මං තවම ‘සින්ගල්’ | සිළුමිණ

මං තවම ‘සින්ගල්’

 

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ අපේක්ෂාවෙන් පාසලට පැමිණ සිටි දෙමාපියෝ පාසල් වත්ත පුරා විසිරී සිටිය හ. ඇතැමෙක් බාලාංශ පංන්ති ඉදිරිපිට මිදුලේ ඇහැල ගස් සෙවණේ ඇති බංකුවල වාඩිගෙන සිටියහ. ප්‍රධාන ශාලාවෙහි පනවා තිබූ අසුන්වල වාඩි වී සිටියේ ඉතා ස්වල්ප දෙනෙකි. ඇතැම් දරුවෝ සුදු පැහැති සමනලුන් මෙන් තැන තැන දුව පැන ඇවිදිමින් උන්හ. සමහරු දරුවෙකුගේ ගෙලෙහි විසිතුරු ප්ලාස්ටික් වතුර බෝතලයක් එල්ලෙමින් තිබිණ. උදා හිරු රැස් ඇහැල ගස්වල අතු පතරින් ගලා ආවේ ඔවුනට ආශිර්වාද කරන්නාක් මෙනි. එය ජනවාරි මාසයේ අග ඉතා පැහැබර උදෑසක් විය.

දරුවන්ගේ නම් ගම් ලියාපදිංචි කොට ඔවුන් පන්තිවලට බෙදීම භාර වී තිබුණේ මටත් රෝහිණීටත් අතුල සහ කමලසිරිටත්ය. අප සිවු දෙනාම පාසලේ ප්‍රාථමික අංශයේ ජ්‍යෙෂ්ඨයන් වීම ඊට හේතු වූවා විය හැකිය. අපි එදින වැඩ ආරම්භ කිරීම සඳහා අදාළ ලිපි ගොනු ද රැගෙන ප්‍රධාන ශාලාව වෙත පැමිණෙමින් සිටියෙමු.

“මිස්... මිස්... මිස් ගලිගමුව සෙන්ට්‍රල් එකේ හිටිය, ජයනි මිස් නේද? මිස්ට මතක නැද්ද මං”

මම හුන් තැනම ගල් ගැසී මා ඇමතූ පුද්ගලයා දෙස බලා සිටියෙමි. උසට සරිලන මහතින් යුතු වයස අවුරුදු තිස් පහක් හතළිහක් පමණ විය හැකි අයෙක් සිනාමුසු මුහුණින් යුතුව මා ඉදිරිපිට හිටගෙන සිටියේය. ඔහුගේ දෑස අපේක්ෂා සහගත සතුටකින් බැබළෙමින් තිබිණ. මොකක්දෝ හුරුපුරුදු බවක් මුසු ඉතා සමීප මතකයක් ළඟ මගේ සිත මොහොතකට විපිළිසර විය. ඔහු සැණින් යළි දොඩමලු වූයේ මා එම මතකය තෝරා බේරා ගන්නට කලිනි.

“මිස් මම සෙන්ට්‍රල් එකේ හිටපු හර්ෂණ”

ඒ වන විටත් ඔහුගේ සුරතේ එල්ලී සිටි කුඩා දැරිය හාවෙකුගේ හැඩ රුව ගත් තම වතුර බෝතලය සමඟ සෙල්ලමක යෙදී සිටියාය. ඇගේ කෙස් කලඹෙහි රැඳි සුදු පැහැති පීත්ත පටිය සුළඟේ ෙලළ දෙමින් තිබිණ. ඈ සිය වටකුරු කුඩා දෑසින් වරින් වර මා වෙත ද හෙළුවේ විමසිලිමත් බැල්මකි.

“හර්ෂණ... කොච්චර කාලෙකට පස්සෙ? ‍ෙම් ඔයාගෙ දුව ද?”

“ඔව් මිස් මං දැනං හිටියෙ නෑ. මිස් දැන් මේ ඉස්කෝලෙ කියල”

“මං මෙහාට ඇවිත් දැන් අවුරුදු දහයක් විතර ඇති”

“මිස් මේ මගෙ වයිෆ්. මාධවී මේ අපේ ඉස්කෝලෙ මිස් කෙනෙක්”

හර්ෂණ මෙතෙක් ඔහු අසල රැඳී සිටි දැරියගේ මව දෙසට හැරෙමින් කීවේය. ඇය මදෙස බලා පියකරු සිනාවකින් මුව සරසා ගත්තාය. ඈ හර්ෂණට ම ඔබින රුවැත්තියක් නොවේදැයි මට සිතිණ. එහෙත් ඒ සමඟම මගේ මතකයේ ඇඳී ගියේ සරලාගේ රූපකායයි.

සරලාත් මාත් හර්ෂණ දැන හඳුනා ගන්නේ මීට දශක දෙකක් තරම් වූ ඈත කාලයකය. ඒ එවකට අප ඉගැන්වූ පාසලෙහි උසස් පෙළ පන්තියක උගත් ශිෂ්‍යයෙකු වශයෙනි. පාසලේ අනෙක් ශිෂ්‍යයන් අතර කැපී පෙනෙන කඩවසම් බවක් එකල ද හර්ෂණ සතුව තිබිණ. ක්‍රීඩා පිටියේ ද සමත්කම් පෑ ඔහු තරමක සෙල්ලක්කාරයෙක් ද විය. එය මිශ්‍ර පාසලකි. එහි ශිෂ්‍යයාවන් අතර ද හර්ෂණ ඉතා මිත්‍රශීලී ජනප්‍රිය චරිතයක් විය.

මාත් සරලාත් විශ්ව විද්‍යාලයෙන් පිටවී පළමු පත්වීම ලැබුවේ මෙකී මධ්‍ය මහා විද්‍යාලයටය. ඒ වන විට අප ද පසු වූයේ විසිපස් වැනි වියේ පමණ ය. අප නවාතැන් ගෙන සිටියේ පාසලේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරින් වූ නිවසකය. එම නිවහනෙහි ද පාසලේ උසස් පෙළ පන්තියක ඉගෙන ගත් ශිෂ්‍යයෙක් සි‍ටියේය. යසිරු නම් වූ ඔහු හර්ෂණගේ මිත්‍රයෙකි.

ඇතැම් සන්ධ්‍යාවන්හිදී හර්ෂණ අපේ නවාතැනට පැමිණියේ යසිරු හමුවන රිසියෙනි. සැහැල්ලු ටී ෂර්ට් එකකින් ද ඩෙනිම් කලිසමකින් ද සැරසී එන හර්ෂණ උදේ පාසලේ දී අප දකින ශිෂ්‍යයාට වඩා බෙහෙවින් ප්‍රියමනාප විය.

“අද අපි ඔයේ නාන්න යනව. මිස්ලත් එනවනං යං අපිත්තෙක්ක”

විටෙක ඔහු අප අමතන්නේ සම වයසේ යහළු යෙහෙළියන් කැඳවන්නාක් මෙනි. මෙවන් ගමන් වලට තරමක් පසුබා සිටියද සරලා සිටියේ මට බොහෝ ඉදිරියෙනි.

“යං නේද ජයනි. මං නං හරි ආසයි ඔයේ නාන්න”

සරලා මගේ අනුමැතිය ලැබෙන්නටත් පෙර ගමනට සූදානම් වූවාය. බොහෝ විට මා ඔවුන් සමඟ නෑමට යන්නේ නොගියොත් සරලා මා සමඟ නොහොඳ නෝක්කාඩුවක් ඇති කර ගනු ඇතැයි බියෙනි. වැඩිමනත් දිනවල මේ දියකෙළිය අවසන් වන්නේ හැන්දෑ අඳුර ළඟා වන විටය. මා ඉක්මනින් දිය නා ගොඩට ආවද සරලාත් හර්ෂණත් යසිරුත් එකිනෙකාට දිය ඉස ගනිමින් ප්‍රීති වූයේ මහත් කෙළිදෙළෙනි. එවැනි විටෙක සරලාගේ සිහින් සිරුර දිය බේරෙන ඇඳුම් අතරින් වඩාත් ඉස්මතු වි පෙනිණ. එහෙත් ඇය ඒ ගැන කිසිම තැකීමක් නොකළාය. ඔවුන් ඇස් රතුවන තුරුම ඔයෙන් ගොඩ ආවේ නැත.

“ඕක නං ඒ තරං ෙහාඳ සෙල්ලමක් නෙමේ සරලා. අපි මේ ඉස්කෝලෙ ගුරුවරු. හර්ෂණලා යසිරුලා ළමයි”

මම වතාවක් දෙවතාවක් සරලාට අනතුරු හැඟවීමි. එනමුත් මා කී කිසිවක් තඹයකටවත් මායිම් කළේ සරලා නොවේ.

“ඉතිං, ඒක මං නොදන්න දෙයක්යැ” ඈ කියන්නේ සිනාසෙමිනි.

ඇතැම් සවසක හර්ෂණ පැමිණෙන්නේ සරලාගෙන් ගණන් අසා ගන්නා මුවාවෙනි. ටික වේලාවක් යන ගණන් පාඩම එතැන් සිට පෙරළෙන්නේ අල්ලාප සල්ලාපයකටය. ඔවුහු ගෙමිදුලේ අඹ ගස යට හෝ විවෘත ආලින්දයෙහි ඇඳිරි වැටෙන තුරුත් කතාබහ කරමින් හිඳිති. මහ හඬින් සිනාසෙති.

“උඹට මොනවද බං හර්ෂණත් එක්ක ඔය තරම් කතා කරන්න තියෙන්නෙ”

එක් සවසක තේ පානයෙන් පසුව හර්ෂණ නික්ම ගිය පසු මම සරලාගෙන් ඇසුවෙමි.

“මොකද උඹට ඉරිසියයිද? ඌ හරි ජොලි කොල්ලෙක් බං. මං හරි කැමතියි ඒ වගේ උන්ට”

“ඒ වුණාට සරලා දැනටමත් හර්ෂණ උඹට පටලවලා ඉස්කෝලෙ කතාවක් හැදිලා තියෙන්නෙ. පරිස්සමිං”

සැබවින්ම ඒ වන විටත් ගුරු මණ්ඩලයේ බොහෝ දෙනා අතර හීන් කසු කුසුවක් පැතිරයමින් තිබිණ. මා සරලාට එය හැඟවූයේ එයින්වත් ඇගේ ඇවතුම් පැවතුම්හි වෙනසක් සිදු වෙතැයි අපේක්ෂාවෙනි.

“හර්ෂණලා ඔන්නං අපිට වැඩිය අවුරුදු පහක් හයක් බාල ඇති. ඉතිං අපිට පුළුවන්ද ජයනි උන්ගෙ නැන්දම්මල වෙන්න”

සරලා පිළිතුරු දුන්නේ තරමක නොරිස්සුම් සහගත හඬකිනි.

“අනෙක ඔය එක එක්කෙනාගෙ කටවල්වලට මං බය නෑ”

“ඒ වුණාට සරලා අපිත් මතක තියා ගන්න එපායැ අපි ඒ ඉස්කෝලෙ ගුරුවරු බව”

“හරි හරි. දැන් මොකද මෙතන වෙලා තියෙන්නෙ නිකං කැත හිතනෙ ජයනි”

මම ඉන් එහා සරලා සමඟ ඒ ගැන වාද විවාද නොකළෙමි.

සරලාට ඒ වන විටත් පෙම්වතෙක් සිටියේය. කීර්ති නම් වූ ඔහු සේවය කළේ අගනුවර කාර්යාලයකය. ඇතැම් සති අන්තයක ඔහු සරලා හමුවීමට අපේ නවාතැනට ද පැමිණියේය. දෙපාර්ශ්වයේම දෙමාපිය ආශිර්වාදය ද ඒ වන විටත් ඔවුනට හිමිව තිබිණ.

එක් සිකුරාදා සවසක අනපේක්ෂිතව කීර්ති පැමිණියේ හදිසි රාජකාරි වැඩකට නුවර ගොස් එන අතර වාරයේය. ඔහු පැමිණෙන විට සරලා හර්ෂණත් යසිරුත් සමඟ ඔයේ නෑමට ගොස් සිටියාය. තරමක හිස රදයක් දැනුණු බැවින් එදින මම ඔවුන් සමඟ නැමට නොගියෙමි.

“දැන් හොඳටම හැන්ඳැ වෙලානෙ. සරල එන්න තවත් පරක්කු වෙයිද?”

සෑහෙන වේලාවක් බලා සිටි කීර්ති විමසා සිටියේ නොඉවසිල්ලෙනි. ඉනුත් ස්වල්ප වේලාවකට පසු සරලාත් හර්ෂණත් යසිරුත් සමඟ ගෙමිදුලට පිවිසුනේ උස් හඬින් සිනාසෙමිනි. යසිරු ගෙයි පිළිකන්න පැත්තෙන් රෙදි වැල දෙසට හැරුණේය. ආලින්දයෙහි කොණක කීර්ති වාඩි වී සිටින බව ගෙට ගොඩ වන තුරුම සරලාවත් හර්ෂණවත් දුටුවේ නැත.

“කීර්ති... ඔයා අද එන වගක් කි‍ව්වෙවත් නෑනෙ” සරලා ආයාසයෙන් වචන අහුලා ගත්තාය. හර්ෂණ ආලින්දයෙහි නොරැඳී කෙළින්ම ඇතුළු ගෙට හැරිණ.

“මෙච්චර ‍ෙවලා දිය කෙළියද? හරි ෂෝක්නෙ”

කීර්තිගේ හඬට සියුම් කෝපයක් මුසුව තිබිණ. ඔහු ගෙතුළට එබී බලා යළි සරලා වෙතට හැරිණ. ඔහුගේ දෑස තුළ සැකයත් කෝපයත් බුබුළු දමමින් තිබිණ.

“කවුද අර....?”

“ඒ අපේ ඉස්කෝලෙ ළමයෙක්”

“ඔයාලා කරන්නෙ මේ ඉස්කෝලෙ ළමයින්ට ස්විමිං උගන්නන එකද? අපරාදෙනෙ ඉතිං ඕකට ඩිග්රියක් ගත්තෙ”

එදා ඔවුන් අතර තව කුමන කතා බහ සිදු වූයේදැයි මම නොදනිමි. එහෙත් වැඩිවේලා යන්නට පෙර කීර්ති ආපසු ගියේය. සරලා කාමරයට වැදුණේ බුම්මාගත් මුහුණිනි. මම ඇගෙන් කිසිවක් නෑසීමි. ඇය ද මට කිසිවක් නොකීවාය. ඒ සිදුවීමෙන් පසු කීර්ති සරලා හමුවීමට අපේ නවාතැනට ආවේ නැත. එහෙත් ඔවුන් අතර කෙරුණු දුරකථන සංවාදවලින් මට එක් දෙයක් වැටහිණ. ඒ සරලා කීර්ති ප්‍රේම කතාවෙහි මේ ලියැවෙන්නේ අවසන් පරිච්ඡේදය බවයි.

“මොකද සරලා දැන් කීර්ති මේ පැත්තෙ එන්නෙ නැත්තෙ” එක් සවසක මම සරලාගෙන් විමසීමි.

“මං දෙන්නං නම්බර් එක. උඹ ම ඒක එයාගෙන් අහගනිං. එයාට මාව එපානං මං මොන එහෙකටද ඒවා අහන්නෙ”

ඈ මට වචන අහුරකින් දමා ගැසුවාය. මම ඉන් එහා තවත් කිසිවක් ඇගෙන් නොවිමසීමි.

සවස් කාලයන්හි හර්ෂණගේ පැමිණීම සුපුරුදු ලෙසම සිදු විය. ඔවුහු සතියකට වතාවක් දෙවතාවක් ඔයේ නාන්නට ද ගියහ. උස් හඬින් සිනාසෙමින් ද කතාබහ කරමින් ද ගෙමිදුලේ හෝ ආලින්දයෙහි ඇඳිරි වැටෙන තුරුම කාලය ගෙවා දැමූහ. හර්ෂණගේත් සරලාගේත් මේ නමක් නැති මිත්‍රත්වයේ පුවත මුළු පාසල පුරාම අත්තටු ලැබ පියා සලන්නට වැඩි කලක් ගත නොවීය. සමහරුන්ට මෙය ලුණු ඇඹුල් මුසු අපූරු කට ගැස්මක් විය. මේ අතර ලොකුම කරදරය වූයේ ඇතැමෙක් ඒ ගැන මගෙන් ද විමසන්නට වීමයි.

“අනේ මං නං දන්නෑ ඕවා. මගෙන් අහන්නත් එපා” මම නොරිස්සුම් සහගතව කියමි.

“ජයනි මිස් දන් නැත්තං ඉතිං අපිද දන්නෙ. දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලුනෙ”

ඇත‍ැමෙක් මගේ මුහුණටම කියා දැමූහ. මම ඒවා නෑසුකන්ව සිටියෙමි. එහෙත් වැඩි කල් නොයවාම මේ ලැව් ගින්න විදුහල්පති කාර්යාල දක්වා ම ඇවිළිණි. විදුහල්පතිතුමා සරලා කාර්යාලයට කැඳවා දැඩි ලෙස අවවාද කළ බව මට කනින් කොනින් අසන්නට ලැබිණ. ඒ ගුරු විවේකාගාරයෙන් ඇසුණු කතාබස් වලිනි. සරලා නම් මට මේ ගැන කිසිවක් නොකීවාය.

මේ සිදුවීම්වලින් පසුව වුවද හර්ෂණ අපේ නවාතැන්ට පැමිණීම සුපුරුදු ලෙසම සිදුවිය. සරලා ඔහු මගහැර සිටීමට උත්සාහ කළේ ද නැත. ඈ කිසිවක් ගණන් නොගෙන ඔවුන් සමඟ ඔයේ නාන්නට ද ගියාය.

ඒ වන විට අප ඒ විදුහලෙහි දෙවසරක සේවා කාලය සම්පූර්ණ කිරීමට ආසන්නව තිබිණ. මේ අතරවාරයේ හදිසියේම සරලාට ස්ථාන මාරුවක් ලැබිණ. ඒ මාවනැල්ල ප්‍රදේශයේ දුෂ්කර පාසලකටය.

“ඉස්කෝලයක් වුුණහම විනයක් තියෙන්න ඕනැ. ඒක නොසලකා වැඩ කරන ගුරුවරු මෙතන තියාගන්න මට ඕනෙ නෑ”

සරලා මාරු වී යාමෙන් පසු පැවති පළමු ගුරු රැස්වීමේදී විදුහල්පතිතුමා කීවේය. ඒ නැතත් සරලාගේ හදිසි ස්ථාන මාරුව ඔහුගේ අනුදැනුම මත සිදු වූවක් බව ඒ වන විට කාටත් වැටහී තිබිණ.

ඒ වසරෙහි උසස් පෙළ විෂය දහරාවට පිටස්තර පාසල්වලින් බඳවා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර දුල්මිණි නම් පියකරු ශිෂ්‍යාවක් ද වූවාය. වැඩි කල් නොයවාම හර්ෂණගේ දෑස ඇය ළඟ නතර විය. විවේකයේදී ඔවුහු විහිළු තහළු කරමින් යහළු යෙහෙළියන් සමඟ එකට කෑම ගත්හ. අඹ ගස් යට තැනූ බංකුවල හිඳ අල්ලාප සල්ලාපයෙහි නිරත වූහ. සරලා විසින් තබා ගිය හිස්තැන හර්ෂණ දුල්මිණිගෙන් පුරවා ගනු ලැබුවේදැයි මට නිකමට සිතිණි. එහෙත් සරලාත් හර්ෂණත් අතර පෙම් බැඳුමක් තිබුණේ යැයි සිතන්නට මගේ සිත මට කිසි විටෙක ඉඩ දුන්නේ නැත.

ඉන් පසුද ඉඳහිට ගුරු සම්මන්ත්‍රණ ආදියේදී මට සරලා හමුවිය. ඒ කිසිවිටෙක ඈ මගෙන් හර්ෂණ පිළිබඳව කිසිවක් විමසුවේ නැත. මම ද හිතා මතාම ඒ ගැන කතාබහ නොකිරීමට ප්‍රවේශම් වීමි. ඇත්ත වශයෙන්ම ඔවුන් අතර ප්‍රේමයක් තිබිණැයි මම අද විශ්වාස නොකරමි. යොවුන් වියේ සැහැල්ලු බව තුළින් නිතැතින්ම හට ගන්නා ආකර්ෂණයට වැඩි යමක් එහි නොතිබුණා විය හැකිය. එහෙත් ඉන් සරලාගේ ජීවිතයට ඇති වූ බලපෑම නම් එතරම් සැහැල්ලු නොවීය. වෙනත් පාසලක ගුරුවරයකු ගුරුවරියක පවා ඇතැම් විට ඇය හැඳින්වූයේ “අර සෙන්ට්‍රල් එකේ ඒ ලෙවල් කොල්ලෙක් එක්ක යාළු වෙලා හිටපු මිස්” යනුවෙනි.

ඉන් වසර කිහිපයකට පසු මම ද මාරු වී මගේ ගම් ප්‍රදේශයේ පාසලකට ආයෙමි. සරලා පිළිබඳ මතකය ද ඒ සමඟම අතීත මතක පොසිලයක් බවට පත් විය. හර්ෂණ ද ඒ පොසිලයේ ම කොනක ශේෂ වී සිටියේය.

දුල්මිණිගේත් හර්ෂණගේත් ප්‍රේම කතාව කවදා කොතැනක කෙසේ අවසන් විනිදැයි කියන්නට මම නොදනිමි. සමහරවිට ඒ ප්‍රේමය ද පාසල් වියේ ඉතිරි සුළු කොටස විනෝදයෙන් ගත කරන්නට හර්ෂණ සොයා ගත් සෙවණක් වන්නට ද ඇත. මට එසේ සිතෙන්නේ දැන් මේ මොහොතේ මා ඉදිරියේ සිටින හර්ෂණගේ බිරිඳ මාධවී මිස දුල්මිණි නොවන නිසාය.

මා ගමේ පාසලටත් මාරු වී පැමිණ බොහෝ දිගු කලෙකට පසු මට යළි සරලා මුණගැසුණේ අහම්බෙනි. ඒ කිසියම් රාජකාරිමය අවශ්‍යතාවක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ගිය අවස්ථාවකදීය. පිළිගැනීම් කවුන්ටරයේ පසෙකට වි යමක් ලියමින් සිටි ඇය සරලාමදැයි සැක හැර දැන ගැනීමට මම එක මොහොතක් ඇය දෙස බලා සිටියෙමි. ඈ හදිසියේ ම හිස ඔසොවා මා දෙස බැලුවාය. අපේ නෙත් එක තැන නතර වී නිමේෂයකින් මම සරලා හඳුනා ගතිමි. ඇය ද මා හඳුනා ගත්තාය.

“ජයනි...” ඇය මා වෙත සමීප වූයේ සතුටත් විස්මයත් උතුරා යන දෑසිනි.

“අනේ කොච්චර එකක්ද අපි මෙහෙමවත් ආයෙ හම්බ වෙච්ච එක”

සරලා එසේ කියමින් ම මගේ දෑතම තරයේ අල්ලා ගත්තාය. ඇගේ අතැඟිලි අතර මගේ වමතෙහි වූ මඟුල් මුදුව තෙරපිණ.

“ඔයාට නම් දැන් ලොකු දරුවොත් ඇති නේද ජයනි”

ඈ මගේ මුහුණට එබෙමින් සෙමින් ඇසුවාය.

“ඔව් ලොකු පුතා ඒ ලෙවල් කරනවා. දුව නම් තවම දහයෙ පන්තියෙ. ඉතිං ඉතිං ඔයාට කොහොමද සරලා”

මම කුතුහලයෙන් යුතුව ඇසීමි.

“මම මාරුවක් හදාගෙන කොළඹට ආවා ජයනි. මට ඒ පැත්ත පළාතම එපා වුණා”

සරලා එසේ කීවේ ද ඉතා සැහැල්ලුවෙනි. එහෙත් ඒ කුමක් නිසාදැයි අසා ඇගේ සිත රිදවන්නට මට සිත් නොවීය.

‘මං නං ඉතිං තාමත් සින්ගල්”

එසේ කියා ඇය නැඟූ සිනහව දශක දෙකකට පමණ පෙර මතකයන් අතරට මා යළි රැගෙන යන්නට සමත් විය.

Comments