්ගේ “සියබස් මල්දම” නැමති එළිසම පද්‍ය කාව්‍යය යි.

එය රචනා කොට ඇත්තේ දහනව වන සියවසේ මුල් කාලයේ දී ක්‍රිස්තු වර්ෂ 1820 දී පමණ ය. එනම් ශ්‍රී ලංකාද්වීපය බ්‍රිතාන්‍ය අධිරාජයයේ යටත් විජිතයක් බවට පත් වී අවුරුදු පහකට පමණ පසුව ය.”

පුළුල් විෂය අධ්‍යයනයක් වු සිංහල විෂය ධාරාවේ සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය අධ්‍යයනය සම්බන්ධයෙන් මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අදාළව පුර්ව ආචාර්යවරයෙකුගේ මැදිහත්වීමක් ලෙසින් ද ගත හැකි මෙම අධ්‍යයන කෘතිය එකී විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන පහසුව හිතසුව සඳහා ම ලියූවක් බව පැහැදිලි ය. අධ්‍යයන කටයතු වල ද ඇතැම් අතීත තොරතුරු සංක්ෂේපයෙන් සපයා ගැනීමේ අපහසුව හා ඒවා අධ්‍යයනයක දී ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිිබඳ මග පෙන්වීමක් වශයෙන් ද මෙම කෘතිය හඳුන්වා දීම සුදුසු ය.

තවද මෙම කෘතිය අදාළ විද්‍යාර්ථීන්ට ඒ කියන ලද තත්වයන්ට අනුව යම් පහසුවක් සපයන බව පැහැදිලි ය. මහාසාර නාට්‍යයට අදාලව කතුවරයා දක්වන පහත දැක්වෙන ඉදිරිපත් කිරීම ඊට නිදසුනක් වනු ඇත.

“මහාසාර නාටකය 1968 ජනවාරි මස 13 වැනි දින ප්‍රථම වරට වේදිකා ගත කෙරිණි. මීට පෙර නිෂ්පාදනය කෙරුණු වෙල්ල වැහුම් (1960) ඒකට මට හිනා හිනා ආදී නාටක මෙන් ම මෙම නාටකයත් ඉදිරිපත් කරන ලද්දේ ප්‍රධාන වශයෙන් ම එම විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවක මණ්ඩලයේ සාමාජිකයන් විසිනි. එම නාට්‍යයේ වැඳිරියගෙ භූමිකාව රගපාන ලද්දේ නළුවෙකු විසිනි. ” සරච්චන්ද්‍රයන්ට මෙහි ලා මූලාශ්‍රය වන්නේ මහාසාර ජාතකය යි.

 

Comments