දඬුවමින් තොරව දරුවන් හික්මවීම | සිළුමිණ

දඬුවමින් තොරව දරුවන් හික්මවීම

 

•ළමයින්ට දඬුවම් කළ නොහැකි වුවත්, ඔවුන් ශික්ෂණය කළ හැකියි

•ගුරුවරු ළමයින්ට පහර දෙන විට එය අපයෝජනය දක්වා දිගු විය හැකියි

•දරුවන්ට තරවටු කළ යුතුම අවස්ථා තිබෙනවා

•බටහිර නිර්ණායක මේ සමාජයට ගැළපෙන්නේ නැහැ

දරුවෙක් වරදක් කළ විට වැඩිහිටියන් බොහෝ විට ඊට ප්‍රතිචාර දක්වනුයේ ඔහුට පහර දීමෙනි. නැතහොත් බැණ වැදීමකිනි. “මූ ඉතින් හදන්න කෝවෙ දාල ගන්න වෙයි.“ “ඌව හදන්න මකන්න වෙනවා.“ “මට ආව කේන්තියට වේවැලක් කැඩෙනකම්ම ගැහුවා“ බොහෝ වැඩිහිටියන් සිතනුයේ දරුවෙකු වරදක් කළ විට ප්‍රතිචාර දැක්විය හැකි වඩාත් හොඳම ක්‍රමය පහර දීම හෝ වෙනත් දඬුවමක් දීම ලෙසිනි.

 

“හැඳි නොගා හදන හොද්දයි, නොගහ හදන ළමයයි දෙකම එක විදියයි“ අතීතයේ සිට අසන්නට ලැබෙන මෙවැනි කියමන් පිළිබඳ විමසුමේදීම දඬුවම යන්න යමෙකු හික්මවීම සඳහා ඇති සුදුසුම ක්‍රමවේදය ලෙස සමාජය විසින් හඳුනාගෙන තිබුණු අන්දම මැනවින් පෙන්නුම් කරන්නකි. විශේෂයෙන් පාසල් අධ්‍යාපනය තුළ වේවැලට ඇත්තේ විශේෂ තැනකි.

“ගහන්නෙ නැතුව ළමයි හදන්න බැහැ“ සමාජයේ වෙසෙන ඇතැමුන්ගේ මතයයි.

එහෙත් එම මතයට එරෙහිව තවත් සමහරකු ප්‍රතිචාර දක්වන්නේ “ දරුවන්ව හික්මවන්න ගහන්නම ඕනෙද?“

“එහෙම නම් අර හිරගෙවල්වල ඉන්නෙ ගුටි නොකාම හැදිච්ච අයද?... යනුවෙනි.

ඇත්තටම දඬුවම් නොකර දරුවන් හික්මවන්න පුළුවන්ද? දරුවෙකුට දඬුවම් කිරීම වරදක්ද? යන්න විමසුම වඩාත් කාලෝචිත වූවකි.

නීතිඥවරියක වන නයෝමි සිල්වා පවසන්නේ “යමෙකු සමාජය විසින් පිළිනොගත් ක්‍රියාවක් සිදු කළ විට ඊට ප්‍රතිචාර දැක්වීමට අතීතයේ සිටම ‘දඬුවම්‘ යොදා ගත් බවයි.

එසේ වුවත් එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් පිළිබඳ ප්‍රඥප්තිය සහ විශේෂයෙන් විවිධ ජාත්‍යන්තර මූලාශ්‍ර, ළමා මනෝ විද්‍යාව පිළිබඳ සමීක්ෂණ වලින් හෙළිදරව් වී ඇති ආකාරයට කායික හෝ මානසික හානි සිදුකරන අන්දමේ දඬුවම් දරුවාගේ වර්ධනයට ඍනාත්මක බලපෑම් ඇති කිරීමට පුළුවන.

එසේ වුවත් නීතිඥ නයෝමි සිල්වා පවසන අන්දමට මෙහිදී වැදගත් වන්නේ දරුවාට එල්ල කරන පහරේ ප්‍රබල බව හෝ එම පහරදීමට පාවිච්චි කරන උපකරණය කුමක්ද? යන්නවත්, පහර දුන්නේ ශරීරයේ කොතැනටද? යන්න නොවේ. වඩාත් වැදගත් වන්නේ, මෙවැනි පහරදීමකින් හෝ බැණ වැදීමකින් දරුවාට සිදුවන හානිය කොතරම් බරපතළද? යන්නය. ඒ අනුව ඉතා හොඳින් දරාගැන්මට හැකියාව ඇති දරුවෙකුට තදබල පහරදීමකින් සිදුවන හානියත්, දරාගැන්මේ හැකියාව අඩු දරුවෙකුට ඉතා සුළු පහරදීමකින් පවා සිදුවිය හැකි හානියත් අතර බරපතළ වෙනසක් තිබිය හැකියි.

එයට හේතුව අදාළ සිදුවීමට අමතරව, තවත් බාහිර සාධක ගණනාවක් එහි ප්‍රබලත්වය හෝ හානිය තීරණය වීම කෙරෙහි වන බලපෑමය.

“ළමා හිමිකම් පිළිබඳ නීතිය තුළ ඕනෑම ආකාරයේ පහර දීමක් හෝ සාහසික ආතතිය ඇති කරන ආකාරයේ බැණ වැදීමකින් වැළකී සිටින්නට අයිතියක් දරුවන්ට ඇති බව (UNCRC) පිළිගනු ලබන්නේ මේ හේතුව නිසයි.“ යැයි නීතිඥ නයෝමි සිල්වා පවසන්නීය.

ශ්‍රී ලාංකික සමාජය තුළ අතීතයේ සිටම පුද්ගලයන් හික්මවන්නට විවිධ දඬුවම් ක්‍රම භාවිතා කර තිබුණි. එහෙත්, එම දඬුවම් අතර ප්‍රබලව පැවතියේ හිංසාකාරී නොවන ධනාත්මක අන්දමේ හික්මවීමේ ක්‍රමයන්ය. නමුත් යටත් විජිතයත් සමඟ එහි වෙනස්වීමක් සිදුවිණි. අතීතයේ අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය දරුවන්ට පරිසරය තුළින් නිදහසේ ඉගෙන ගන්නට ඉඩ ලැබුණි. ඒත්, කාලසටහනකට අනුව ඉගෙනුම් කරන විධිමත් පාසල් ක්‍රමය වෙත ගොඩනැඟුණු සම්ප්‍රදායක් ලෙස දරුවන් වරදක් කළ විට වේවැලෙන් පහරදීම, දණගැස්වීම වැනි දඬුවම් අනුමත කිරීමට සමාජය පසුව පෙලඹුණා යැයි නීතිඥ නයෝමි සිල්වා අදහස් දක්වන්නීය.

රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ රාජා ගුණරත්න පවසන අන්දමට අතීත ශ්‍රී ලාංකික සමාජය තුළ විසූවන් ඉතාමත් අහිංසක ජනකොටසකි.

"බුද්ධදාස රජු විසකුරු නාගයෙකුට පවා ප්‍රතිචාර කළා. එවැනි රජෙක් තම රටවැසියන් කෙරෙහි ඉතාමත් දයාවෙන් යුතුව රාජ්‍ය පාලනය කළ බවට කිසිදු සැකයක් නැත. එදා පෘතුගීසින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ අවස්ථාවේ, ඔවුන් පාන් කමින්, වයින් බොනු දුටු රජුගේ ඔත්තුකරුවා එය රජුට දැනුම් දුන්නේ ඔවුන් තිරුවානා ගල් කමින්, ලේ බොන සැටි දුටු බවයි. ඔවුන් ඉතා සාමකාමී දිවි පෙවෙතක් ගත කළ වුන් බැවින්, මෙම සිදුවීම් ඔවුන් තුළ භීතිය, කැලඹීම ඇති කිරීමට සමත් වූවා විය හැකියි." යැයි නීතිඥ රාජා ගුණරත්න පවසයි. කෙසේ වුවත් ගුරුගෙදර වෙනුවට පාසල් අධ්‍යාපනය ඇතිවීමත් සමඟ සිසුන් හික්මවීමට වේවැල් පහර දීම, දණගැස්වීම වැනි දඬුවම් කල්ගත වෙත්ම අපේ සංස්කෘතියෙහි කොටසක් බවට පත්වුණි.

"වේවැල් කෝටු නාරං සියඹලා අතූ... කිතුල් පොල් ඉරටු, වැල්, කහඹිලිය අතු"

ආදී ලෙසින් 'පමාවී පාසලට ගිය විට ලැබිය හැකි දඬුවම් පිළිබඳව බූ කවිවලින් තහවුරු වෙයි.

මෙම පසුබිම යටතෙහි වූ ශ්‍රී ලංකාවේ නීතිය තුළ යම් යම් අවස්ථාවන්හිදී ශාරීරික දඬුවම් සාධාරණීකරණය කරන අන්දමේ ප්‍රතිපාදන නීතියෙහි අන්තර්ගත විය. ඒ කෙසේ වුවත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙකුට කෲර, අමානුෂික වද හිංසාවනට ලක්නොවිය යුතු බවට මූලික අයිතිවාසිකමක් හඳුනාගෙන ඇත. මෙම අයිතිවාසිකම කඩවීමකදි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් යොමු කළ හැකිය.

මෙහිදී වැදගත් කරුණ නම්, වින්දිතයා දරුවෙක් වූයේ යැයි එහි කිසිදු වෙනසක් නොවීමය.

එමෙන්ම නීතිඥ නයෝමි සිල්වා පවසන අන්දමට අප රටෙහි අපරාධ නීතිය යටතෙහි දණ්ඩ නීති සංග්‍රහයෙහි තුන්සිය අට 'සී' වගන්තියට අනුව දරුවන් කෘෘරත්වයට භාජනය කිරීම අපරාධමය වරදකි. එහෙයින් එවැනි ක්‍රියාවක නිරත වූවෙකුට විරුද්ධව අපරාධ නඩුවක් ගොනුකළ හැකියි.

පසුගිය කොවිඩ් සමයෙහි දරුවන් නිවසටම කොටුවී සිටීම තුළ දරුවන් අපයෝජනයන්ට ගොදුරුවීම පිළිබඳ සිද්ධීන් ඉහළ ගිය බැව් විවිධ අවස්ථාවන්හි අසන්නට ලැබිණි.

එසේ වුවද ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙහි සභාපති මහාචාර්ය වෛද්‍ය මුදිත විදානපතිරණ පවසන අන්දමට 2019දී ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 8,558ක් වූ අතර, 2020 හිදී ලද පැමිණිලි 8,165ක් බවයි.

ඇතැම් විට මෙම දඬුවම් පිළිබඳ පැමිණිලි අඩුවීම 'කොවිඩ්' තත්ත්වය මත පාසල් වසා තිබීම හේතුවූවා විය හැකිය.

පාසල් සිසුන්ට දඬුවම් කිරීම නැවැත්වීම සඳහා වන අධ්‍යාපන චක්‍ර ලේඛයක් 1960 ගණන්වල සිට දක්නට ඇති නමුත් එය නිසි ලෙසින් බලාත්මක වූයේ 2008 අංක 17 චක්‍රලේඛයට අනුව බවයි මහාචාර්ය මුදිත විදානපතිරණ පවසා සිටින්නේ. ‘‘මෙම චක්‍ර ලේඛනයට අනුව ළමයින්ට කිසිසේත් දඬුවම් කළ නොහැකියි. 2017දී සිදුකළ පර්යේෂණ මගින් කායික, මානසික වශයෙන් දඬුවම් වර්ග තුනක් හඳුනා ගැනුණි. ළමයින්ට දඬුවම් කළ නොහැකි වුවත්, ඔවුන් ශික්ෂණය කළ හැකියි.

ඉහත චක්‍ර ලේඛය මඟින් දඬුවම් හේතුවෙන් ළමයින්ට සිදුවිය හැකි හානිය පෙන්වාදී තිබෙනවා. ඒ අනුව දඬුවම් ලැබීම හේතුවෙන් ළමයින් සමාජ විරෝධීන් බවට පත්වන අතර, ඔවුන්ගේ මනෝ ආකල්ප පිරිහීමට ද එය හේතුවක් යැයි මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි.

2005 අංක 17 චක්‍ර ලේඛයෙහි පෙන්වා දෙන්නේ කිසියම් ගුරුවරයෙකු විසින් සිසුවකුට දඬුවම් කරනුයේ නම් ඔහු ගුරුවරයෙකු ලෙස අසාර්ථක බැව් පෙන්නුම් කරන බවයි. ගුරුවරු විසින් ළමයින්ට පහර දෙන විට එය ක්‍රමයෙන් අපයෝජනය දක්වා දිගුවිය හැකි බව මෙම චක්‍රලේඛයේ සඳහන්ය. නිදසුන් ලෙස ගත්විට මුලදි බැණවැදීම පසුව වේවැල් පහරදීම හා අනතුරුව අත පුරවා කන හරහා සැරෙන් කනට පහරදීම දක්වා විය හැකි බැවිනි.

කායික, මානසික කිසිඳු දඬුවමක් හා අපයෝජනය කිසිම අන්දමකින් නොකළ හැකි බව එහි අවධාරණය කර ඇත. බොහෝ විට ගුරුවරයකු දඬුවම් කළ විට තමන් කළ වරද කුමක්දැයි දරුවන් දන්නේ දන්නෙ නැහැ. එහෙයින් සිසුවාට ඔහු කළ වරද අවබෝධ කරදීම, සිසුවා ඊට වඩා වරදක් කළහොත් ඔහුගේ දෙමාපියන් ‍කැඳවා ඒ බව අවබෝධ කර දීම හා විනය කමිටුව හරහා විෂයමාලාවෙන් ඔබ්බට සිසුවාට ලබාදී ඇති වරප්‍රසාද ඉවත් කිරීම හෝ නොදී සිටීම වැනි ක්‍රමවේද අනුගමනය කළ හැකිය.

මහාචාර්ය මුදිත විදානපතිරණ පවසන්නේ මෙවැනි ක්‍රියා මාර්ගයන් තුළින් සිසුවාට කායික හෝ මානසික දඬුවමක් නොලැබෙන බවය. "මෙම චක්‍රලේඛයට අනුව සිසුවකුට දඬුවම් කළහොත් අදාළ ගුරුවරයාට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග තුනක් හඳුන්වා දී තිබෙනවා. එනම් දණ්ඩ නීති සංග්‍රහයෙහි 308 A (කෲරත්වය) යටතෙහි දඬුවම වසර 2 - 10 දක්වා සිරගත කිරීම, ඊට අමතරව දඩයක් ගෙවීම හා එමෙන්ම වන්දි ගෙවීමක් සිදුවිය හැකියි. මේ හැරුණු විට මානව අයිතිවාසිකම් පිළිබඳ කොමිසම හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ නඩුවක් පැවරිය හැකියි. එසේත් නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශය ආයතනික සංග්‍රහයට අනුව පහරදුන් ගුරුවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත හැකිය.

අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ මඟින් සිසුන්ට දඬුවම් කිරීම නොකළ යුතු බැව් තරයේ තහවුරු කර තිබුණද, දණ්ඩ නීති සංග්‍ර‍හයෙන් ඇතැම් වගන්ති මඟින් පරස්පර වි‍‍රෝධී බවක් පෙන්නුම් කරන බැවින්, මේ වනවිටද ඇතැම් වගන්ති සංශෝධනය සඳහා යෝජනා කිරීම් සිදුකර ඇති බැව් මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි.

රාජ්‍ය නොවන සංවිධාන මඟින් පවත්වාගෙන යනු ලබන ළමයින් සම්බන්ධ වැඩසටහන් අතර දූෂණයට ලක්වූ බාල වයස්කාර ගැහැනු දරුවන් ආරක්ෂා කරන වැඩසටහන්, විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සම්බන්ධ වැඩසටහන් ආදි විවිධ ළමා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙයි.

මෙවැනි ළමයින් හා සම්බන්ධ වැඩසටහන්වල වන දරුවන් දඬුවම් හා වෙනත් අක්‍රමිකතාවන්ට හසුවීමෙන් වළක්වා ගැනීමේ උපක්‍රම හඳුන්වා දෙන ක්‍රියාමාර්ගයන් පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ රාජා ගුණරත්නයන් විස්තර කරනුයේ මෙලෙසිනි. 'මෙවැනි වැඩසටහන්වල වාර්ෂික සැලසුම් වසර මුලදීම ලබාගන්නා අතර මාස තුනකට වරක් ප්‍රගති සමාලෝචන සිදුකිරීමද, අනතුරුවලට අදාළ වැඩසටහන් වෙත ගොස් පරීක්ෂා කර බැලීමද මෙම ක්‍රමවේදයන්ට අයත්.

"අප එවැනි වැඩසටහන් පරීක්ෂා කිරීමට යන අවස්ථාවන්හිදී දරුවෝ සමඟ නිදහසේ කතා කරමින් දවසගත කරනුයේ ඉතා සුහද ලෙසින්. එවැනි දඬුවම් ගැන අපට තොරතුරු ලැබී නැහැ. එමෙන්ම, අපගේ ක්‍රමවේදයන් හරහා එවැනි දඬුවම් අවස්ථා සඳහා ඇති අවකාශයන් ද අවම වන බැව් කිව යුතුයි." යැයි අධ්‍යක්ෂ ජෙනරාල් රාජා ගුණරත්න පවසයි. දඬුවම් පිළිබඳව සමාජ මාධ්‍ය (ෆේස් බුක් වැනි) ඔස්සේ බොහෝ දෙනෙකු විවිධ අදහස් ප්‍රකාශ කරති. ඇතැමුන් ඒ පිළිබඳ විවිධ අදහස් දක්වනුයේ දඬුවම් පිළිබඳව නීතියෙහි සඳහන් කැරුණු කාරණා පිළිබඳව හෝ කිසිදු අවබෝධයකින්‍ තොරවය. 'පහර දෙනවා, තරවටු කරනවා, සාපරාධී බලය පාවිච්චි කරනවා ආදී ලෙසින් දඬුවම් සඳහා විවිධ වචන භාවිතා කළද පොදු ව්‍යවහාරයෙහි හඳුන්වන්නේ 'ගහනවා' යනුවෙනි.

අධ්‍යක්ෂ ජෙනරාල් රාජා ගුණරත්න පවසන අන්දමට තරවටු කිරීම ඉතිහාසයෙහි සිටම අසන්නට ලැබෙන්නකි. "තරවටු කිරීම සත්ව ලෝකයේ පවා දැකිය හැකි වූවක්. වඳුරු පැටියා වැටෙන්නට නොදී ඇද ගැනීම හොඳ නිදසුනක්. මෙය යම් ආකාරයක භෞතික බලපෑමක්. එනම් තරවටු කිරීමක්. පහරදීම යනු වෙනත් දෙයක්. පොදුවේ ගත්විට පෙර පැවති චක්‍ර ලේඛයෙන් පාසැලේදි සිසුවකුට වේවැ‍ලෙන් පහර දීමට අවස්ථාව සැලසී තිබුණා.

රාජා ගුණරත්න පවසන අන්දමට ලෝකයේ රටවල් 118ක කිසිඳු ශාරීරික දඬුවමක් ලබා දීම තහනම් කර ඇති අතර, රටවල් 80ක තවමත් දඬුවම් දීම සිදුකරති.

ඇතැමුන් සිතන අන්දමට ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශී රාජ්‍යයක්. නමුත් ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවක තවමත් ශාරීරික දඬුවම් ලබාදීඹ දක්නට පුළුවන්.

ළමයින්ට පහර දීම සුදුසු නැති වුවත් අද ළමයා මීට වසර ගණනාවකට සිටි ළමයින්ට වඩා බොහෝ ‍වෙනස්. ළමයින්ට දඬුවම් නොකිරීම ගැන මෙන්ම ඔවුන් කරන වැරදි පිළිබඳවත් අප කල්පනා කළ යුතුයි. සමහරවිට ඔවුන්ට තරවටු කිරීමත් අවශ්‍ය අවස්ථා තිබෙනවා.

"බටහිර සමාජය ආර්ථික වශයෙන් දියුණු සමාජයක්. ඔවුනට සමාජ ආරක්ෂණ ක්‍රමවේද, සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේද, ප්‍රවාහන පහසුකම් සියල්ල තිබෙනවා. අවුරුදු 14 වන විට ළමයින් ගෙදරින් පිටවී ගියත් ඔවුන්ගේ අවශ්‍යතා සැපිරීමට ක්‍රමවේදයන් සමාජය තුළ නිර්මාණය වී තිබෙනවා. නමුත් අපේ රටේ තත්වය ඊට වඩා හාත්පනිස්ම වෙනස්. එනිසා බටහිර නිර්ණායක පමණක් මේ රටට ගෙනැවිත් මෙම සමාජයට ගළපාලීමට උත්සාහ කිරීම සාර්ථක වූවක් නොවෙයි. ඒ කෙසේ වුවද දරුවන්ට දඬුවම් නොකර දරුවෙකු හික්මවා ගන්නේ කොහොමද? යන්න බොහෝ දෙනෙකු තුළ කුකුසක් ඇති කරන්නක් වූ බැව් නම් නිසැකය.

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන පවසන අන්දමට දරුවෙකුට පහරදීම හේතුවෙන් ඔහු තුළ අමිහිරි හැඟීම් ඇතිවිය හැකිය. 'ගුටිකෑම' තුළින් ඇතිවන අමිහිරි හැඟීම් දරුවාගේ මොළයට දරාගැන්මට අපහසුය. දරුවකුට අමිහිරි හැඟීම් දරාගත හැක්කේ යම් ප්‍රමාණයකට පමණි. "අමිහිරි අත්දැකීම් වැඩි වන එම මොළය අභ්‍යන්තරය වෙනස් වීම, මොළයේ පරිපථ වෙනස්වීම හේතුවෙන් පසු කලෙක එවැනි දරුවන් තුළ චර්යාත්මක, පෞරුෂමය ගැටලු මත්ද්‍රව්‍යයට යොමුවීම ආදිය තුළ ඔවුන් 'ගුටිකෑම' හේතුවෙන් ලබන අමිහිරි අත්දැකීම් මුළු සමාජයම අමිහිරි කරවන සමාජ ගැටලුවකට හේතුවක් විය හැකියි." යනුවෙන් වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන පවසයි.

මේ අනුව ගැටලුව වන්නේ ළමයෙකුට පහර දීම නොවේ. එම පහරදීම හේතුවෙන් ලබන අත්දැකීම තුළ ඔහුගේ මොළයෙහි වර්ධනයෙහි විශාල සංකූලතා ඇතිවිමය. එහෙයින් වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන පවසන්නේ ළමයින් මිහිරි හැඟීම් ඇතිවන ආකාරයට හසුරුවන ක්‍රමයක් හඳුන්වා දීම වැදගත් බවයි. "දරුවන් කෑම කෑ පිඟාන හෝදන්න කියන එක ඇතැම් වැඩිහිටියන් පවසන්නේ ටොක්කක් ඇන, බැණ වැදීමකින්.

ඒත්, ඒ වෙනුවට දරුවාට ආදරයෙන් කතාකර "හොඳ පුතා වගේ පිඟාන හෝදන්න" "ඔයාට අද පිඟාන හෝදන්න අමතක වුණාද පුතේ" ආදී ලෙස මිහිරි හැඟීම් ඇතිවන අන්දමට කතා කළ විට දරුවාගේ මොළය වර්ධනය යහපත් අන්දමට සිදුවෙනවා.

"අපේ ගුරුවරු අපිට ගහපු හින්දා අද අපි හොඳින් ඉන්නවා." "හැඳි නොගා උයන හොද්දයි නොගහ හදන ළමයයි දෙකම එක වගෙයි."

වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන පවසන්නේ ඔවැනි සංකල්ප තුළ අපි සංස්කෘතික වශයෙන් සමාජය තුළ ළමුනට හිරිහැර කරන ක්‍රම හඳුන්වා දී ඇති බවයි. එහෙයින් ඒවා වෙනස් කිරීමට ආකල්පමය වෙනසක් ඇති කර ළමයින් හැසිරවීමට 'මිහිරි ක්‍රමවේද' හඳුනාගත යුතුය. පන්ති කාමර කළමනාකරණයේදී සිදු කරනුයේ සිසුවෙකු ප්‍රීති ජනක අන්දමට උගැන්විම සිදුකරනුයේ කෙසේද? යන්න පිළිබඳවය. එහෙත් අපේ ර‍‍ටේ ක්‍රමය තුළ ක්‍රියාත්මක වන්නේ සිසුවෙකුට 'වද දී ගෙන' ඉගැන්වීමේ ක්‍රමවේදයන්ය. අපිට නැවතත් ඇත්තේ "ගෝත්‍රික මනෝ විද්‍යාවක්" බවත් රට ඉදිරියට යාමට නම් මේ තත්වය වෙනස් විය යුතු බවත් වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන අවධාරණයෙන් යුතුව සඳහන් කරයි. දරුවෙකුට පහරදීම සම්බන්ධ වූ නඩු තීන්දුවකදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දරුවන් හට කායික දඬුවම් පැමිණවීම කිසිසේත්ම නීතිය ඉදිරියෙහි සාධාරණීකරණය කළ නොහැකි බැව් සඳහන් කර ඇත.

ඒ අනුව, නඩු විභාගයකින් අනතුරුව වරදකරුවෙකු කරන ලද පුද්ගලයෙකුට සිරගෙයක් තුළදී හෝ දඬුවම් ක්‍රමයක් වශයෙන් කායිකව පහරදීම සිදු නොකළ යුතු බව නීතිය විසින් පිළිගන්නා කරුණක් බැව් නීතිඥ නයෝමි සිල්වා පවසන්නීය. මෙහිදී අප අපගෙන් විමසිය යුතු පැනයක් ඇත. එනම්, සිපිරිගෙදරටත් නුසුදුසු වේවැල ගුරු ගෙදරට කිසිසේත් නුසුදුසු නොවේද?

 

Comments