කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

මන්දිරය ඉරිතලා

හිරිකඩට ඉඩ නොදෙන ලෙස කවුළු වැසෙනවා
ගොර සසුන් ගෙට එතැයි වට පවුරු බඳිනවා
බිතු පියැසි ඉහළ නැඟ සඳ එළිය සොයනවා
ඔබ පැතූ මා පැතූ මැඳුර ගොඩ නැඟෙනවා

ඒත් මගෙ හිත ළඟට කළුවරක් ඇදෙනවා
මාත් පොඩි පුතුත් ළඟ ඒ අඳුර රැඳෙනවා
‘තාත්තේ‘ කියා පුතු හීනෙනුත් අඬනවා
ආත්මය ගිනි අරන් වගේ මට දැනෙනවා

කතාවක් නැතිව දින හත අටක් ගෙවෙනවා
ඉතාමත් දුකින් දුරකතනයත් තැවෙනවා
පුතාටත් අමුත්තක් දැනෙන බව හැඟෙනවා
පතා සෙත් ඔබ නමට බෝ සමිඳු පුදනවා

විටින් විට පොඩි පුතා කඩුල්ලට දුවනවා
වටින් කළුවර වෙද්දි මටත් තනි හිතෙනවා
කටින් කට කන නුහුරු කට කතා ඇහෙනවා
පිටින් නොපෙනෙන බියක් තනිහිතට දැනෙනවා

බින්දුවෙන් බින්දුවට කඳුළු පෙළ ගැහෙනවා
දැන් හැඬේවිද බියෙන් පිටි අතින් පිසිනවා
කන් රිදෙන කටකතා හුස්ම හිර කරනවා
මන්දිරය ඉරි තලා යයිද සැක සිතෙනවා

සාලිය ගුණවර්ධන

සෙනෙහස

රෝස පැහැකම්මුල්
සිප ගනිමි සිතින්
පුංචි පා පහර වැද
සුමුදු උණුසමක් ලද මොහොතේ
වැටුණි කම්මුල් දිගේ
සතුටු කඳුළු....

පුතේ නුඹ
මවු කුසේ සිටිය දා
මං බලාසිටි කාලය
කල්පයක් තරම් විය...

ගොසින් දුරු රට
ඇවිත් මෙරටට
මේ සිංහල අවුරුද්දේ
නිරෝධායනය වන නුඹ
එනතුරා නිවෙසට
එදාටත් වඩා
මං බලා ඉන්නවා.....
තත්පර මිනිත්තු පැය දවස දෙක....
දැෙන් ඒ් කාලය කල්පයකටත් වඩා
ෙමදවස
කල්පයක් සේ දැනේ
මේ කාලය....


කොරෝනා තෝන්තුව
අවසාන නැහැ තවත්
සියලු දුක් ගිනි නිවේ
නුඹ පැමිණි වට මා අභියසට
මේ අවුරුදු දිනේ....

ජගත් දම්පහළ

 

උපන් දින තිළිණය

විසල් ලෝකයෙ අතර මං වුණු
නුඹට දුන්නා ආදරේ...
වැටුණු තැන් දැක නොරැවටී යන
දිරිය දුන්නේ හදවතින්...

පාට එළි මැද රඟන ලෝකයෙ
නුඹව රැක්කේ සෙනෙහසින්...
කවමදාවත් හිතුවෙ නෑ මම
අනියි පපුවට පිහි තුඩින්...

එකම ලෝකයෙ වෙනස් සිත් තුළ
නැඟෙන ඉර හඳ කොයි ලෙසින්...
කාට හෝ කඳුළක් නොදේවා
හමන බෝසත් සුළඟ මෙන්...

එදා මට දුන් නුඹේ ලෝකය
උදුරගෙන කවුරුද හොරෙන්...
නුඹත් යන්නම ගියා නොකියම
තවම ගං දිය සිහිලසින්...

තියන් උන්නා නුඹට දෙන්නට
උපන් දින තිළිණය රනින්...
වැසුනු දොර ළඟ, මල් පිපේවා
හදවතේ ගැඹුරුම තැනින්...

දුක් නොදේවා රකින දෙවියන්
වත මඬල සිඹ ස්නේහයෙන්...
සඳූගෙ පිණි දිය යහන වේවා
කළුවරේ මම, නුඹ තුටින්...

නිශාන්ත පීරිස්

 

 
අසම්මත මල්


සුවද විහිදන කැකුළු මල්
පිපී පරවෙන
හන්තාන අරනේ...
බිමට වැටෙනා පෙති නොපාගා
පා නගනු කෙලෙසේ...

බවුන් වඩනා සිතද බිඳිනා...
සොඳුරු මල් අතරේ
අතරමං වී පාර අසනා
බිඟුන් යළි හමුවේ...
මල් පිපෙන්නේ...ඇයි.. හන්තාන අරනේ..

මතක සිතුවම් සිතේ තවරා..
සිහින මල් යහනේ
හෙටත් පිපිලා යළිත් පරවෙන
කැකුළු ඇත නටුවේ...
මල් පිපෙන්නේ ඇයි.. හන්තාන අරනේ ...

චින්තනී ධර්මසේකර

 

 

ආදරණීය නොරිකෝ

දුක සමඟ මුහුන් වූ
ආදරය රැකගන්න
වෙර දැරූ නොරිකෝ
ඉන්නවාද නුඹ
තෝකියෝවේ..

මිදෝරි අවන්හල
ප්‍රථම හමුවීම
රකුසු වෙස්මුහුණ
ප්‍රථම සිහිවටනය...

එන්න ආසයි
නුඹේ සුවදුක් බලන්නට
සකුරා මල් පිපුණු මාවතේ
නුඹ එක්ක ඇවිදින්ට...

නුඹේ පෙම් මිහිරියාව
මා එක්ක කියාවි
මතකයන් දෙස බලා
මා එක්ක හඬාවි..

ඇස්වලට කඳුළු එන
අතීතය අසන්නට
අතීතය දකින්නට
එන්නෙ කොහොමද
තෝකියෝවට...

අනුරාධා විශ්මිනී

ගබ්සාව

පිපෙන්නට වෙර දරන මල් කැකුලක්
ඉවත කෙරුවේ කළද මොන වරදක්
කුස නෙරා මෝරලා ආ පැතුමන්
සුන්කළේ නුඹ මවුනි කිම කියපන්
නොදැනුනේ කොයි ලෙසද ඒ හැඬුමන්

හැගුම් කැටිකර සනසවා ඉඳුරන්
නුඹයි කුස ඉඩ දුන්නේ ඒ පුතුටත්
කැබලිකොට කුස තුළම උදුරන්
සැනසුනේ කොයි ලෙසින් නුඹ කියපන්........

ඉල්ලමින් රැකවරණ කුස පීරන්
දුව පනින හඬ නොදැනුනිද එහෙනම්
කැබලි කොට ඇද දැමූ මවු කුසයෙන්
ගැහෙන පණ නළ නොදුටුව ද නුඹ නම්......


සමා ඉල්ලා හඬයි නුඹ දවසක්
අහිමි කෙරුවාට පුතුගෙ හෙට දවසක්.........

පුෂ්පකුමාර ආරියරත්න

 


ගන්ධබ්බ ආදරය

නුඹ ආදරේ කරන්නෙත් නැති
මට ආදරේ කරන්න දෙන්නෙත් නැති...
නුඹ එන්නෙත් නැති
මට එන්න දෙන්නෙත් නැති...
නුඹ ළඟ ඉන්න දෙන්නෙත් නැති
නුඹව දාලා යන්න දෙන්නෙත් නැති...
නුඹේ හිතේ මාව නැති
මගේ හිතේ තවම නුඹව ඇති...
මට මා වත් නැති
මට නුඹවත් නැති...
මගේ ගන්ධබ්බ ආදරය

හර්ෂ දිල්ෂාන්

 

 

තරගකරුවන් වහාම ආරම්භක ස්ථානයට වාර්තා කරන්න!

නොවිඳිනා දුක් ගැහැට නේක විඳ
පීදෙනා ගොයම දෙස නෑඹුල්ව සිත
රෑ වෙලා ගොම්මනේ කරුවලේ සැරව
පිඬුසිඟා වඩින බව පෙරදා මෙන්ද...

පාරා වළල්ලක්ව
තෝරා පන් විහිළුව
ගෙන්නා දීපං පරණ කවිච්චි
පන්නා දාපං ගොංකං
මෝඩකං...

පැබඳිනා! පලඳිනා!
බැමි වළලු බිඳලා
පූදිනා කෙසෙල් කැන
ගෙයි මුල්ලේ තබා
පුස්කන පරණ කැවුම්...

ගෙපිළිකන්නට
පෙරළා අතුර
හටගනී සුපුරුදු ගී රාවය
මිහිරිව
පෙරදැරිව...

වේනුක භාරත ධර්මරත්න

 

 

උමතු!

(Phone එකේ Save කළ නමක්)

උමතු වූ ළඳක් වෙයි මා මනස
ඈ, ඉහළ අහසේ වලාකුළු ඇස් බැල්ම ද
පහල පොළවේ වැලිකැට අතරේ හුස්ම ද
බලන්න ගිය තැනක
මතක මිටියාවත් වල හුදකලාව ද වන්නේය .!

අප හමුවුණේ
මූහුණු ආවරන අනිවාර්ය කළ
ඒ නූතන යුගයේදී ය

මහද්වීප සේ දුරින් දුරින් පිහිටා තිබුණද
අප අතර තිබුණේ
ප්‍රේමයේ නිල් මහා සයුර පමණි
වැවක දෙතැනක කුමුදු සේ
අපි එක තලාවක
උඩට එසවුණු මුඳුන්...

වලාකුළු ඇස් ද,
වැලිකැට අතර හිඩැස් ද,
හුදකලාව ද මගහැර
දියවැල් අතර කිදුරු කොදෙව්වල
අප රහසේ කිමුදුමක ..

උමතු වූ ළඳක් වෙයි මා මනස...

වජිර දිප්ති වීරකෝන්

 

බේත් ලදිමි

බේත් ලදින් පණ නොලදින්
ඇකයෙ සිටින පුතුට සොවින්
නො එන ගමන් ගියපු පුතුන්
දුක්ම ලදින් සුව නොලදින්...

අබ මිට මල ගෙයිම හෙයින්
බේත් ලදින් වෙසෙස් ලෙසින්
තවත් නොමැත උමතු ගමන්
ලොව්තුරු සුව සරණ ලබන්...

අඟුරු හැරුනට ස්වර්ණ වර්ණෙට
දෙනට පණ මල ගන්නෙ කෝමැයි
ගැබ්බරව පසු තුට වැදූවත්
නොමල ගෙයකින් පෙළහරක් නොවෙනා...

ආයෙ වැටුණොත් නොනිමි සසරට
නිවන් ලැබ තුටු වන්නෙ කෝමැයි
නියත දම ලකුණුමයි මරණෙට
තවද උමතු වූ දියණියක නොවෙනා...

බුත්තල සාරද

 

නුඹ සහ මම

මම
වන්නියේ
ග්‍රීස්මය

නුඹ
නිසා
නිවෙන

නුඹ
නුවර
සීතල

සැමදා
ග්‍රීස්මය
සොයා
ඇවිළෙන

නදූෂ මදුරංග

 

දෙවන මනාලිය

මං උඹෙ මඟුලට
දෙවන මනාලිය
වූ හැටි සිහිවෙයි
ඉස්සර දවසක...

දරුවන් ලැබ උඹ
වියපත් වී අද
මුනුපුරු මිනිබිරි
දරු සුරතල් මැද...

තනිකඩ මා
වියපත් වී ඇති මුත්
අම්මෙ ආච්චියෙ
කීමට කිසිවෙක්
නැති මගෙ පැල වෙත...

ඔය පොඩි පැටියෙක්
එව්වොත් නිකමට
දෝරෙ ගලා යන
උඹෙ මහ සතුටෙන්
එක පොඩි බිඳුවක්
දිව ගා බලනෙමි..

කේ. පී. ඩබ්.
ප්‍රියන්ත ජයලත්

 

ඩමි

සේද සළු මත හීන බොඳවුණ
දුවේ පොඩ්ඩක් හිනාවෙමු අපි
දෑත පටලා බලා විසිතුරු
සුපිරි සල්පිල් පුරා ඇවිදිමු...

සිහින් ඇඟපත උරුම ඩමියක
එතුණ නෙක පෑ අලුත් ඩිසයින්
අපට අත වැනුවට කමක් නැහැ
මගේ අත අත් නොහැර එනු මැන...

අඳින ගලවන නැවත ගලපන
සොඳුරු ලලනන් නිතර පොරකන
පිටෝන් කුටියක තිබෙන කලබල
දුවේ නොබලනු මැනවි ඒ දෙස...

වසන්තය එලිපත්ත පැන්නට
කමක් නෑ එරබදුත් පිපුණට
අපිත් ඩමියක් වගේ හිනැහෙමු
ලෝකයට සුබ නැකත එනවිට....

ඉසුරු පැන ගිය නමුත් ඈතට
සරස්වති අප ළඟම හිඳගෙන
දුගී පැල්පත සුරලොවක් කර
අදත් බලමැන සිනාසෙන රඟ....

ශ්‍රියා හිඳුරංගල
 

 

 

මම කළුවා සහ කරත්තය.

දෙනෝදාහක් නිතර යන එන
නිල් පාට මොනර කොළ මාරු වෙන
හන්දියේ මාරකැට්ටුව අසල
සිටියාද දැන් පැය කීයක්
ලැබෙන තුරු උඹට අදින්ට බරක්
මගේ අතට ලැබෙන තුරු සොච්චමක්

රටින් එන තෙල් වලින් පණ ගැහෙන
ඇසිල්ලෙන් මහ බරක් අරන් යන
ටයර් මත දුවන යන්තර අසල
යල් පැනල අපේ ගොන් කරත්තය

හිස් ගැලේ බර ගෙලින් ගරාගෙන
හෙමි හෙමින් වමාරා කෑවට
නුඹේ කුසේ මොකවත්ම නොමැති බව
කළුවො මට අමතකයි සිතුවාද.

එම් පී කිත්සිරි

 

මම නුඹට පෙම් කළෙමි..

නුඹ කෙරේ මා වැඩූ ආදරය කොතරම්ද
කිසි දිනෙක මා හදින් මැකී වියැකී යාද
සැඟැව අළු යට තවම දැවෙන ගිණි පුපුරු ලෙස
ආදරේ නමින් තව රිදුම් දේ මහදවත....

එහෙත් මා සබඳිනිය , ඒ ආදරේ නමින්
නුඹව යළි නොරිදවමි,සසල නොකරමි සිතුම්
කඳුළු ගෙන නොඑන්නෙමි සිනාසෙන නෙත් අගට
වෛරයේ විෂ දළින් තොරය එය හැම කල්ම...

නුඹව සනසා සුවෙන් සතපවා මහද තුළ
නුඹ කෙරේ මා වැඩූ ආදරය සුපසන් ය
යළිදු වෙනෙකෙකු කෙරෙන් මතු ලබන සෙනෙහසද
මෙබඳු වන ලෙසට නිති යදිමි දෙවියන් පිහිට...!

කුමුදිනී වේලාරත්න .

රුසියානු මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින් 1829 දී ලියා 1830 දී ප්‍රකාශයට පත් කළ "I loved you'. කවියේ අනුවාදයකි .රුසියානු සාහිත්‍යයේ විප්‍රයෝගී ආදරය ගැන ලියැවුණු පරිසමාප්ත සටහන ලෙස මෙය සැලැකේ.


ඉංග්‍රීසි බසින් පරිවර්තන දහස් ගණනක්ද, ලෝකයේ අන් සියලුම භාෂා වලින් ලියැවුණු පරිවර්තන හෝ අනුවර්තන ලක්ෂ ගණනක්ද වන මේ කුඩා කව, තුරුණු වියේදීම අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත් ඇලෙක්සැන්ඩර් පුෂ්කින් නම් සාහිත්‍ය දැවැන්තයා සදහටම ජීවමාන කරවයි.
 

කෘතිය - කඳුළු සහ මී පැණි

කර්තෘ- ජේ. ජේ වික්‍රමසේන

මිල රුපියල් - 275 පිටු 104

ගොඩගේ ප්‍රකාශනයකි

ජේ. ජේ වික්‍රමසේන කවියා විසින් ලියන ලද අලුත්ම කාව්‍ය සංග්‍රහය වන්නේ කඳුළු සහ මී පැණිය.

ක්වන්ධ රූප, වැව්පිටියක සිට, නීලමණි සහ සයනයිඩ්, තහංචි කවි, ගල් කටුවෙන් මල්. ආදී වශයෙන් කාව්‍ය සංග්‍රහ කිහිපයක්ම එළිදක්වා ඇත.

අගනුවරින් බොහෝ දුරක වෙසෙන; වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වන ජේ. ජේ. බොහෝ කලක සිට විවිධ පුවත් පත් කවි පිටු හරහා තම නිර්මාණ පළකරන්නේය. කඳුළු සහ මී පැණි කාව්‍ය සංග්‍රහයේ අඩංගු කවි රසය. ඇතැම් කවි කියවිමේදි දැනෙන්නේ සංවේගයකි. ඔබ අප ජීවත් වන සමාජය ගැන දුකකි; වේදනාවකි; කළ කිරීමකි. එවැනි හැඟිමක් ඇති කවියක් මෙහිදි හමුවිය. මාතෘකාව කන්ද පාමුල සංගෙදිය.

වතු රස්සාවෙන් ජීවත් වන ගැහැනුන්ගේ ජීවිත කිසිසේත්ම සුන්දර නැත.

මාතෘකාව කන්ද පාමුල සංගදිය. මේ බොහෝ විට වතුකරයේ ගැහැනුන්ගේ ඔබ අප නොදකින ජීවතයේ ඇත්ත කතාවයි.

දලු නෙළන පූමනී

සීතලෙන් ගැහෙනවා

වත්තේ මුරකාරයා

රාගයෙන් ගැහෙනවා

ගිනිකඳත් නිවෙනවා

මීඳුමත් නැඟෙනවා

ලැයිමේ තව තාත්තෙක්

නැති පුතෙක් හැඳෙනවා....

ජේ. ජේ ගේ බොහෝ කවි ජනකවි වලට සමානය. ඔහු ගැමි පරිසරය, මෙන්ම ගැමි සංස්කෘතිය, ගැමියාගේ ජීවිතයේ දුක් කම්කටොලු සතුට මේ සියල්ල එකට කැටි කොට නිර්මාණ කරන්නේය. ගමෙන් ගිය දරුවෙකු ඇගේ මව ගැන සිතන ආකාරය ඔහු කියන්නේ අපුරු ආකාරයට. බොහෝ දිනකින් ඔහු ගම පැමිණ නොමැති බවක් කවි පෙළ කියවීමේදි අපට හැගේ . අම්මාගේ තොරතුර දැන ගන්නට ඔහුටු හැකියාවක් නැත. ඔහු අම්මාට ලිපියක්වත් ලියූ බවක් නොදැනේ. නමුත් ඔහු අම්මාගේ තතු විමසන්නේ ගෙදර සිටි සතුන්ගෙනි. ඔහු අම්මා ගැන කියන්නේ මෙසේය. කොතරම් අගහිඟකම් තිබුණද අම්මාවරු තමන් කුසගින්නේ සිට හෝ තමදරුවන්ගේ කුස පුරවති. අම්මාගේ ආදරය තරම් වටිනා වෙන කිසිවක් මෙළොව නැත. අංග සම්පුර්ණ ලෙසින් උයන පිසින කළමනා මුළුතැන් ගෙයි නැති වුව ද ආදරයෙන් කරුණාවෙන් ඇය උයාදෙන එක හොඳ්දක් බතක් වුවද රසය. දරුවන්ටය පමණක් නොව ගෙදර ඇති දැඩි වෙන පූසාට බල්ලාට ද ඇගේ අදරයේ වෙනසක් නැත.. මාතෘකාව ඇඹුලක් හදයි තුනපහ නැති මුත් අම්මා.

මන්දාරමට දුක කියනා ළිහිණියනේ

සීතග දැකනි තටු අකුලන පරෙවියනේ

පුබ්බරු දෙතටු යට සඟවන සැවුලියනේ

පවසව් අපේ අම්මා ඉන්නෙද දුකිනේ..

බාගෙට තැනු පොඩි ගෙයි දහ අට විස්සේ

පොඩි කාමරේ වැතිරීපිටපලු මැස්සේ

ගාගෙන වාත තෙල් තුන්යම තිස්සේ

හුනෝ කියාපන් අපෙ අම්ම ද කැස්සේ..

පැළ කණ්ඩියේ බඩ වැටියේ ගසක ඇති

කොහු අඹ ගෙනැත් කපමින් හත අටට පෙතී

ඇඹුලක් හදයි අම්මා

තුනපහද නැති

ටොමියෝ බලාපන්

ඈ දමනවද හතී...

බට්ටිච්චියේ

දොරකඩ කුඩුවේ ඉන්නා

රන්රුව ඇග් නෙත්

පුරවා දැක ගන්න

අදහස හිතේ ඇත

ළඟදිම ගම යන්න

කරුණා කර ඇයට

ඒ බව පවසන්න‍...

කවියා ඇතැම් කවියක් නිර්මාණ කිරීමේදි අප අසාපුරුද චරිත ගෙන හැර පෙන්වයි. ඔහු එසේ කරන්නේ තම නිර්මාණ‍යේ සාර්ථක බව වඩ වඩාත් දැනවීමට යයි සිතේ . කාලය වෙනස් වුව ද අද ද බුදුන් දවස සිටි සෝපාකලා මෙන් වූ දරුවෝ මේ සමාජයේ සිටිති. ඒ ඇතැම් විට සුළු පියාගේ අඩම්තේට්ටම් වලට ලක්වන, ඒ නිසාම සමාජයේ ගැහැට විදින, පීඩාවට පත් වන්නෝ ද වේ. නමුත් වෙනසකට ඇත්තෙ බුදන් දවස මෙන් මේ අසරණයන්ට පිහිට විම ට බුදුන්නොවැඩීමය. “මාතෘක නමින් හේ සෝපාක නොවුණත්“

සුලු පියාගේ කුණු බැනුම්

දරා ගන්නට බැරි කමින්

නීලගිරි හෝටලේ පිඟන් සෝදන්න

ගිය

දේවින්ද

බාප්පාගේ අනුවර්ථ නාමයේ මුගටියා

කැහැටු පොඩි අත්වලින් ලිස්සලා

මැටි පිඟන්

10 ක් ම බිඳුණූ දා

හෝටලේ මැනේජර් යෝධයා

මුගටියව යකඩ පුටුවක තියා

ලණුවකින් වෙළු මුත්

ඔහුව ගුටි බැටවලින් බේරුවේ

එතන හෙඩ් කෝකියා....

සමස්තයක් ලෙසින් ගත් කළ දසක ගණනාවක් තිස්සේ නිර්මාණකරණයේ යෙදෙන ජේ .ජේ ගේ නිර්මාණ අතර අපට ප්‍රශස්ත නිර්මාණ රැසක් හමුවේ.

 

 

 

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න
කවි සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.
විද්යුත් තැපෑල
- [email protected]

Comments